|
මේ සේමිණී එහෙට, මෙහෙට වැනෙන කෙනෙක් නෙවේ
‘සිනහව අතරින්’ විශිෂ්ට රංගනයක නියැළෙන සේමිණී ඉද්දමල්ගොඩ සමඟ සොඳුරු කතාබහක්
සාමාන්‍යයෙන් සිනමාපටයක හොඳ, නරක පිළිබඳ පූර්ව විනිශ්චයකට එළඹෙන්නේ එහි මාධ්‍ය දර්ශනය දිනයේය. කලකට පසු බොහෝ දෙනකු හොඳ යැයි, ඇතැම් විට විශිෂ්ට යැයි පැවසූ සිනමාපටයක් නැරැඹීමට මට ද පසුගිය දිනක අවස්ථාව ලැබුණි. සිනමාපටය ‘සිනහව අතරින්’ය. සුනිල් ටී චිත්‍රපට 58 වැනි ගෞරවනීය නිෂ්පාදනය ලෙස හඳුන්වා දී තිබූ එහි අධ්‍යක්ෂවරයා සනත් ගුණතිලකය. සැබැවින්ම ඔහු මේ චිත්‍රපටය හරහා අධ්‍යක්ෂවරයකු ලෙස වඩාත් පරිපාකයට පත්ව ඇතැයි මම සිතමි. විමල් නමැති එහි ප්‍රධාන භූමිකාව මැනැවින් නිරූපණය කරමින් හේ අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය ද ප්‍රශස්තව ඉටු කර තිබේ. ‘සිනහව අතරින්’ සාර්ථකත්වයට බලපෑ තවත් තීරණාත්මක සාධකයකි. ඒ ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩගේ අපූර්ව රංග ප්‍රතිභාවයි. ඇගේ විශිෂ්ටතම රංගනය එය බව මම පෞද්ගලිකව විශ්වාස කරමි. බොහෝ දුරට ඔබේ මතය ද එයම විය හැකිය. මේ ‘සිනහව අතරින්’ සේමිණි මා හා කළ ආදරණීය කතාබහකි. මට හිතෙන්නේ මේ ඔයාගේ හොඳම රඟපෑම කියලා? ඔව්, අසංක අයියා මමත් හිතනවා මේ මගේ සිනමා රංගනයේ ට(ර්)නින් පොයින්ට් එක කියලා. චිත්‍රපටය නැරැඹූ බොහෝ දෙනෙක් මට කිව්වෙත් මේ මගේ හොඳම රඟපෑම කියලා තමයි. සෑහෙන කාලයක් බලාගෙන ඉන්න වුණා නේද මෙහෙම ‘සුපිරි’ වැඩක් දෙන්න? ඇත්තෙන්ම අපට ලැබුණ අවස්ථා අඩුයි. දාන් මාලිනී අක්කලගේ කාලේ එයාලට ගොඩක් අවස්ථා ලැබුණා. ඒත් අපේ ජෙනරේෂන් එකටම එහෙම චාන්සස් ලැබුණේ නෑ. ඒ නිසා අපේ හැකියාවන් පෙන්වන්න අපට තැනක් නැති වුණා. හැබැයි මේ චරිතය මගේ හැකියාවන් ප්‍රේක්ෂකයන් අතරට ගෙන යන්න ලැබුණ විරල අවස්ථාවක්. මම හිතන්නේ එහෙම. කොහොමද ‘කුමාරි’ගේ චරිතය මේ තරම් සාර්ථකව ඔයාට නිරූපණය කරන්න ලැබෙන්නේ? මුලින්ම කියන්න ඕනෑ අධ්‍යක්ෂවරයා විදිහට සනත් අයියාගේ මඟ පෙන්වීම. මේක ස්ක්‍රිප්ට් එක බලලා, සෙට් එකට ගිහිල්ලා පටන් ගත් වැඩක් නෙවේ. කාලයක් තිස්සේ කතා කරලා, ඒකට