|
තුෂාරි ශෘංගාර නගරයේ කොටුවෙලා
තුෂාරි අබේසේකර කියන්නේ වර්තමානයේ ඉන්න දක්ෂ වගේම කුසලතා සපිරි අධ්‍යක්ෂවරියක්. මෙතෙක් කළ නිර්මාණ කිහිපය සඳහාම සම්මාන දිනාගෙන තිබෙන ඈ ලියූ ‘සුදු කපුරු පෙති’ පිටපත ඔස්සේ ජාතික රූපවාහිනියෙන් කළ ටෙලි සිත්තම තහනමට පවා ලක් වෙන්නේ නොසිතුව විදියට. පුංචි තිරය වගේම ඇගේ සිත්ගත් අලුත්ම මාධ්‍ය වුණේ වේදිකාව . මේ ලිපිය ඒ ඔස්සේ කලඑළි බසින තුෂාරිගේ නව නිෂ්පාදනය වන ‘ ශෘංගාර නගරය’ගැනත්, කලා ජීවිතය ගැනත් සරසවිය සමඟ කළ කතාබහෙන් සකස් කරන ලද්දක්.
දඟකාර තුෂාරි අප්පච්චිගේ සුලැඟිල්ලේ එල්ලිලා හලාවත නගරයට ආවේ බයිස්කෝප් එකක් බලන්න හිතාගෙන. මේ නඩේ ඇගේ අයියත් සිටියා. එදා හලාවත ෆර්ල් හෝල් එකේ 6.30ට තිරගත වුණේ ටයි මාමාගේ ‘හදයා’. ඉක්මනින්ම ටිකට් ගත්ත අප්පච්චි තුෂාරිටත්, අයියටත් කඩල ගොටුදෙකක් අරගෙන දුන්නේ හෝල් එක ඇතුළට යන්න කලියෙන්. හෝල් එක ඇතුළට ගිය තුෂාරි වාඩිවුණේ අප්පච්චි වාඩිවුණු පුටුවේ ඇන්දේ. ඒ මොකද කිව්වොත් පුටුවක වාඩි වුණත් දොඩම් ගෙඩි දෙකක් තරම් උස ඈට තිරය නොපෙනෙන නිසා. අප්පච්චිට හේත්තුවක් දාලා බයිස්කෝප් එක නැරැඹුව තුෂාරි හෝල් එකෙන් එළියට ආවේ ‘කවුරුදෝ කවුරුදෝ දැන් ලොක්කෝ ’ කියන ගීතය මුමුනන ගමන්. එතැනින් නොනැවතුණු තුෂාරිගේ අප්පච්චි මේ දෙන්නත් කැටුව ගියේ ඊළඟ පික්චර් හෝල් එකට. ඒ ඒ හෝල් එකේ තිරගත වුණු බයිස්කෝප් එක නරඹන්න. මේ හැම දෙයක්ම අවසන් වෙලා රාති‍්‍රයේ ගෙදරට ආව අයියටයි, නංගිටයි වැඩ ගොඩයි. බයිස්කෝප් එකේ සිටිය වීරයාගේ චරිතය රඟපාන අයියා දිහාම බලාගෙන සිටිය තුෂාරි අප්පච්චිගෙන් එක එක ප්‍රශ්න ඇසුවා. ඒ තිරය පිටුපස වෙන අලකලංචි ගැන. තිරයට රූප එන්නේ කොහොමද කියන එක ඈට ලොකු ප්‍රශ්නයක්. දැනෙන විදියට ඒ ප්‍රශ්නයට උත්තර දුන්න අප්පච්චිගේ උත්තරයෙන් තුෂාරි සැනසුණා. “කවදහරි මමත් ඒ වගේ එකක් හදනවා.”