වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




මහත්තයා නැතිවුණාට පස්සේ මම දැන් ඉන්නේ දාහතර වැනි ගෙදර

මහත්තයා නැතිවුණාට පස්සේ මම දැන් ඉන්නේ දාහතර වැනි ගෙදර

සෝමපාල ලැනරෝල් පිළිබඳ සමන්ති ලැනරෝල්ගේ ආදර මතකය

මීට වසර දහයකට පෙර ඒ කියන්නේ 2005 අපේ‍්‍රල් 10 වැනිදා දහවලේ සෝමෙ සදහටම දෙනෙත් පියා ගත්තා. ඒ අමිහිරි දිනය තරම් මගේ ජීවිතයට දුකක් එක් කළ වෙන දවසක් නැති තරම්. මේ විධියට කියමින් අපේ කතාබහට එක් වුණේ අපේ කලා ක්ෂෙත්‍රයේ ප්‍රවීණ නිළියක වන සමන්ති ලැනරෝල් ඇගේ සැමියා වූ චිත්‍රපට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සෝමපාල ලැනරෝල් මේ වන විට අප අතරින් සමුගෙන ගොස් දස වසරක් ගත වෙලා. මේ අපේ වෑයම ඒ අතීත මතකයන් අතර අද කල් ගෙවන සෝමපාල ලැනරෝල්ගේ බිරිය සමන්ති ලැනරෝල් සමඟ කතාබස් කරන්නටය.

ආදරණිය සැමියා ඔබෙන් වෙන් වෙලා සදහටම දෙනෙත් පියාගෙන මේ වන විට දස වසරක් ගෙවිලා ගිහින්?

මගේ ආදරණීය සැමියා මගෙන් වෙන් වෙලා ගියා කියන එක මට අදටත් හීනයක් වගේ. එයා නැතිව මම මේ ගෙවල දාන දහ වෙනි අවුරුද්ද. මේ කාලය තුළ මම මොන තරම් කරදරවලට මුහුණ පෑවද? ඉන්න මගේම කියලා ගෙයක් නැතුව මම අදටත් තැනින් තැනට යමින් මේ ගෙවන ජීවිතය මට දැන් තිත්ත වෙලා.

සැමියා වෙනුවෙන් මොන වගේ පින් දහම් කටයුතු ද මේ දස වසර පුරාවට සිද්ධ කළේ?

බොහෝ විට මම වැඩිහිටි නිවාස, ළමා නිවාස, කන්‍යාරාමවලට වියළි ආහාර පරිත්‍යාග කිරීමත් සිද්ධ කළා. මම ක්‍රිස්තියානි, මහත්තයා බුදධාගමේ. මම අපේ ආගමේ හැටියට මේ වගේ දානමය පුණ්‍ය කටයුතු සිද්ධ කරන කොට මහත්තයාගේ මල්ලි නිමල් ලැනරෝල් එයාගේ ගෙදර මහත්තයා වගේම පවුලේ මිය පරලොව ගිය හැමෝම සිහිපත් කරලා හැම වසරකම නොවූවත් සංඝගත දානයක් පිරිනැමූ අවස්ථා තිබුණා.

ඔබේ සැමියා ඔබට හමු වෙන්නේ ඔබේ මුල්ම චිත්‍රපට රංගනයත් සමඟ?

සෝමපාල ලැනරෝල් බිරිය සමන්ති හා දියණිය ඉනෝකා සමඟ

 

සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටය තමයි මගේ මුල්ම චිත්‍රපටය. මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස සෝමපාල ලැනරෝල් වැඩ කළා. එතනදි තමයි එයා මා ගැන හොඳට විපරමින් පසු වෙලා මට එයාගේ අදහස කිව්වේ. ඒත් මම මුලින් එයාට වචනයක් දුන්නේ නෑ. මම ක්‍රිස්තියානි, එයා බෞද්ධ. මම දැනගත්තා මගේ කැමැත්ත ලැබුණත් මේකට මගේ ගෙදරින් කැමැත්ත ලැබෙන්නේ නෑ කියලා.

