වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




ගාමිණී යනු අටවක මැණිකක්

ගාමිණී යනු අටවක මැණිකක්

සතිශ්චන්ද්‍ර එදිරිසිංහ දුටු විශිෂ්ට රංගවේදීන්

කලාසූරි සතිශ්චන්ද්‍ර එදිරිසිංහ අපේ කලා ක්ෂේත්‍රයේ රංගන ශිල්පියෙක් සේම අධ්‍යක්ෂවරයෙක්, තිර රචකයෙක් ලෙසත් විශාල මෙහෙවරක් කළ, කරන්නා වූ ප්‍රවීණ කලා ශිල්පියෙක්.

කලා ක්ෂේත්‍රයට අමතරව ඔහු සමාජ මෙහෙවරෙහි දායක වෙමින් ළමා කෘති සහ උපදේශනාත්මක කෘති රචකයෙක් දේශකයෙක් ලෙසත් දැවැන්ත මෙහෙයුමක නිරතව සිටියි.

ඒ අතරේදී එදිරිසිංහයන් මෙවර පුදුම හතටත් සිය අදහස් දක්වන්න අමතක කළේ නැහැ. රංගන ශිල්පියෙක් ලෙසින් තවත් රංගන ශිල්පීන් හත් දෙනෙකු තුළින් ඔහු අගයන ගුණාංග පුදුම හතට පැවසූයේ මේ අයුරින්.

ගාමිණී ෆොන්සේකා

ශ්‍රී ලංකාවේ සමස්ථ රංගන ශිල්පීන් හා සන්සන්දනය කරන විට සිනමා සක්විති ආචාර්ය ගාමිණී ෆොන්සේකා සූරින් මතකයට එන්නේ නිතැතින්. මා එතුමාගේ රංගන ජිවිතය ගැනත් පෞද්ගලික ජීවිතය ගැනත් සෑහෙන දන්නා කෙනෙක්.

මවිසින් තිර රචනය ලියා සම අධ්‍යක්ෂණය කළ 'රජ ගෙදර පරවියෝ' චිත්‍රපටයේදී එතුමා ළඟින් ඇසුරු කරන්නට ලැබිම නිසා එතුමාගේ ඇතුළාන්තය දකින්නට ලැබුණා.

ගාමිණී විසින් නිර්මාණය කරන ලද 'කොටි වළිගය' චිත්‍රපටයේ මා තත්පර අනූවක ඉතා කෙටි භික්ෂු චරිතයක් නිරූපණය කළා.

මා එහිදි එතුමාගේ සූර අධ්‍යක්ෂණය දුටුවා. ඒ නිසාම මට සරසවිය සම්මාන උළෙලේ විශිෂ්ට කුසලතා සම්මානයක් හිමි වුණා.

රංගන ශිල්පියෙකු මෙහෙයවනු ලබන්නේ ආකල්ප, හැඟීම් සහ සිතුවිලි විසින්. ෆොන්සේකා සූරින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනම චතුර ලෙස හසුරවනු ලබන බොහෝ ඇසූ පීරු තැන් ඇති සුවිශේෂ නිර්මාණකරුවෙක්. එතුමාගේ සිත නැමැති ආඥාදායකයා විසින් එතුමාට ඉතා පෞඪ ලෙස හසුරුවනු ලැබීම විශේෂයි. ඒ හැසිරීම නිසා ඔහුගේ අතිවිශිෂ්ට රංගන කෞෂල්‍යයන් අපට දකින්නට ලැබුණා. අප මෝහනය වුණා. අප වශී වුණා. ඒ නිසාම ඔහු ශ්‍රී ලංකාවේ අභිමානවත් රංගන පෞරුෂයක් හිමි නිර්මාණකරුවෙකු ලෙස හඳුන්වාදීමට කැමැතියි.