අවශ්‍ය පරිසරය හදාගෙන කරපු වැඩක්. අධ්‍යක්ෂවරයකු හැටියට සනත් අයියාගේ ලොකු කැපවීමක් තිබුණා මේ චිත්‍රපටයට. ඒකේ ප්‍රතිඵලයක් තමයි කුමාරි. කාලයක් තිස්සේ මාව හැඩ ගැස්සුවා එයාට ඕනෑ කරන ‘කුමාරි’ මගෙන් ලබා ගන්න. ඒත් එක්කම පිටපත. කොයි වගේ අනුබලයක් ද පිටපතෙන් ලැබුණේ? බොහොම සංයමයෙන් මම තිර පිටපත අධ්‍යනය කළා. දැන් ෆිල්ම් එක බලපු අය දන්නවා ඒ ඩයලොග් ඇතුළේ පවා ලොකු ෆිලසොපි එකක් තියෙනවා. ඉතින් මම හිතන්නේ කාලාන්තරයක් තිස්සේ සනත් අයියාගේ ජීවිතේ ලබපු අත්දකිම් එක්ක හදපු කතාවක් මේක. අධ්‍යක්ෂවරයාගෙන් හා පිටපතෙන් සම සමව ලැබුණු දායකත්වය මත තමයි කුමාරි මෙච්චර සාර්ථක වුණේ. මේ දෙබස් ඇතුළේ පවා කිසියම් දර්ශනයක් තියෙන බව ඔයා කිව්වා. ඇත්තටම රංගනය කියන්නේ බුද්ධිමය කාරණාවක්නේ. ආංගික අභිනයෙන්, වාචික අභිනයෙන් ඔබ්බට ගිහින් ඒ කාරණය ඔයා ‘කුමාරි’ ගේ චරිතය හරහා ඔප්පු කර තිබෙනවා? කුමාරි කියන කාන්තාව හරිම සුවිශේෂී කෙනෙක්. ඇය කෙළින් තිරණ ගන්න, නිර්භීත ගැහැනියක්. සාමාන්‍යයෙන් අපි මේ සමාජයේ දකින කාන්තාවන්ට වඩා ඔබ්බෙන් ගිය දැඩි බවක් තියෙන කෙනෙක් කුමාරි කියන්නේ. අපිට බොහොම සරලයි කියලා හිතෙන තැන් බොහොම දරුණුයි කියලා තමයි එයා ජීවිතේට අරන් තියෙන්නේ. ඉතින් කුමාරිට තිබුණ මේ ගතිගුණ ටික සේමිණිට එකතු කර ගන්න එක ගොඩක් අමාරු වුණේ නෑ. ඒ කියන්නේ සමහර වෙලාවට ඔයත් ඒ වගේ? ඔව්. කුමාරිගේ ඇතැම් ගතිගුණ මගේ ළඟත් තියෙනවා. එහෙට මෙහෙට වැනෙන කෙනෙක් නෙවෙයි සේමිණි කියන්නේ. සෘජු තිරණවලට එන, එහෙම ප්‍රතිපත්ති තියෙන, සීමාවන් තියෙන කෙනෙක්. ඒ හින්දා ඇත්තටම මට අමාරු වුණේ නෑ කුමාරිට ඇජෙස් වෙන්න. ඔයාගේ පවුල් ජීවිතේ ඔය වගේ අර්බුදයක් පැන නැගුණොත් ඔයා ක්‍රියා කරන්නෙත් ‘කුමාරි’ විදිහටමයි? ඔව්. බොහෝ විට වෙන්න පුළුවන්. මොකද මටත් ඒ ආදරය, රැකවරණය වගේම ගැහැනියක් බලාපොරොත්තු වන දේවල් ටික ලැබුණේ නැතිනම් ජීවිතේ මමත් ඔය වගේ තීරණයක් ගන්න ඉඩ තිබ්බා. එහෙම ඉඩ තියෙනවා. ඉස්සරහට වුණත් වෙන්න පුළුවන්. ජීවිතයේ අනන්ත දුක්ඛ දෝමනස්සයන් විඳ දරා ගනිමින් තමන්ගේ කුටුම්භ ජීවිතය ආරක්ෂා කරගෙන ජීවත් වෙන කාන්තාවෝ මේ රටේ ඕනෑ තරම් ඉන්නවා.? ඔව්. එතකොට කුමාරි සීයට සීයක් සාධාරණයි කියලා ඔයා කියනවාද? නෑ, මම එහෙම කියන්නේ නෑ. ඕනෑම දුකක්, වේදනාවක් දරාගෙන තමන්ගේ පවුල් ජිවිතය ආරක්ෂා කර ගන්න පිරිසක් ඉන්නවා. නැත්තේ නෑ. අපේ සංස්කෘතිය ඇතුළේ ඒ වගේ ජීවත් වෙන්න පුළුවන් නම් ඒක හොඳයි. මම හිතන්නේ ආසියාතික ගැහැනියගේ පොදු ලක්ෂණයක් ඒක? පොදු ලක්ෂණයක් ඒක. හැබැයි දැන් මේ යුගය වෙන කොට තාක්ෂණයත් එක්ක හැම කෙනෙක්ම වෙනස් වෙලා. හැම කෙනෙක්ම වෙනස් වෙනවා. ඉතින් ඔය කියන හැම කෙනාගේම ඇතුළේ අපට දුක් විඳ ගෙන ජීවත් වෙන ගැහැනියක් මතු පිටෙන් පෙනෙයි. හැබැයි අපට කියන්න බැරි, කතා කරන්න බැරි ඔය රහස එතැනත් තියෙන්න පුළුවන්. කෙසේ වුණත් තමන්ගේ අසම්මත ආදරයට සමුදීලා කුමාරි නැවතත් සැමියා කරා එනවා. පවුල් සංස්ථාව තුළ ස්වාමියාගෙන් ලැබෙන ආදරය, රැකවරණය පිටස්තරයකුගෙන් ලැබෙන්නේ නෑ කියන යථාර්ථය නේද මේ හරහා ඉස්මතු වෙන්නේ? කොච්චර කොහේ ගියත් අවසානයේ ඉතුරු වෙන්නේ මිනිහට ගෑනිත්. ගෑනිට මිනිහත් කියන දේ තමයි ඔය චිත්‍රපටය ඇතුළෙන් පෙන්වන්නේ. චිත්‍රපටයේ ආරම්භයේ සිට අවසානය දක්වාම අපට බණ කතාවක් ඇහුවා වගේ හැඟීමකුත් දැනෙනවා. හරියට බණක් ඇහුවා වගේ. හැබැයි අපි ඒ බණ අහන්නේ හාමුදුරු කෙනෙකු ඉස්සරහා බිම වාඩි වෙලා නෙවෙයි. සිනමා ශාලාවක් ඇතුළේ කිසියම් වින්දනයක් ලබමින් තමයි ඔය බණ ටික ඇහුවේ. මට එහෙමත් දැනෙනවා. මේ චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කළා කියලා සේමිණිට හිතෙනවාද? ඔයාට එහෙම හිතෙනවා නේ? ඒක හරි. ඒත් මම ඇහුවේ ආපසු හැරිලා බලන කොට ඔයාගේ රඟපෑම් ගැන ඇති වෙන අදහස? මෙහෙමයි අසංක අයියේ, මම එදා ඉඳන් මම රඟපාපු චරිතයක් දිහා ආපස්සට බලද්දී ‘අපරාදේ මට මේක මේ විදිහට කරන්න තිබ්බා. අද කළා නම් මේක මෙහෙමයි කරන්නේ මං’ කියලා කවදාවත් හිතිලා නෑ. මෙ චිත්‍රපටය ඇතුළෙත් මම ඉන්න මතය ඒකම තමයි. ‘කුමාරි’ට උපරිම සාධාරණයක් ඉටු කළා කියලා මගේ හිත දන්නවා. ඉතිං ඉස්සරහට පේ‍්‍රක්ෂකයන්ගෙන් දැනගන්න පුළුවන් වෙයි මගේ හිතට දැනිච්ච දේ හරිද කියලා. ඔයා