වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




මං පළමුවැනියා වූවොත් නැටුම් ඉගෙන ගන්නවා

මං පළමුවැනියා වූවොත් නැටුම් ඉගෙන ගන්නවා

ඩාන්සින් ස්ටාර් කිරුළට තරග වැදි වජිර

සිරස ඩාන්සින් ස්ටාර් සීසන් 3 වල දහදෙනා අතරට පැමිණි වජිර සම්පත්ගේ අවසාන ප්‍රාර්ථනය නම් ඩාන්සින් ස්ටාර් වීමය. සිය නර්තනයේ හැකියාව උපරිම මට්ටමින් දක්වමින්, දක්ෂ තරගකරුවෙක් ලෙස අවසානය දක්වා එහි රැඳී සිටීමට අදහස් කරන වජිර 'සරසවිය' සමඟ මෙසේ කතාබහක නිරත වෙයි.

ඔබ නර්තනයට යොමු වන්නේ කොහොමද?

කුඩා කාලයේ පටන්මයි මට නර්තනයට කැමැත්තක් ඇති වෙන්නේ. මම පාසල් ගියේ වාද්දුව ධර්මපාල විද්‍යාලයටයි. එහිදී පාසලේ නර්තන ගුරුතුමිය වුණු ජයසුන්දර ගුරුතුමිය යටතේ උඩරට නර්තනය ඉගෙන ගත්තා. ඕ ලෙවල් කරලා අවසන් වෙලා මගේ සිත නතර වුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙයි. මේ අතරතුරයි මට සිතුණේ මගේ නර්තන හැකියාවට සිත යොමු කරන්න ඕන කියලා. ඒ අදහසට අනුව බටහිර නර්තනය පැත්තට මගේ සිත යොමු වුණා. අසංක ද සිල්වා කියන ගුරුතුමා යටතේ බටහිර නර්තනය හදාරන්න මා ඔහු ළඟට ගියා.

සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනට සම්බන්ධ වෙන්නේ කොහොමද?

සිරස රූපවාහිනියේ ගිය දැන්වීම දැකලා ඒ තරගයට මට ඉල්ලුම් කරන්න සිතුණා. ඒ අතරම මගේ ගුරුතුමා වුණු අසංක සර්ත් මේ වැඩසටහනට ඉල්ලුම් කරන්න කියලා කිව්වා. ඒ අනුව තරගයට ඉල්ලුම්පත් යැව්වා. තරගකරුවන් දහසක් අතරින් මාව තේරුණා. ඒ දිනුමත් සමඟ මුලින්ම පැමිණිය යුත්තේ තිස්දෙනා අතරට කියලා පුංචි බලාපොරොත්තුවක් මගේ සිතේ තිබුණා. තරගවට එකින් එක ජයග්‍රහණය කරමින් ඒ අදහස සඵල කර ගන්නට මට හැකියාව ලැබුණා. ඊට පස්සෙයි එස්. එම්. එස්. වටයට පැමිණිය යුතු බව මා තීරණය කළේ. මේ වනවිට ඒ කඩඉමත් ජය ගන්නට මට හැකි වුණේ කිසිම ගැටලුවක් නොමැතිවමයි. මගේ මීළඟ බලාපොරොත්තුව නම් ෆයිනල් ස්ටේජ් ගිහින් තරගයේ දිනුම්කරු වීමයි.

මේ අතරින් වඩාත් දක්ෂයා කවුද?

මේ තරග වටයට ඇවිල්ලා ඉන්න හැමෝම දක්ෂයෝ. ඒ අතර සිටින අය අතර මමත් දක්ෂයෙක්. ඒ කියන්නේ තරගය ජයග්‍රහණය කළ හැකි දක්ෂයෙක්.

අනෙක් අයගේ නර්තන අතරින් ඔබගේ නර්තනය වෙනස් වග දන්වන්නට ඔබ මොකද කරන්නේ?

එකම ඩාන්සින් ස්ටයිල් එකකට කොටු වීමට මම අකැමැතියි. මේ නිසා ඕල් රවුන්ඩර් කෙනෙක් වෙලා මේ තරගයේ ඉදිරියට යන්නටයි මා වඩාත් උත්සාහ ගන්නේ.

ඔබට දැනට තිබෙන නර්තන වර්ග සියල්ලම හැකිද?