ඔහු නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක්, තිර නාටක රචකයෙක්, ගීත රචකයෙක්, චිත්‍ර ශිල්පියෙක්, රංගන ශිල්පියෙක්, දේශපාලඥයෙක් හා දේශකයෙක් වගේම ගුරුවරයෙක්. මේ කරුණු අට නිසාම මා ආචාර්ය ගාමිණි ෆොන්සේකා සූරින් හඳුන්වන්නේ අටවක මැණිකක් ලෙසින්. සත්‍යවශයෙන්ම ඔහු පුදුම ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්.

ජෝ අබේවික්‍රම

ජෝ අබේවික්‍රම සූරින් අපේ රටේ තවත් අද්විතීය රංගන ශිල්පියෙක්. ගාමිණි ෆොන්සේකාට හාත්පසින්ම වෙනස් අතිශ්‍රේෂ්ඨ රංගන ශිල්පියෙක්. චරිතාංග නළුවෙක්. ස්වයං අධ්‍යයනය රංගන ශිල්පියෙකුට අත්‍යවශයම කරුණක්.

ජෝ තමා ජීවත් වූ ගැමි පරිසරය පුස්තකාලයක් කර ගනිමින් විවිධ චරිත ලක්ෂණ තම උපවිඥානයේ ගබඩා කරගත් අයෙක්. නිරූපණය කරනු ලබන චරිතයට උචිත අයුරින් ඒ දැනුම මුසු කළ විශ්මිත නළුවෙක්.

තම දෑත්, දෙපා, දෑස්, මුහුණ ආදී ස්වභාවික සිරුරෙන් ඉතා සියුම් චලනයන් භාව ප්‍රකාශනයන් නිසි රිද්මයකින් යුතුව රූපණ කලාවේ නිරත වූ රංගන ශිල්පියෙන් ලෙසින් මා ඔහු දකිනවා.

ශිල්පියා තමාගේ අභ්‍යන්තරික හැඟීම්, මනෝභාවයන් පිටතට ගෙන සහෘදයාගේ, රසිකයාගේ හදවත හා මනස දිනා ගත යුත්තක්. ජෝ එය සෑම චරිත නිරූපණයකින්ම කදිමට ඉටු කළා. සරළ හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක් ලෙසින් සිනමාවට පිවිසි ඔහු පියවරෙන් පියවර මහා දැවැන්ත වනස්පතියක් බවට පත් වූවෙක්.

ඔහු තුළ ඇති ජීවිත දැනුම පරිසරයේ දැනුම, සංස්කෘතිය පිළිබඳ පුළුල් දැනුම විශ්වකෝෂයක් බඳුය. වසර සියයක් පැරණි රූස්ස ගසක අරටුවට ඔහුගේ දැනුම් සම්භාරය හා කුසලතාවය සම කළ හැකියි. දැඩි කුණාටුවක් හමුවේ නොසැළී සිටින දැවැන්ත පර්වතයක් ලෙසින් ජෝ නම් රංගධරයා හඳුන්වාදීමට හැකියි. එමෙන්ම ඔහුගේ රංගන ජීවිතයේ ප්‍රතිභාවය මුණිවරයෙකුගේ ගැඹුරු ආධ්‍යාත්මය විදහා පාන්නක් ලෙසින් මම දකිමි.

ජයලත් මනෝරත්න

ආචාර්ය ජයලත් මනෝරත්න වේදිකාව, සිනමාව සහ පුංචි තිරය යන ක්ෂේත්‍ර ත්‍රිත්වයම ජයගත් ඉතා ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්. ඔහු වේදිකා නාට්‍ය රචකයෙක් නිෂ්පාදකවරයෙක් මෙන්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙසත් තම හැකියාව ඉතා ඉහළින් ප්‍රදර්ශනය කළා වූ නිර්මාණකරුවෙක් ලෙසත් විශේෂයි.