විමල්ට අර කම්මුලට ගහන පාර සැර වැඩියි කියලා හිතුණේ නැද්ද? සනත් අයියගෙන් මම ඇහුවා ‘අයියේ මගේ තියෙන ඉමෝෂන් එකත් එකක් මම මෙහෙම ගැහුවොත් ඔයාගේ මූණේ අනිවාර්යයෙන්ම පාරක් හිටිනවාමයි කියලා. මොකද ඒ වෙලාවේ මම ඉන්නේ ඒ චරිතේ ඇතුළේ. ‘මගේ කම්මුල පැලුණත් කමක් නෑ ඔයාට දැනෙන දේ ඔයා කරන්න’ කියලා සනත් අයියා කිව්වා. ඒ නිදහස මට දුන්නා. නිදහසින් උපරිම ප්‍රයෝජනය ගත්තා? මගේ ඇඟිලි පාරවල් තුනක් සනත් අයියාගේ කම්මුලේ. පස්සේ මම බදාගෙන ඇඬුවා සනත් අයියව. එයාගේ ඇස් දෙකෙන් කඳුළු පැනලා තිබ්බා අර ගහපු පාරට. එහෙම ගැහුවට බොහොම සුන්දර, ප්‍රේමණීය හාදුවක් දෙන තැනකුත් අපි දැක්කා? අර විමල්ගේ ගෙදරට මම මුලින්ම ගිය දවසේ. මගේ කකුල පැටලිලා වැටෙන්න ගිහින් ඔහු මාව අල්ලගත්ත වෙලාවේ. ඔව්... ඔව්... එතනදිනේ මුලින්ම වැඩේ පටන් ගන්නේ? ඇත්තටම එතනදි වුණේ මෙහෙමයි, සනත් අයියා මට කියනවා දැන් සෙට් එකේදී ‘නංගි මේ කිස් එක ඔයාගෙ ලිප්ස්වලට ගියොත් ලස්සනයි. ඒත් ඔයා කැමැති නැත්නම් එපා නංගි’ කියලා. මම දැන් බලාගෙන ඉන්නවා එයාගේ මුහුණ දිහා. ඊට පස්සේ? මම කිව්වා ‘නෑ සනත් අයියේ අපි ඒක කරමු’ කියලා. මොකද කතාවේ හැටියට ඒ වෙලාවේ ඕනෑ මනුස්සයෙක් අතින් ඒ වගේ දෙයක් වෙනවා. මගේ ‘ලිප්කිස්’ එක එතනට ආවේ නැතිනම් ඒ දර්ශනය තාත්ත්වික නොවන බව මට හිතුණා. ඇත්තටම ඒ සීන් එක ලස්සනට ෆිල්ම් එකේ තියෙනවා. තව මොනවද ඒ වගේ සුවිශේෂී සිදුවීම් වුණේ රූගත කිරීම් අතරතුරේ? අර මම වැටෙන දර්ශනයක් තියෙන්නේ. තිර පිටපතේ ඒ විදිහට නෑ. නමුත් රිහේසල් එකේදී මම ඔළුවට දාගත්තා මෙතන මේ විදිහට කරන්න ඕනෑ කියලා. මගේ වෙලාවට එතන පොඩි පඩියක් තිබ්බා. ටේක් එකේදී මම සනත් අයියාට නොකියා ඇත්තටම එයාගේ ඇඟට වැටුණා. ඒක සනත් අයියා බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයිනේ. සීන් එක හොඳට ආවා. බලන් ඉන්න කොට ඒක හරි නැචුරල් කියලා දැන් මට හිතෙනවා. තිර පිටපතට, අධ්‍යක්ෂවරයාට පමණක් සීමා නොවී තමන්ගේ චරිතයට යමක් එකතු කරන්න නළුවාට හෝ නිළියට පුළුවන් කියන කාරණාව තමයි ඔයා ක්‍රියාවට නැඟුවේ? ඔව්. චරිතයට