ඈ අප්පච්චි දිහාම බලාගෙන කිව්වා. ‘හෝපලු අරණ’ පුංචි තිරයට ගෙනා තුෂාරි අබේසේකර කියන සම්මානනීය අධ්‍යක්ෂවරියගේ කලාවේ ආගමනයට සිතක් පහළ වෙන්නේ ඒ විදියට. “ ඒ කියන්නේ ඔබ ඒ වනවිට පස් හැවිරිදි වියේ ඉන්න බොහොම පුංචි ළමයෙක්.” ‘ එදා මගේ හිතේ ඇතිවුණු ඒ පුංචි බලාපොරොත්තුව අද මම ඉන්න තැනට එන්න හේතුවුණු ප්‍රධාන සිද්ධියක්. මුලින්ම මගේ අවධානය යොමු වෙලා තිබුණේ ලිවීමටයි. මම ලිවීම ආරම්භ කරන්නේ සිතේ ඇතිවෙලා තිබුණු හුදකලා බව මකා ගන්නයි. ඒ හුදකලාව ඇතුළේ විවිධ මාන සොයා යන පුරුද්දක් මට තිබුණා. ඒ පුරුද්දයි මාව කලාවට අරගෙන එන්න පාර කැපුවේ. ඊට පෙරමඟ හදන්න තවත් හේතුවක් වුණේ මා අධ්‍යාපනය ලැබූ පාසලයි. හයේ පන්තියේදි යාළුවෙක් පෙම්කළ තරුණයෙක්ට දීම සඳහා මට කවියක් ලියන්නැයි ආරාධනාවක් කරනවා. ඒ මම ලියලා දෙන කවිය අවසානයේ පන්තියේ සිංහල ගුරුතුමිය අතට පත්වෙන්නේ නොසිතුව මොහොතකයි. කවියේ තිබුණු සුන්දරත්වය දැක්ක ඈ මට ඒ කවිය යහපත් පැත්තට ලියලා අරගෙන එන්න කියලා අණ කරනවා. ඒ විතරක් නෙවෙයි විදුහල්පතිතුමා ළඟට අරගෙන ගිහින් මගේ කවිය පෙන්නලා මම දවසක හොඳම ලියන්නියක්, නිර්මාණකාරියක් වෙයි කියලා අනාවැකියකුත් පළ කරනවා. ඒ කියමන මගේ හිතේ ලොකු බලපෑමක් ඇති කරන්නට සමත් වුණා කිව්වොත් නිවැරැදියි. කාලය ගෙවිලා යනවා ඒත් එක්කම මගේ හැකියාව උරගා බලන්නයි මම මුලින්ම ‘සුදු කපුරු පෙති’ ලියන්නේ.මේ නිර්මාණයට ලැබුණු ඇගයීමත් සමඟයි මම හලාවත ඉඳලා කොළොම් පුරවරයට පා නඟන්නේ. එහිදි ඇති වන විවිධ කාරණා හේතුකර ගනිමින් අධ්‍යක්ෂණයට පිවිසෙන මා ඒ සියලු දේ තනිව හදාරනවා. මගේ ගුරුවරයා වෙන්නේ පොත්පත්. කාලයක් යනවිට අධ්‍යක්ෂණය උගත හැක්කේ මිනිසෙකු විනිවිද දකින අයෙකුට පමණයි කියන අදහස මගේ සිතේ පැළපදියම් වෙන්නේ මේ අතරයි. ඒ අධ්‍යයනය එදා ඉඳලම මම කළ දෙයක්. ඒ නිසාම මට අතින් අල්ලන්න පුළුවන් බරක් තියෙන හැඟීම් ලියන්න පුළුවන් වුණා. ඒ හැඟීම් අතින් අල්ලන්න පුළුවන් විදියේ රූප බවට පත් කරන්න උවමනා වුණා. ඒවායි ටෙලි නිර්මාණ විදියට සමාජයට පිවිසෙන්නේ.’ පිටපත් රචිකාවක්, අධ්‍යක්ෂවරියක්, ගායිකාවක් කියන මේ පරාස කිහිපයේම සැරිසරන තුෂාරි වේදිකාව හොයන්න ගන්නේ ඊට පස්සේ. “ ඒ සඳහාත් හේතුවුණේ ඔබේ සිතේ මැවුණු යම්කාරණයක්ද ?” ‘ කුඩා කාලයේදි මම බොහොම ආසයි කෑගහලා සින්දු කියන්න. ඒකට මම අම්මයි, තාත්තයි ගෙදරින් කොහේ හරි යනතුරු ඉන්නවා. ඒ විතරක් නොවෙයි ඒ අය ගියාට පස්සේ ගහක් උඩට නැගලා පුළුවන් තරම් හයියෙන් ගමටම ඇහෙන්න කෑ ගහනවා. ඒ වගේම අත්පොළසන් නාදයට ඇහුම්කන් දෙන්නත්, ඒ හඬේ තිබෙන මිහිරියාවටත්, පාසලේ විවේක කාලයේදි හැමෝගෙම හඬවල් එකතු වෙලා හීනියට නැගෙන නාදයටත් මා බොහොම කැමැතියි. මේ කැමැත්ත උඩයි මම වේදිකාව මොකක්ද කියලා සොයන්නේ. වේදිකාවේ මොකක්ද කෙරන්නේ කියලා සොයන්නේ. ඒ සොයා ගැනීමට අනුවයි මිනිස්සුන්ගේ සිතේ ඇතිවන හැඟීම පිට කරන්න ඡවයක් ඕන බව හැඟුණේ. ඒක පිට කරන්න පුළුවන් නිර්මලම තැන විදියටයි මා වේදිකාව හඳුනා ගන්නේ. ඒ කළ අධ්‍යයනය ඇතුළෙයි ‘ශෘංගාර නගරය ’ බිහිවුණේ.’ ‘යුද්දේ කොළා’ කියන්නේ තුෂාරිගේ පළමු වේදිකා නාට්‍යය. ‘ශෘගාර නගරය’ ඇගේ අතින් නිර්මාණය වෙන්නේ දෙවනුව. මේ වේදිකා නාට්‍යයට පාදක වෙන්නේ අපේ රටේ ප්‍රසිද්ධ ප්‍රේම කතාවක්. ඒ දස්කොන් - ප්‍රමිලා. “ වේදිකාව සඳහා ඔබ මේ ප්‍රේම වෘත්තාන්තයම තෝර ගන්න විශේෂ හේතුවක් තිබෙනවද ? ” ‘ මේක මම වේදිකාවට අරගෙන එන්නේ දස්කොන් ප්‍රමිලාගේ ප්‍රේම පුරාවත නැවත දැකීමක් විදියටයි. මට උවමනා වෙන්නේ මේ කතාව ඔස්සේ තිබෙන දේශපාලනය ගැන කතා කරන්නයි. දස්කොන් කියන්නේ ශෘංගාරවාදියෙක්. ඒ වගේ හැමදේටම දක්ෂ කෙනෙක් කොහොමද මැරුම් කන්නේ කියන එක හොයාගෙන යද්දි මට අලුත් කරුණු රැසක් හෙළිදරව් වුණා. ඒ හෙළිදරව්ව අනුවයි ‘ශෘංගාර නගරය’ ගොඩනැගෙන්නේ. එතනදි මට උවමනා වුණේ ඉතිහාස කතාවම කරළියට ගේන්න නම් නෙවෙයි. නව සොයා ගැනීමක් ඉදිරිපත් කරන්නයි.’ ඉතිහාස කතා විවිධ මාධ්‍ය ඔස්සේ සමාජගත වන මෙවැනි යුගයක තුෂාරිට උවමනා වුණේ හැදාමත් වගේ වෙනස්ම දෙයක් කරන්න. ඒ වෙනස්වීම ඇය ටිකෙන් ටික ගොඩනැගුවා. තමන්ගේ නව සොයා ගැනීමට අනුව. “ දේශපාලන කියවීම කුමන ආකාරයෙන්ද ඔබ ‘ශෘංගාර නගරය’ ඔස්සේ ගෙන එන්නේ ?” ‘ මම මිනිස්සුන්ව දකින විදිය වෙනස්. උන්නති කාමයෙන් හිස උදුම්මවා ගත් දේශපාලනයට මා අකැමැතියි. නිතරම වගේ මම එය හරවනවා හැම තිස්සේම