රංගන ශිල්පියෙකු තම සිතැඟි ඉදිරිපත් කිරීමට භාවිත වචනය 'අභිනයයි'. මනෝ රූපණ ශිල්පියෙක් ලෙස මනෝමය හැඟීම් සහ ක්‍රියාවන් නිර්මාණ කිරීමේදී සෑම ඉරියව්වකින්ම අපට ඔහුගේ දක්ෂතාවයේ ඉඟි පළ කරනට දක්වන්නේ අපූරු දස්කමක්.

මනෝ චරිත නිරූපණය කරනවිට ඔහු පිටපත් රචකයාගේ කොටස්කරුවකි. වාචික අභිනයේදී මනෝ බොහෝ රංගන ශිල්පීන් අබිභවා නැඟීසිටින බව මගේ හැඟමයි. ජීවිතය පිළිබඳ අලුත් දර්ශනයකින් ජීවත්වන සාහිත්‍යකරුවෙකු ලෙසින්ද මම මනෝරත්නයන් හඳුන්වන්නට කැමැත්තෙමි. ඔහු ඉතා සූර ලෙස දෙබස් උච්ඡාරණය කරන්නෙකි.

වචන දෙක තුනකින් සංකීර්ණ සිතුවිලි ප්‍රේක්ෂකයා තුළ පහළ කිරීමට ද සමත්ය. රංගන ශිල්පියාගේ කාර්යය මනුෂ්‍යයාගේ අභ්‍යන්තරික යථාර්ථය නිර්මාණශීලිව ඉදිරිපත් කිරීමයි. සහෘදයන්ට ජීවිත පරිඥානය ලැබෙන්නේ එයිනි. ජයලත් මනෝරත්නයන් තම රසිකයනට ආනන්දයෙන් ප්‍රඥාව ගෙන දෙන විශ්මිත කලාකරුවෙක්.

මහේන්ද්‍ර පෙරේරා

රංගන ශිල්පියා ඉපදිය යුතුය. එහෙත් හොඳ රංගන ශිල්පියෙකු වීමට විශාල දැනුමක් හා අභ්‍යාසයක් අවශ්‍ය වෙයි. මෙහිදී අභ්‍යාසය ප්‍රධාන වේ. මහේන්ද්‍ර පෙරේරා නම් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා අත්දැකීමෙන් ලද දැනුමත් පරිචයත් ඔහුගේ රංගන ජීවිතය මූර්තිමත් කර ඇති බව මගේ හැඟීමයි.

වේදිකා නාට්‍යයක හෝ සිනමා නිර්මාණයක මුඛ්‍ය අර්ථය - තේමාව හා අන්තර්ගතය නිසි ලෙස සන්නිවේදනය කිරීමට ද ඔහුට හැකි විය. ඔහු එය සිදුකළේ, ඔහු එය කරන්නේ රූපන ශිල්පියෙකු තුළ තිබිය යුතු නියම කාර්යයභාරය නිසියාකාරව අවබෝධ කරගනිමිනි.

මහේන්ද්‍ර විවිධ චරිත එකකට එකක් වෙනස් අයුරින් එමෙන්ම උසස් අන්දමින් නිරූපණය කළ නළුවෙකි.

ඔහු තුළ ඇති තවත් සුවිශේෂි ලක්ෂණයක් නම් තමන් උගත් දේ නවක අංකුර කලාකරුවන්ට ප්‍රධානය කිරීමයි. ඔහු නව පරපුරේ හොඳින් රංගනයේ යෙදෙන බොහෝ දෙනෙකුට ගුරුවරයෙකි. මහේන්ද්‍ර නවකයන්ට දී ඇති දැනුම කාගේත් ප්‍රසංශාවට ලක්වන්නක්.

අපේ සැබෑ ජීවිතයේ ස්වභායට වඩා රංගන භූමියේදී හෝ තිරයේදී ස්වභාවය වෙනස්ය. සාමාන්‍ය ජීවිතයට වඩා රඟපෑම ටිකක් ලොකුයි.