මගේ ප්‍රියතම ඩාන්සින් ස්ටයිල් එක වන්නේ හිපොප්. බැලේ, කම්ටෙම්පරි වගේ ඩාන්සින් ස්ටයිල් වලටත් මම බොහොම කැමැතියි. මේ බොහෝ ඩාන්සින් ස්ටයිල් මම ඉගෙන ගෙන තියෙනවා. ඒ වගේම ඉදිරියටත් තව තවත් ඒවා ඉගෙන ගන්නවා. ඒ සියල්ලම මේ තරගයට මට උපකාරි වුණා. පසුගිය දවස්වල මම කළ එක් නර්තනයක් උඩරට, පහතරට, භරත ආදී ඩාන්සින් ස්ටයිල් කිහිපයක් ඇතුළත් කරලයි ඉදිරිපත් කළේ. ඒ සඳහා බොහෝ අයගේ ප්‍රසාදයත් මට හිමිවුණා. මගේ තිබෙන ලොකුම හීනය තමයි එකිනෙකට වෙනස් ඩාන්සින් ස්ටයිල් ඉගෙන ගැනීමයි.

මේ තරගයේ ජයග්‍රාහකයා ඔබ වුණොත් මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?

මේ තරගයෙන් ජයග්‍රහණය කළත් මම නර්තනය ඉගෙන ගන්නවා. ඩාන්සින් ස්ටයිල්වලට ඉන්න ගුරුවරු එකිනෙකට වෙනස්. ඒ හැමෝම ළඟට ගිහින් ඩාන්සින් ස්ටයිල් ඉගෙන ගන්නටයි මම වඩාත් කැමැත්තක් දක්වන්නේ. ඒ වගේම වෘත්තිමය නර්තන ශිල්පියෙක් වෙන්නත් හොඳ නර්තන නිර්මාණ ශිල්පියෙක් වෙන්නත් අනාගතයේදී මා බලාපොරොත්තු වෙනවා.

නර්තන තරගයක් සඳහා සිරස රූපවාහිනියම තෝර ගත්තේ ඇයි?

සිරස යම් දෙයක් කළොත් ඒක බොහොම හොඳට කරනවා. ඒ විතරක් නෙවෙයි හැමෝම අතර ඒ තරගය කතාබහට ලක්වෙනවා. මේ හේතු නිසා මම සිරස රූපවාහිනි තරගයට ඉදිරිපත් වුණා.

ඩාන්සින් ස්ටාර්වල ඉන්න විනිශ්චය මණ්ඩලය ගැන මොකද ඔබට සිතෙන්නේ?

ඔවුන් හොඳයි. අපේ නර්තනවලට හොඳ අදහස් ඉදිරිපත් කරනවා. අද වනවිටත් මට ඔවුන්ගෙන් නරකක් අහන්න ලැබිලා නැහැ. හැමදාම මම වැඩිම ලකුණු ලබාගෙන ඉදිරියට ඇවිත් තිබෙනවා. එස්. එම්. එස්. වලින් වුණත් අඩු ලකුණු මට්ටමකට ඇවිත් නැහැ. ඒ නිසා මේ තිබෙන විදියෙන්ම ඉදිරියට යන්නයි මා අදහස කරගෙන සිටින්නේ.

එස්. එම්. එස්.වලින් තෝරන තරගකරුවන් නිවැරැදිම තරකරුවා යැයි ඔබ සිතනවාද?

ප්‍රේක්ෂක ජනතාවගෙන් මම ඉල්ලන්නේ බුද්ධිමත් වෙලා හොඳම තරගකරුවාව තෝරන්න ඔයාලගේ එස්. එම්. එස්. එක එවන්න කියලා.

ඩාන්සින් ස්ටාර් සීසන් 3 තරගය අවසානයේ ලැබෙන ඕනෑම විනිශ්චයක් බාර ගැනීමට ඔබ සූදානම්ද?

මගේ සිතේ තිබෙන ලොකුම ටාගට් එක ඩාන්සින් ස්ටාර් වීමයි. එහෙම නොවුණත් මේ තරම් දුර එන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. මේ ගමන එන්න උදව් කළ සියල්ලන්ටමත් ස්තුති කරනවා. ඒ අතර අම්මාට, තාත්තාට, යාළුවන්ට, අසංක සර්ට, නර්තනවලට උදව් කරන සියල්ලන්ටමත් මගේ නර්තනවලට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන නිරෝෂ් අයියාටත්, ප්‍රේක්ෂකයෝ ඇතුළු සියලු දෙනාටමත් බොහොම ස්තුතියි.