සතා සිව්පාවාට, ගහකොළට, මනුස්සයාට දක්වන මානව හිතවාදයකට. මානව හිතවාදයයි මගේ දේශපාලනය වන්නේ. මගේ නිර්මාණවල මා පතුරුවන්න සූදානම් වන්නේ මානව හිතවාදයයි. හොඳ මානව හිතවාදියෙක් නොවුණොත් ඔහුට හොඳ නිර්මාණකරුවෙක් වෙන්න බැහැ. එලෙස පවසන්නේ මා ඔස්සේම අත් දැක්ක කාරණා නිසයි. ඒ නිසා ඉතිහාස චරිත අරගෙන කොහොමද ඔවුන් විනාශයට පත්වෙලා තියෙන්නේ, ඒ අයට මගේ පෑනෙන් සාධාරණයක් කරන්නේ කොහොමද කියලා මම නිතරම සිතන කාරණයක්. එවිටයි මට හැගෙන්නේ සත්‍යවාදීන් බොරුකාරයෝ වෙලා, අපරාධකාරයෝ වෙලා මිය ගිහින් තියෙනවා කියන වග. ඔවුන්ගේ මතුපිටෙන් පෙනෙන දෙයකට වඩා හොඳ ගතිගුණ ඇතුළේ තියෙනවා. ඒ ගතිගුණයි මා මගේ නිර්මාණය මගින් මතු කරන්නේ.’ නව නිෂ්පාදනයක් ලෙසින් සිය නිර්මාණය කරළියට පිවිසියද වර්තමානයේ වේදිකා නාට්‍ය සමඟ ඇයට තරගයක් ඇත්තේ නැතිතරම්. ‘ මට තියෙන්නේ ඒ ගැටලුව නොවෙයි. මගේ කියැවීම මොකක්ද කියලා හඳුනා ගතහැකි නළු නිළියන් පිරිසක්. මේ නිසයි මේ නිර්මාණයේ දෙවැනි නිෂ්පාදනයට පිවිසීමට මට සිදු වන්නේ. නව නිෂ්පාදනයේදී කලින් තිබූ පිටපත තවත් කෙටි වෙනවා. මෙවර වේදිකාවට මා රැගෙන එන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කළ පිටපතක්. ලෝකයම දන්න ජගත් චමිලත්, විශිෂ්ට චරිතාංග නිළියක් ලෙස මා දැක්ක නිල්මිණි කෝට්ටෙගොඩත්, දක්ෂ නළුවෙක් වුණු ජනක කුඹුකගේත්, දස්කොන්ගේ චරිතයට පණදෙන උපුල් නවරත්න බණ්ඩාර කියන රංගනයට නවකයාත් බොහොම දක්ෂ විදියට මෙහි රඟපානවා. ඉන්න අනෙක් අයත් එහෙමයි. මේ නිසා මට අවශ්‍ය වන්නේ දක්ෂ නළු නිළියන් පිරිසක් පමණයි. ඒ වගේම මේ නාට්‍ය නරඹන පේ‍්‍රක්ෂකයන්ට දැනේවි මේක අලුත්ම අත්දැකීමක්, අපූරු අත්දැකීමක් කියලා. ඒ නිසාමා ආරාධනා කරනවා රසවතුන්ට මේ නිර්මාණය නරඹන්න එන්න කියලා. ඔවුන්ටයි මෙහි නියම අරුත වටහා ගත හැක්කේ.’ තුෂාරි අබේසේකර කරන්නේ ඔබට සුන්දර ආරාධනාවක් ඒ ආරාධනාවත් සමඟ ‘ශෘංගාර නගරය’ ගැන අවසානයේ ඈ කිව්වේ මගේ මතකයෙන් කිසිම දිනයක නොමැකෙන අපූරු කතාවක්. “ මම මේ නාට්‍ය කරන්නේ නගරයට නොවෙයි. ගමට අරන් යන්න.”
|