රඟපෑමේ කලාව ගැබ් වී ඇත්තේ එම ටික් ලොකු දේ තුළයි. එය නිවැරදිව කරන තැනැත්තාගේ රංගනය සිත් ගන්නා සුළුය. සෞන්දර්ය යනුවෙන් අදහස් කරන්නේ එයයි.

මහේන්ද්‍ර හුරුබුහුටි ශිල්පියෙකි. සිරුරෙන් විශාල නොවුනත් ඔහුගේ චරිත නිරූපණය ශාස්ත්‍රානූකූල නිසා සිත් ඇද බැඳ ගන්නා ගතියෙන් යුක්තය. ඔහු සුන්දර රූපණවේදියෙක් ලෙසින් මම දකිමි.

ගිහාන් ප්‍රනාන්දු

වේදිකාවේ හෝ ටෙලි නාට්‍යයේ තමා රඟපාන ඕනෑම චරිතයක් එකකට එකක් වෙනස් අයුරින් රඟන අති දක්ෂ රංගන ශිල්පියෙක් ලෙස මා ගිහාන් දකිනවා. නළුවෙකුට තිබිය යුතු ප්‍රධාන කරුණු තුනක් වේ. පළමු වැන්න හඬ. දෙවැන්න හඬ සහ තෙවැන්න ද හඬ වේ. ගිහාන්ගේ දෙබස් උච්ඡාරණය පැහැදිලිය. එමෙන්ම නිවැරදිය. ඉරියව් ඒ ඒ චරිතයට උචිත අයුරින් කිරීම නිසා නරඹන්නා ආකර්ශනය කර ගැනීමට සමත්ය.

දෙඇස් අසිරිමත් මිනිස් සිරුරේ ඇති කුඩාම ඉන්ද්‍රයකි. ඇස යනුවෙන් අදහස් කරන්නේ ආත්මයේ කැඩපතයි. තමා නිරූපණය කරන චරිතයට ගැළපෙන පරිදි බලන බැල්ම විවිධාර ලෙසින් නඩත්තු කිරීමේ හැකියාව ගිහාන් සතුය.

 

ඔහුගේ රංගනය නිතැතින්ම අප වශී කරන සුළුය. ලැබෙන සෑම චරිතයක්ම ඉතාම දක්ෂ ලෙසින් නිරූපණය කරන ගිහාන් වියත් හා ආචාරධර්ම සංග්‍රහයකින් පරපෝෂිත වූ කලාකරුවෙක් ලෙසින් මම දකිමි. ඔහු මේ කාලයේ කවුරුත් පාහේ ඉතා ආදරයෙන් වැළඳ ගන්නා තවත් විශ්මිත රංගන ශිල්පියෙකි. ඔහුගේ රඟපෑම්වලින් මාද විමතියට පත් වූ අවස්ථා බොහෝය. මම ඔහුට ආදරය කරමි. එසේම ගෞරව කරමි.

කුමාර තිරිමාදුර

කුමාර තිරිමාදුර ප්‍රථම රංගන අවස්ථාවේ සිටම අඛණ්ඩව තම රඟපෑමේ හැකියාව ප්‍රගුණ කරගනිමින් විවිධ චරිත අපූරුවට නිරූපණය කරන තවත් ප්‍රතිභාපූර්ණ නළුවෙක් වෙයි. චරිතයක මනෝමය (මානසික) අභින මතුකර ගන්නට අවශ්‍ය ප්‍රධාන කාරුණා තුනකි. යථාවබෝධය ඒ අතරෙන් එකකි. දෙවැන්න චරිත ස්වභාවය යි. තෙවැන්න නිර්මාණශීලි විඥානය යි. තුමාර තිරිමාදුර නැමැති මේ අපූරු රංගන ශිල්පියා මේ ත්‍රිවිධ දැනුමෙන් සන්නද්ධ බව මගේ විශ්වාසය යි.