හානියක් නොවී ඒකට සාධාරණයක් වෙන දෙයක් එකතු කරන්න පුළුවන්. මට ඒ නිදහසත් ලැබුණා සනත් අයියාගෙන්. සනත් ගුණතිලකගේ ප්‍රථම චිත්‍රපටයේත් ඔයා චරිතයක් රඟපෑවා. අධ්‍යක්ෂවරයකු විදිහට ඔහුගේ කුසලතාව හඳුනා ගන්නේ කොහොමද? නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක් වුණාම ඒක හරි වෙනස්. දැන් සනත් අයියා මාත් එක්ක සෙට් එකේදී හැසිරිච්ච විදහත් හරිම වෙනස් අයියා. අපි දවසට රූගත කළේ සීන්ස් දෙකක් විතර. බොහොම නිදහසේ වැඩ කළේ. උදේ සෙට් එකට ආවාම ගුඩ්මෝ(ර්)නින් නංගි කියලා කිස් එකක් දීලා කෑම කන්න වාඩි වෙලා හරි විනෝදෙන් එයා ඉන්නේ මාත් එක්ක. ඒත් සැරවැර වෙන, තරහා වෙන සීන් එකක් තියෙන දවසට උදේට මම ගුඩ් මෝ(ර්)නින් කිව්වාම මෝනින් කියලා මූණවත් බලන්නේ නැතුව යනවා. අයියේ කෑම කමු කියලා කිව්වාම මම කන්නම්, මම කන්නම්, ඕගොල්ලො කන්න කියලා ටිකක් සැරෙන් කියනවා. ඔයාට මොකද හිතුණේ? මූට පිස්සු ද කොහෙද කියලා මට ඒ වෙලාවට හිතුණා. ඇයි ඉතින් එක, එක වෙලාවට එක එක විදිහනේ. හැබැයි ඉතින් අවසාන ප්‍රතිඵලය දකිද්දී තමයි හිතෙන්නේ එයා මාව කොහෙටද ගෙනිහිල්ලා තියෙන්නේ කියලා. ඕක ඉතින් නළුවෙක්ම අධ්‍යක්ෂවරයෙක් වෙන්න ඕනෑ ඒ විදිහේ එක්ස්පීරියන්ස් එකක් තියෙන්න. ආදරය’ පෙරෙනවා සේමිණිගේ මේ චිත්‍රපටයේ. සනත් අයියාගෙත් එහෙමයි. මේක මේ ආයාසයෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොහොමද මෙච්ර ප්‍රේමණීය විදිහට මේ අත්දැකීම ප්‍රේක්ෂකයාට ලබා දෙන්නේ? සනත් අයියයි, මායි පෙම්වතුන් නෙවේනේ ඇත්ත ජීවිතේදී. සමහර දවස්වලට මට මේ වැඩේ එපා වෙලත් තියෙනවා. එහෙමද? ඔව්. හරි අමාරුයි, ඉතින් එයාට අවශ්‍යය කරන දේ ගන්න යන විදිහට. එහෙම වෙළාත් අර ප්‍රේමණීය බව චිත්‍රපටයට එකතු කරන්න පුළුවන් වුණේ ඉතින් අර මොකක් හරි මගේ තියෙන සහජ හැකියාවට. අර ඔයා මුලින් කිව්ව බුද්ධිමය කාරණාවත් ඒකට බලපාන්න ඇති. සැමියා මේ චිත්‍රපටය නැරැඹුවාද? ඔව් . . . ඔව්. මොකද කිව්වේ? මට එහා පැත්තේ ඉඳන්මයි බැලුවේ. අඬනවා, හොටු හූරනවා ඔක්කොම දැක්කා ඉතින්. ලැජ්ජයි දැන් එයාට. එවෙලේ මාව බදාගෙන සුබපැතුවා. එයාට