වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




අර්නස්ට් වඩුගේගේ අතීතයෙන් මීබිඳු රුක්මණී ගෙන් සමරුවක් ගන්න අගමැති ළඟට එයි

අර්නස්ට් වඩුගේගේ අතීතයෙන් මී බිඳු

රුක්මණී ගෙන් සමරුවක් ගන්න අගමැති ළඟට එයි

සරසවිය නම් සදාදරණීය සිනමා පුවත්පත උපත ලබා පසුගිය 10 වැනිදාට වසර පනස් දෙකකි. දේශීය කතානාද සිනමාව ආරම්භවී මේවන විට ගෙවෙන්නේ හැට අටවැනි වර්ෂ පූර්ණයයි. අර්නස්ට් වඩුගේ හෙවත් මගේ කලා දිවියට අවුරුදු පනහකි. සරසවිය පටන්ගෙන වසර දෙකක් ගත වූ තැන මගේ පුවත්පත් දිවිය ඇරැඹෙයි. මා අතින් ලියවෙන පළමු ලිපිය පළ වූයේ සරසවියේ බව පුන පුනා පවසන්නට අවශ්‍ය නැතැයි මම සිතමි. මගේ මතක සටහන් එක්කොට අපූරු ලිපි මාලාවක් සරසවියට මා ගෙන එන්නේ සතුටිනි. එහි නම ‘අතීතයෙන් මී බිඳු’ය. එය මගේ සතුට දෙගුණ තෙගුණ කරන නමකි. ඒ 1972 වර්ශයේ ජනවාරි 21 වැනිදා එනමින්ම මා ලිපිමාලාවක් ආරම්භ කළ හෙයිනි.

එදවස ඊට උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණ. ඉන් වසර හතළිස් හතරකට පසු යළිත් එයම සරසවිය තුළින් අරඹන්නට ලැබීම එක්තරා ආකාරයකින් පෙර වාසනාවක් යැයි සඳහන් කළ හැකිය. එදා අතීතයෙන් මී බිඳු හි කුලුඳුල් ලිපිය ලියවෙන්නේ එඩී ජයමාන්නයන් ගැනයි. එදා අතීතයෙන් මී බිඳු අරඹන්නට ප්‍රධානම හේතුව සිංහල සිනමාවට විසිපස් වසර පිරුණු දිනය බැවිනි. අද එම විශේෂාංගයම නැවතත් ආරම්භ වන්නේ එඩීගේ ආදරණීය වන එහෙමත් රුක්මණී දේවියගෙනි. එය කොතරම් සුන්දර දෙයක්දැයි ඔබට අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. මේ කතාව අසා අද සිටින මගේ හිතමිත්‍ර නිළියන් අමනාප වූවාට කම් නැත. යුතුකමක් වශයෙන් මා ඇත්ත පැවසිය යුතුය. එදා මෙදා තුර මට හමුවූ නිහතමානීම නිළිය රුක්මණී දේවියයි. ඇගේ සිත වතුර මෙන් පැහැදිලිය.

රුක්මණීව මට හාහා පුරා කියා මුණගැසෙන්නේ ගාල්ලේදීයි. එදවස අප ඇයට සැලකුවේ දෙවඟනක් හා සමානවය. එකල අපට වැඩිහිටියන් හඳුන්වා දුන් රැජනන් දෙදෙනකු විය. එළිසබෙත් මහ රැජින එක් අයෙකි. අනෙක් කෙනා වූයේ රුක්මණී දේවියයි. ඒ රැජන මගේ ගම වූ ගාල්ලට පැමිණීම සිතට ගෙන ආවේ කියාගන්න බැරි තරම් උද්දාමයකි. ළඟ තිබූ හොඳම කොට කලිසම හැඳ මම ඇයව බලන්නට ගියෙමි. මා ඇයව දැක බලා ගත්තේ සෙනඟ අතරින් පීරා ඉදිරියට යමින් ඉතා අපහසුවෙනි. එදා ඒ රූපශ්‍රීය විඳගත් මා පසුකාලීනව ඇගේ සමීපතමයකු බවට පත් කරන ලද්දේය. රුක්මණී දේවී අභිමානවත් චරිතයකි. හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා පවා රුක්මණීට අප්‍රමාණ භක්තියකින් සැලකීය. ගාමිණී එතරම් ගෞරවයක් දැක්වූ නිළියක් සිටීදැයි සැක සහිතය. 1947 කාලයේ සිංහල චිත්‍රපටයක් තැනීම කිසිදා සැබෑකරගත නොහැකි හීනයක් යැයි ජනමතයක් ගොඩනැඟී තිබිණ. දිලිප් කුමාර්, නර්ගීස් වැන්නවුන් එසමයේ මෙරට රජ වූ හැටියකි. කඩවුණු පොරොන්දුව නම් චිත්‍රපටයක් නිර්මාණය වුණේ ඒ අතරය. එහි මංගල දර්ශනය පැවැත්වූයේ ආමර්වීදියේ කිංස්ලි සිනමාශාලාවේය. එකල ලංකාවේ අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ මෙරට ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමිනි.

චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹිණ. පළමුව එහි නිෂ්පාදක එස්. එම්. නායගම් කළ පිළිගැනීමේ කතාවක් තිරයේ දිගහැරිණ. දෙවනුව රුක්මණී ගීතයක් ගයන දර්ශනයක් විය. එය මහත් වූ දුක්බර එකකි. ශාලාව දෙවනත් වන්නට ඇගේ හඬ ඇසිණ. රුක්මණීගේ මුවින් ගිලිහුණේ ශෝකාලාපයක් වුවද එසැණින් ප්‍රේක්‍ෂකයෝ තම අසුන්වලින් නැගිට අත්පොලසන් දෙන්නට පටන් ගත්හ. ඒ මෙරට බිහිවූ පළමු නිළිය දැකීමේ උද්දාමයෙනි. ක්ෂණයකින් රුක්මණී ප්‍රේක්‍ෂකයන් ගේ හදවත් නතුකරගත් අන්දම හරිම අපූරුය. චිත්‍රපටය අවසන් වෙද්දී ඇය හෙළ සිනමාවේ කඳුළු බිංඳුව වී හමාරය. එදා රුක්මණී ළඟට පැමිණි සේනානායක මහතා තම සමරු පොතෙහි රුක්මණීගේ අත්සන ලබා ගත්තේය. එතැන් පටන් ඇය හෙළ සිනමාවේ පළමු නිළි රැජන විය. පළමු ගීත කෝකිලාව විය. එමෙන්ම නව කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ මුල්ම සිංහල චිත්‍රපටය වන කැලෑ හඳේ ඇය රඟපෑමට භාග්‍යවන්ත වූවාය.

උතුරු ඉන්දියාවේ චිත්‍රාගාරයක නිර්මණාය කළ මුල්ම චිත්‍රපටය වන දෛවයෝගයේ ද රඟපෑවේ ඇයයි. දෛවයෝගය ගැන කතාකරද්දී තවත් රස කතා පෙළකි. එයද ඔබට මී බිඳු මෙන් රසවත් වනු ඇතැයි මා සිතමි. රුක්මණී ඉන්දියාවට ගිය කල ඇයට ලැබුණේ රාජ්‍ය නායිකාවක් පැමිණියා හා සමාන පිළිගැනීමකි. එයට එක්තරා හේතුවක් විය. ඒ ඉන්දියාවේ දක්‍ෂ නිළියකව සිටි දේවිකා රාණිගේ හැඩහුරුකම රුක්මණීට තිබීමයි. එවකට ෆිල්ම් ෆෙයාර් සඟරාවේ කර්තෘ බී. කේ. කරංජියා රුක්මණී නැවතී සිටි හෝටලයට පැමිණියේ ඇයද විශ්මයට පත් කරමිණි. සාමාන්‍යයෙන් පුවත්පතක මාධ්‍යවේදියකු මිස කර්තෘවරයකු නළුවකු හෝ නිළියක හමුවට ගොස් සම්මුඛ සාකච්ඡා පැවැත්වීම විරලය. විශේෂයෙන් ෆිල්ම් ෆෙයාර් වැනි සඟරාවක කර්තෘවරයකු එසේ යන්නේ නැති තරම්ය. එහෙත් කරංජියා රුක්මණීව හමුවන්නට යෑමෙන්ම ඇය ඉන්දියාවේ දී තිබූ පිළිගැනීම කෙසේද යත් ඔබට පැහැදිලි වනු ඇත. ඒ හමුව කෙළවර වුණේ රුක්මණීට ෆිල්ම් ෆෙයාර් සඟරාවේ කවරයකට පෙනීසිටීමට අවස්ථාව උදාවෙමිනි. එදා මෙදාතුර ෆිල්ම් ෆෙයාර් ඉතිහාසයේ කවරයක් පළ වූ එකම සිංහල රංගන ශිල්පිනිය වන්නේ රුක්මණියි.

පත්‍ර කලාවේ යෙදෙන ගමන් මම චිත්‍රපට තිරපිටපතක් ලිව්වෙමි. එය අනුෂා නම් වූ චිත්‍රපටයයි. මා එහි චරිතයක් මැව්වේ රුක්මණී වෙනුවෙන්මය. අනුෂා අධ්‍යක්‍ෂණය කරන ලද්දේ දයානන්ද රොඩ්රිගෝය. කැමරා ශිල්පී ඩිල්මන් ජයරත්න, නිෂ්පාදක ස්ටැන්ලි ද සිල්වා, රානි ද සිල්වා සහ මොහොමඩ් යන අයද කැටුව මම රුක්මණීගේ ගෙදර ගියෙමි. ඇයට විස්තරය පවසන ලද්දේ මවිසිනි. අධ්‍යක්‍ෂවරයා සහ නිෂ්පාදකවරයා රුක්මණීගෙන් මෙම චිත්‍රපටයේ රඟපානවාට අය කරන මුදල විමසීය. රුක්මණීගේ සුපුරුදු ළෙන්ගතු මන්දහාසය මුවඟට නැඟිණ. ඇය මදෙස බැලීය. නැවතත් අන්පිරිස දෙසට හැරී මෙසේ කීවාය.

