|
පස්සේ ගිහින් අවස්ථා ඉල්ලන වැඩ මා ළඟ නැහැ
ඉඳුනිල් නමින් අප දන්නා එකම කලාකාරිණිය ඉඳුනිල් දිසානායකයි. ඇයට පසුව අපට තවත් ඉඳුනිල් කෙනෙක් මෑතකදී අපට හමු විය. ඇය ඉඳුනිල් නුගවෙලයි. අර ඉඳුනිල් මෙන්ම මේ ඉඳුනිල් ද නිවේදිකාවක වීම ද විශේෂත්වයකි. එපමණක් ද නොව මේ ඉඳුනිල් මේ දිනවල විකාශය වන මොනර කඩදාසි හි කල්පනා වෙමින් අප හමුවට පැමිණෙමින් සිටින්නීය. ඉඳුනිල් ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය නිළියක් විලසින්ය. එහෙයින් ඇයව හඳුන්වා දෙන ගමන් වැඩි වශයෙන් අප ඇයත් සමග කතා කලේ රංගනය පිළිබඳවය. ඉඳුනිල්ලා ක්ෂේත්රයේ හරිම අඩුයි නේද? ඔව්. හැබැයි ඉන්න ඉඳුනිල්ලා ඉඳුනිලක් වගේ මේ ක්ෂේත්රය බබලනවා. ඔබ හරි අතිශෝක්තියකින් තමන් ගැන කතා කරන කෙනෙක් වගේ? එහෙමත්ම නැහැ. හැබැයි අපේ වටිනාකම දන්නේ අපිනේ කොහොමද මොනර කඩදාසි සඳහා ලැබෙන ප්‍රතිචාර? හොඳ මට්ටමක තියෙනවා. සමහරුන්ට එක සැරේම මාව හඳුනගන්න බැහැ. මගේ ස්වරූපය සහ කතාබහ කිරීම වෙනස්නෙ නාට්‍ය ඇතුළේ. ඔබ ද ඒ වෙනස හදා ගත්තේ? ඔව්. ඒ කියන්නේ ඔබ චරිතයක් ලැබුණම වෙනසක් කරලා හරි පිටපතට අමතරව චරිතයට යමක් එකතු කරලා තමයි රඟපාන්නේ? මට හිතෙනවා එහෙම කළොත් හොඳයි කියලා. නැතිනම් චරිතයක් ලැබුණම ඒක ඔහේ ඉදිරිපත් කළොත් මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. ඉඳුනිල් රංගනය ගැන ඉගෙන ගෙන තියෙනවාද? ඔව්. ජයලාල් රෝහණ සර් යටතේ මම රංගනය හැදෑරුවා. මේ වන විට ඔබ ස්වර්ණවාහිනියේ නිවේදිකාවක්? ඔව්. සිහින නිවහන තමයි මම මෙහෙයවන වැඩසටහන. ස්වර්ණවාහිනියට එන්න කළින් ඔබ මොන නාළිකාවේද හිටියේ? ජාතික රූපවාහිනියේ. මගේ ගමන ඇරැඹෙන්නේ එතැනින්. එහි සහන නිවේදිකාවක් විදිහට මම වැඩ කළා. බටහිර අහස, නුග සෙවණ ආදී වැඩසටහන් කාලයක් මවිසින් ඉදිරිපත් කෙරුවා. ඒ කාලයේදීම ඔබ රංගනයට ද පිවිසෙනවා. මොකක්ද ඔබේ පළමු ටෙලි නාට්‍ය වුණේ? ජාතික නාළිකාවේ සිත නිවන කතා මාලාව හරහායි මම රංගනයට පිවිසෙන්නේ. ඊට පසුව විජිත මංජුලගේ සල් මල් ලන්දට එකතු වුණා. කෙහොමද ඔබ ස්වර්ණවාහිනියට එන්නේ? මම රඟපාපු නාට්‍යක් ස්වර්ණවාහිනියේ විකාශය වුණා. ඒකේ නම මෙගා. එමඟින් මාව දැකලා තිබුණා ස්වර්ණවාහිනියේ වැඩසටහන් අධ්යක්ෂ බුද්ධික කුලසේකර මහතා. ඔහුගේ ආරාධනයෙනුයි මම ස්වර්ණවාහිනියට එන්නේ. ඔබ ඉන් පසුව දිගින් දිගටම එකතු වන්නේ ස්වර්ණවාහිනියේ නාට්‍යවලට පමණයි? ඒක නම් ඇත්ත. පාරාවළලු, සයුරි, කළු අරලිය සහ මොනර කඩදාසි වගේ මා හිටපු නාට්‍ය ඔක්කොම ගියේ ස්වර්ණවාහිනියේ තමයි. ඔබට එය අවාසියක් නොවේද? ඔබ ඔහොම කියන්නේ වෙන නාළිකාවල මම නැති නිසා වෙන්න ඇති. ඔව්? මට තවම වෙන නාළිකාවකින් ආරාධනා ලැබිලා නැහැ. මොනවා