මාර සතුටුයි. ඊර්ෂ්‍යාවක් එහෙම හිතුණේ නැද්ද දන්නේ නෑ? නෑ එයා එහෙම නෑ. දන්නවනේ ඉතින් මේ රංගනයක් කියලා. මගේ ටැලන්ට් දැකලා ධම්මිකට සතුටුයි. ගොඩක් අය කිව්වේ ‘යකඩ පිහාටු’ චිත්‍රපටයෙන් පස්සේ මේ චිත්‍රපටයෙන් තමයි මට හොඳට අතපය දිගෑරලා රඟපාන්න අවස්ථාව ලැබුණේ කියලා. මට ඇත්තටම කණගාටුවක් තියෙනවා ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහ අටකට පස්සේ තමයි මට දැන් ඔය හොඳම අවස්ථාව ලැබුණේ. නිළියක් විදිහට ඔයාගේ හැකියාව උරගා බලන්න ලැබුණ අවස්ථාවක් වගේම මේක එක්තරා විදිහක භාග්‍යයක්? ඇත්තටම. කැළුම් පාලිත මහීරත්නගේ ‘නිලම්බරේ’ චිත්‍රපටයේ රඟපෑවනේ අපි දෙන්නා. ඒකේ මම සනත් අයියගේ වයිෆ්ට ඇක්ට් කළේ. එතකොට සනත් අයියා කිව්වලු, කැළුම් අයියට ‘මචං මම කවදා හරි ෆිල්ම් එකක් කළොත් සේමිණිව නම් ගන්නවාමයි වැඩේට’ කියලා. ඒ වගේම සනත් අයියා ඔහුගේ චිත්‍රපට දෙකටම මාව ගත්තා. නිරෝෂා විරාජිනී ගයන ‘සිර වී තිබුණා’ ගීතය මේ චිත්‍රපටයේ හැම රූප රාමුවක් සමඟම බද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ ඇගේ මියුරු ගායනයත් ඔයාට යම් උත්තේජනයක් වන්නට ඇති මේ රංගන කාර්යයේදී? ඇත්තටම මේ ගීතය රචනා කළේ සනත් අයියාමයි. ඔයා කිව්වා වගේ ඒ සිංදුවත් බලපෑවා ඒ ලව් සින්ස් කරද්දී. ඇඟේ හිරිකඩු පිපෙන තරමට ආදරබර ගීතයක් ඒක. හිතාගන්න බෑ එයා ඒක කොහොම ලිව්වාද, මෙයා ඒක කොහොම කිව්වා ද කියලා. ඒකත් එක්ක නිරෝෂාගේ සංගීතය ගැන කතා කළොත් ඇය හරිම සුන්දරයි. මගේ දැනුමේ හැටියට නම් මට ඒ මියුසික් විශිෂ්ටයි. හරි අවසන් වශයෙන් මම කියනවා ‘කුමාරි’ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන් පිදුම් ලැබිය යුතු චරිතයක් කියලා? ගොඩක් ස්තුතියි ඒ යෝජනාවට. කිසියම් සම්මානයකට නිර්දේශවීමත් මම සලකන්නේ සම්මානයක් විදිහට. හැබැයි අසංක අයියා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර තමයි මට වැඩියෙන්ම සතුට දනවන්නේ. අසවල් චරිතය මම හොඳට රඟපෑවා කියලා ඔවුන් මට කියන කොට ඇත්තටම හිතට දැනෙන්නේ ලොකු සතුටක්. ඒ ජනතා සම්මානය මට වටිනවා සියල්ලටම වඩා. |