“අර්නි මට ගොඩක් උදව් කරලා තියෙනවා. අනික මේ එයාගෙ පළවෙනි වැඩේනේ මං එන්නම්. හැබැයි සල්ලි ගැන අහන්න එපා. රූගත කිරීම් ඉවරකරලා පුළුවන් ගාණක් දෙන්න. මං මගේ වාහනෙන්ම ලොකේෂන් එකට එන්නම්.

ඇගේ මේ කතාවෙන් සෙසු පිරිස විමතියට පත් විය. ඒ වන විට රුක්මණී සිටියේ චිත්‍රපටයක් සඳහා වැඩිම මුදලක් ගන්නා නිළියන්ගේ ලැයිස්තුවේය. ඇයගේ වදන් අපට ඇසුණේ සිහිනයෙන් මෙනි. මගේ නෙතඟට කඳුළක් ඉනීය. ඒ වන විටත් මම ආධුනික පුවත්පත් කලාවේදියෙකි. වැඩිම වුණොත් රුක්මණී ගේ ලිපි දෙකතුනක් මා පළකොට ඇත. එහෙත් ඇය මේ සලකන්නේ මා කළ ඒ සුළු උදව්වලට ප්‍රති උපකාර වශයෙන්ද? මා ද පුදුමයට පත්විය. කෙසේ නමුත් රුක්මණී අනුෂා සඳහා එකතු විය. චිත්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂවරයා වූයේ මාය. එම රාජකාරිය මා බාරගත් මුල්ම අවස්ථාවය.

රුක්මණී අනුෂා රඟපාන්නට පැමිණී පළමු දවස විය. අධ්‍යක්‍ෂවරයා පැත්තකට කතාකොට “රුක්මණී ඇවිත් සිටිනවා. එයාට ගිහිල්ලා දෙබස් ටික පුහුණු කරවන්න” යැයි පැවසුවේය. මට තරු පෙනිණ. පිටපත රැගෙන වෙව්ල වෙව්ලා මා රුක්මණී ළඟින් වාඩිවූයෙමි. සහෘදයින්ගේ සිත් තේරුම් ගැනීමට මනා හැකියාවක් රුක්මණීට තිබිණ. ඇය මදෙස බලා ඇයි අර්නස්ට් මල්ලි? මොකෝ මූඩ් ගහලා. සනීප නැතිද යනුවෙන් ඇසුවාය.

“ඩේසි අක්කාට දෙබස් පුරුදු කරන්න අර්නස්ට්ට මොකක්ද වගේලු”.

ළඟ සිටි ඩිල්මන් සිනාසෙමින් කීය.

රුක්මණී මා ළඟට ඇවිත් අතින් අල්ලා ගත්තාය.

“මල්ලි... මං රුක්මණී දේවි කියලා හිතන්න එපා. මං ඔයා යටතේ රඟපාන නිළියක් විතරයි. මාව කොපමණ අය මෙහෙයවලා තියෙනවාද. සිංහල වචනයක්වත් දන්නෙ නැති ද්‍රවිඩ අධ්‍යක්‍ෂවරු ඉංගී‍්‍රසියෙන් සිංහල දෙබස් ලියාගෙන මාව පුහුණු කළ අවස්ථා තියෙනවා. එහෙමද අර්නස්ට් මල්ලි. ඔයා දක්‍ෂ පත්‍ර කලාවේදියෙක්. “සරසවිය” කියන්නෙ ලංකාවේ ජනපි‍්‍රයම කලා පත්තරේ. මල්ලි සරසවිය පත්තරේ ලේඛකයෙක්. ඉතින් මල්ලිට කොච්චර සුදුසුකම් තියෙනවද මාව මෙහෙය වන්න”

රුක්මණී අතිශය නිහතමානී හඬින් පැවසූ දේ අදත් දෙසවනේ දෝංකාර දෙයි. ඇගේ එම ඔවදන් අනුෂා වැඩකටයුතු කරගන්නට පමණක් නොව මගේ පෞද්ගලික ජීවිතේටද ඉතාම වැදගත් විය.

රුක්මණීව සිංහල සිනමාවේ කඳුළු බිංඳුව ලෙස හැඳින්වූවා කියා මම ඔබට පැවසුවෙමි. එය සදාකාලිකවම එසේම විය. එනමුදු ඇගේ පෞද්ගලික ජීවිතයද කඳුළු සාගරයක් වූ බැව් ඔබ අසා තිබෙනවාද? රුක්මණීගේ එම කතා පුවත මා කිසිදිනෙක හෙළි නොකර ඇත. එහෙත් තවත් එය සැඟවා තැබිය යුතු නැත. අද රුක්මණී ජීවතුන් අතර නැත. එහෙයින් ඇගේ ජීවිතයේ නොකියූ පැතිකඩක් ගැන කතා කිරීම යෙහෙකි යැයි මාගේ විශ්වාසයයි.

රුක්මණීගේ ඒ රසබර අතීතයෙන් මී බිඳු ලබන සතියේ කලාපයෙන් බලාපොරෝතු වන්න.