|
අයියා වෙනුවට මල්ලී රඟපෑ චිත්‍රපටයFast & Furious 7 2015හොඳම ක්‍රියාදාම චිත්‍රපටය
Vibe සඟරාවේ 1998 මැයි මස කලාපයේ කෙන් ලී නැමැත්තෙකු විසින් Racer X නමින් කතාවක් පළ කළේය. එයින් කියවුණේ, වොෂිංටනයේ ජීවත් වූ රෆායල් එස්ටීව්ස් නම් රාත්‍රී මෝටර් රථ ධාවකයා පිළිබඳ වූ සත්‍ය කතාවකි. මෙම පුවත ඇස ගැටුණු සුවිශේෂ පුද්ගලයෙක් විය. ඔහු චිත්‍රපට අධ්යක්ෂවරයෙකි. වේගයෙන් දිවෙන මොටර් රථය සමඟ සබැඳුණු රෆායල්ගේ කතාවට හිත ඇදී ගිය ඔහු එය රූපයට නැඟීමට සූදානම් විය. ඒ අනුව රෝබ් කොහෙන් විසින් Fast And the Furious චිත්‍රපටය නිර්මාණය කළේය. එතැන් පටන් මෙම චිත්‍රපට මාලාවේ කොටස් හයක්ම අති සාර්ථක ලෙස විකාශය වූ අතර හත්වැනි කොටස එහි අලුත්ම දිගුවයි. Fast And the Furious චිත්‍රපට මාලාව ඩොමිනික් ටොරෙටෝ සහ බ්‍රයන් ඕ’කෝනර් නම් වූ ජවසම්පන්න රාත්‍රී මෝටර් රථ තරඟ ධාවකයින් දෙදෙනා වටා ගෙතී ඇත. නමුත් ඔවුන් මෝටර් රථ ධාවනයේ යෙදෙන්නේ නීති විරෝධී ලෙසිනි. මෙහි සෑම කතාවක්ම පෙර කතාවේ දිගුවක් ලෙසින් විකාශය වේ. යම් මුදල් ගනුදෙනුවක් හෝ ආයුධ හෝ මංකොල්ලයක් චිත්‍රපටයේ අන්තර් ගත වීම මෙහි සියල්ලකම පාහේ දක්නට ලැබෙන ලක්ෂණයකි. ඕවන් ස්ටාව් සහ ඔහුගේ පිරිස පරාජය වීමෙන් පසු ඩොමිනික් සහ බ්‍රයන් නැවත වරක් අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් වන්නේ සාමකාමී ජිවිතයක් ගත කිරීමේ බලාපොරොත්තුවෙනි. කෙසේ වෙතත් ඕවන්ගේ වැඩිමහල් සොයුරු ඩෙකාර්ඩ් එයට ඉඩ නොතබන අතර ඔහු ඩොමිනික් සහ බ්‍රයන් පසුපස හඹා එන්නේ සිය සොයුරන්ගේ මරණයේ පළිය ගැනීමටයි. ජේම්ස් වැන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය පෝල් එච්. මොරිට්ස් සහ වින් ඩීසල් ගේ නිෂ්පාදනයකි. එහි තිර රචනය ක්‍රිස් මෝගන් ලියා තිබේ. බෙදාහරිනු ලබන්නේ යුනිවර්සල් පික්චර්ස් මඟිනි. විනාඩි 134ක කාලයක් පුරා ධාවනය කෙරෙන Fast And the Furious7 වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250ක පිරිවැයක් දරා ඇත. මෙහි ඩොමිනික් ලෙස වින් ඩීසල් සහ බ්‍රයන් ලෙස පෝල් වෝකර් ද සමඟින් ඩේව්යන් ජොන්සන්, මයිකල් රොඩ්රිග්යුස්, ජෝර්ඩානා