ඉතාම අවර ගණයේ ටෙලි නිර්මාණයක වුවද ඔහු කැපී පෙනෙන චරිත නිරූපණයක නිරතවීම මට පුදුමයක් ගෙන දෙන්නක්. යථාවබෝධය රංගන භූමියේදී අපට හමු වන ප්‍රධාන කරුණක්.

කලාව පරිකල්පීය ඥානයේ නිෂ්පාදනයක් වන්නේ මේ යථාවබෝධය යි. නාට්‍යකරුවාගේ කාර්යයභාරය එයයි. එම කාර්යයභාරය යථාර්ථයක් කිරීමට නළු නිළියන්ට හැකි විය යුතුය. කුමාර තිරිමාදුර රංගන ශිල්පියෙක් ලෙස තම පරිකල්පන ඥානයේ ඇති සියල්ල යථාරූප බවට පත් කරන විශේෂ රංගන ශිල්පියෙක් වෙයි.

ප්‍රේම චරිත, දුෂ්ඨ චරිත, ශෝක චරිත, හාස්‍ය චරිත ආදි මේ ඕනෑම චරිතයක් මැනවින් නිරූපණය කරන ඔහු මේ යුගයේ ප්‍රමුඛ පෙළේ රංගන ශිල්පීන් කිහිපදෙනා අතරින් කෙනෙකු වේ.

විජය කුමාරතුංග

මගේ කලා ජීවිතයේදී කලා ක්ෂේත්‍රය හා දේශපාලනය ක්ෂේත්‍රයේ මා දුටු මානව දයාවේ සංකේතය විජය කුමාරතුංගයන්ය. මා ඔහු සමඟ ක්‍රිස්තු චරිතය චිත්‍රපටයේ රඟපානවිටදී ඔහු තුළ ජීවත් වූ සැබෑ සාන්තුවරයා දුටුවා. හෙළ සිනමාවේ ඉතා රූමත් මන බඳින ස්වරූපයකින් හා සිනහවෙන් යුත් එකම නළුවා වන්නේද විජය යි. ඔහු මිය ගොස් වසර ගණනාවක් ගත වුවත් මිය ගිය විජය, ජීවත්වන බොහෝ සුපිරි නළුවන්ට වඩා ජීවමාන යැයි මට සිතේ.

චිත්‍රපට ඉතා ජනප්‍රියවීමටත් ඒ චිත්‍රපටවලින් ජනප්‍රිය නළුවෙක් වීමටත් ඔහුහට හැකි වුණා. විජයගේ ජීවිතය මිනිසුන්ට ආලෝක ධාරාවක් ගෙන දුන්නේ යැයි සිතමි. තමා නිරූපණය කරන චරිතයට සැමවිටම සාධාරණය ඉටු කරන්නට ඔහු කටයුතු කළා. ඔහු දෙබස් උච්ඡාරණය කළේ ප්‍රබල හඩකිනි. ඔහු ගායනය කළේ ද මධුර හඬකිනි.

විජයගේ හදවතේ ඇති පිවිතුරුභාවය ඔහුගේ මුහුණින් අප දුටුවෙමු. මා දන්නා තරමින් කලා ලොවේ හා දේශපාලන ලොවේ කිසිවෙකුටත් නැති උතුම් මිනිස් ගුණාංගයන්ගෙන් හෙබි විජය මගේ සිත් ගත් පුදුම චරිත අතර චරිතයක් වෙයි. කවුරුන් අමතක කළත් බොහෝ දෙනෙකුට ඔහු අමතක නොවන බව මගේ ඒකායන විශ්වාසය යි.

“මා දුටු විශේෂ රංගන ශිල්පීන් ලෙසින් මෙම කලාකරුවන් පිළිබඳ කතා කළේ නවක ශිල්පීන් හා ශිල්පිනියන්හට උපදේශයක් වශයෙන්. එසේම මම ඔවුන්හට පවසා සිටින්නේ, පිළිගන්න, පිළිපදින්න, ප්‍රථිපල ලබාගන්නා ලෙසයි.”