වුණත් මම හිතනවා ස්වර්ණවාහිනියේ නාට්‍යවල පමණක් හිටියට මට අවැඩක් වෙලා නැහැ තවම. මෙගාවලට සම්බන්ධ වෙලා ඉන්න නිළියක් හැටියට කොහොමද මෙගා ඔබට දැනෙන්නේ? මෙගා ටෙලි දැන් දැන් ප්රමිතිකරණයකට ලක්වෙලා තියෙනවා. ඉස්සරට වඩා මෙගා අද හොඳයි. මෙගාවලට බනින්නේ නැත්තේ ඔබව මෙගාවලින් කැපේවි කියන බයටද? නැහැ. මම කිව්වේ ඇත්ත. ඉඳුනිල් පැත්ත ගියත් ඇත්ත කියන පාටයි? ඔව්. අසාධාරණය වන තැන්වලදී මම ඒවාට විරුද්ධව නොබියව කතා කරනවා. ඔබ අගය කරන මෑත කාලයේ බිහි වූ අධ්යක්ෂවරයා කවුද? ආයේ කතා දෙකක් නැහැ, ජයන්ත චන්ද්‍රසිරි. ඊයේ පෙරේදා ඔබ ආසාවෙන් නරඹපු චිත්‍රපටය කුමක්ද? නෝට්බුක්. ඔබට නිරූපණය සඳහා ලැබුණා නම් හොඳයි කියා සිතුන වෙනත් අයකු රඟපෑ චරිතයක් තිබේද? ඔව්. සමනළ සංධ්වනියෙහි යශෝධා විමලධර්ම අක්කා රඟපාපු චරිතය මට ලැබුණා නම් හොඳයි කියලා හිතුණා. හැබැයි යශෝධා අක්කා තරම් භාවාත්මකව මට එය නිරූපණය කරන්න බැරි වේවි. ඔබට තවම චිත්‍රපට සඳහා ඇරැයුම් ලැබුණේ නැත්තේ ඇයි? චිත්‍රපට දෙකකටම කතා කළා. නමුත් එවා මඟ හැරුණේ ඇයි කියන්න මමවත් දන්නේ නැහැ. ඒ කිව්වේ? ඒවා හි චරිත ගැනත් කතා කරලා කිව්වා. හැබැයි එයාලා මට දැනුම්දීමක්වත් කරන්නේ නැතුව වෙන අයව දාලා කරලා. ඔබ ඉතින් කෝල් එකක්වත් දීලා බැලුවේ නැති ද මොකද වුණේ කියලා? මම එහෙම පස්සෙන් ගිහිල්ලා අවස්ථා ඉල්ලන කෙනෙක් නෙවෙයි. එයාලට මාව හරි මදි නිසානේ නොගත්තේ. කෝල් කරලා බැලුවත් ඉතින් වැඩක් වෙන එකක් නැහැ. ඉඳුනිල් මේ වන විට විවාහකයි. සැමියා ගැනත් කිව්වොත් හොඳයි නේද? හොඳයි, හොඳයි මම කියන්නම්කෝ. ඔහු චන්දන ජයසිංහ. ස්වර්ණවාහිනියේ ප්රවෘත්ති අංශයේ සේවය කරනවා. ඉඳුනිල් විලාසිතාවලට බෙහෙවින් කැමැත්තක් දක්වනවා කියලා පේනවා? ඔව්, ඔව්. මම කාලයක් මෝස්තර නිරූපණයෙත් යෙදුණනේ. ඒ හින්දා මගේ විලාසිතා මමමයි කර ගන්නේ. ඉතින් කියන්නකෝ ඔබේ ඉදිරිය ගැන? කලාවේ දිගු ගමනක් යන්න තමයි අපේක්ෂාව. බොහෝ විට නිර්මාණකාරිණියක් වශයෙන් ඉදිරියට ඒවි. තවදුරටත් පැහැදිලි කළොත් අධ්යක්ෂවරියක් වෙන්නටත් අදහසක් තියෙනවා? ඔව්. ඔබට අපේ සුබපැතුම් එක් කරනවා. නව පරපුරේ නිළියක් අපිට ඔහොම කිව්වාමයි. එහෙමද? බොහොම ස්තූතියි.
ඉඳුනිල්ගේ පෞද්ගලික විස්තර කිහිපයක් ගම - කැලණිය. පාසල - ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය. පවුලේ විස්තර - අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි, නංගියි, මල්ලියි. උපන් දිනය - 1988. 04. 04 රංගනයට, නිවේදනයට අමතරව ඇයට සිංදු කියන්නත් පුළුවන්ලු. හැබැයි ඇය ඒක වැඩිය ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. සිංදු කියන්න කතා කරයි කියලා වෙන්න ඇති.
|