බ්රෙබිස්ටර්, ටෙරිස් ගිබ්සන්, ලූකස් බ්ලැක්, ජේසන් ස්ටැතම් මෙහි රංගනයෙන් දායක වෙති. පසුගිය නොවැම්බර් 30 වැනි දා පෝල් වෝකර් දරුණු රිය අනතුරකින් ජීවිතයෙන් සමු ගත්තේ Fast And the Furious චිත්‍රපට මාලාව පිළිබඳවද අවිනිශ්චිත තත්ත්වයක් ඇති කරමිනි. මෙම චිත්‍රපට මාලාවේ ප්‍රධානම චරිතයක් වූ ඔහුගේ ජයප්‍රියත්වය ඉහළ නැංවූයේද මෙම චිත්‍රපට මාලාවයි. නමුත් අවාසනාවන්ත ලෙසින් පෝල් වෝකර් මිය යන විට මෙම හත්වැනි චිත්‍රපටයේ රූගත කිරීම්ද අවසන් කර නොතිබුණි. පෝල්ගේ සමු ගැන්ම සමඟින් චිත්‍රපටයේ කටයුතු නවතා තිබියදී ඔහුගේ සොයුරන් වන කොඩ් වෝකර් සහ ක්ලැබ් වෝකර්ගේ ඉල්ලීම මත යළි චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කෙරිණි. ඒ අනුව පෝල් අවසන් නොකළ ඉතිරි වූ රංගනයන් ඔහුගේ හැඩරුවට තරමකින් සමාන වූ කොඩ් වෝකර් සම්පූර්ණ කළේය. පෝල්ගේ සමුගැන්ම සමගින් ත්‍රාසයේ සහ භීතියේ අවසන් දැක්ම ලෙස මෙම චිත්‍රපටය හැඳින් වූවද කොඩ්ගේ සම්බන්ධතාවය සමඟින් අට වැනි කොටසක් පිළිබඳවද දැන් බලාපොරොත්තු ඇති වී තිබේ. වර්තමානයේ ජීවතුන් අතර නැති අයෙකුගේ අවසන් රංගනය දකින්නට අසාවෙන් සිටින පිරිසක්ද වෙති. එහෙයින් හොලිවුඩයේ ජනප්‍රිය නළු පෝල් වෝකර් නිසාම මෙම අලුත් චිත්‍රපටයේ ජනප්රියත්වද ඉහළ ගිය බවද සැබෑවකි. අද වන විට ලොවපුරා ආදායම් වාර්තා තබමින් අතිසාර්ථක අයුරින් තිරගත වේ. Fast And the Furious චිත්‍රපට මාලාව විචාරකයන් හඳුන්වා දී ඇත්තේ හොඳ ක්‍රියාදාම චිත්‍රපට මාලාවක් ලෙසිනි. මෙම හත්වැනි චිත්‍රපටය අලුත් ක්‍රියාන්විතයන් මෙන්ම හැඟුම්බර සිදුවීම්ද ඇතුළත් වන ලෙසින් නිර්මාණය කිරීම ගැන ඔවුන් සිය ප්‍රසංශාව පළ කර සිටියි. තනි වචනයේ කෙටි පිළිතුරු අවස්ථා රැසකදී භාවිත කර තිබීම විචාරකයන්ගේ අවධානයට ලක් වී ඇත. එය පිරිසකගේ ක්ෂණික රසවින්දනය වෙනුවෙන් කරන ලද බව ඔවුන්ගේ අදහසයි. එහෙත් එහි සාර්ථක බව ඔවුන් සඳහන් කරන්නේ, 2015 වසරේ හොඳම ක්‍රියාදාම චිත්‍රපටය මෙය වනු ඇති බවට පෙර නිමිති පළ කරමිනි. Fast And the Furious 7 දෑස් දල්වාගෙන බලා සිටිය හැකි චිත්‍රපටයක් වුවද භෞත්ක විද්‍යාත්මක නියමයන් සම්පූර්ණයෙන් අමතකර කර නිර්මාණය කළ සිනමා නිර්මාණයක් බවට චෝදනාවක්ද වේ. |