එතකොට කොහොමද ප්‍රේමය ජය ගත්තේ?

හන්තානේ කතාව රූපගත කරලා ඉවර වෙන කොට අපි පෙම්වතුන් වෙලා ඉවරයි. මගේ තාත්තා අපි දෙන්නගේ සම්බන්ධයට තදින් විරුද්ධ වුණා. එයා තාත්තාගෙන් කෙළින්ම ඇවිත් ඇහුවා. ඒත් තාත්තා තදින් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ කැමරා ශිල්පී සුමිත්ත අමරසිංහත් එයාගේ මෝනත් ඇවිත් තාත්තා එක්ක මේ ගැන කතා කළා. ඒත් තාත්තාගේ තිරණයේ වෙනසක් වුණේ නැහැ. අවසානයේ අපි දෙන්නා තීරණයකට ඇවිත් විවාහ වුණා. 1968 අපි දෙන්නා කසාද බැන්දා. 1969 දී මම රඟපෑ මුල්ම චිත්‍රපටය වූ හන්තානේ තිරගත වෙන කොට අපි විවාහ වෙලා.

දෙමාපියන්ට විරුද්ධ වීම නිසාම මාපිය ආශිර්වාදය දිගටම නොලැබෙන්න ඇති?

තාත්තා අම්මාගේ දේපලවලින් අපිට කිසිම දෙයක් ලැබුණේ නැහැ.

ඒ හුදකලා වීම තුළ ඔබ දෙපළ ඉදිරිය සැලසුම් කළේ කොයි ආකාරයෙන්ද?

අපි දෙන්නා ඒක ආශිර්වාදයක් කර ගත්තා. අපි දෙන්නා තනියම නැගිටින්න අධිෂ්ඨාන කර ගත්තා.

ඔබ දෙපලට තුන් වැන්නෙත් එකතු වෙනවා?

මගෙ එකම දුව ඉනෝකා සෙව්වන්දි මට හම්බ වුණේ 1971 දී.

සෝමපාල ලැනරෝල් සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස නිර්මාණශීලී චිත්‍රපට රැසක් සඳහා දායක වෙනවා?

චණ්ඩි සිරියා, පෙම්බර මධු, සිටු කුමරියෝ, චූඩා මාණික්‍යය, ඉන්දුට මල් මිටක් වගේ චිත්‍රපට රැසකටම ඔහු දායක වෙනවා.

චිත්‍රපට අධ්‍යක්ෂණයටත් ඔහු පිවිසෙනවා?

කිරිකවඩි, චතුමධුර ඔහුගේ චිත්‍රපට අධ්‍යක්ෂණයන්.

මිය යන විට සෝමපාල වයසේ මොන සීමාවන් ද පසු කරමින් සිටියේ?

මිය යන විට අවුරුදු 67 ක් වුණා. එයාගේ ඉල්ලීමක් තිබුණා මියගිය දිනක දවසක් ඇතුළත අවසන් කටයුතු සිද්ධ කරන්න කියලා. ඒ අනුව එයා අපේ‍්‍රල් දහ වෙනිදා මිය ගියා. අපි එකොළොස් වෙනිදා බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිද්ධ කළා.

ඉන්න තමන්ගේම ගෙයක් නැතිව කුලී ගෙවල්වලට තැනින් තැනට යාමට අද ඔබට සිද්ධ වෙලා කියන කතාව මොකක්ද?

මහත්තයා නැති වුණාට පස්සේ මේ අවුරුදු දහයට මම මේ පසුගිය ජනවාරි මාසේ වෙන කොට දාහතර වෙනි ගෙට බඩු ඇද්දේ. ඒ ගෙදරත් අපි ඉන්නේ තාවකාලිකව.

එතකොට ඔබලාගේම කියලා තිබුණ ගෙට මොකද වුණේ?

මහත්තයාත් මමත් ගෙවීමේ ක්‍රමයට ටොරින්ටන් චතුරශ්‍රයේ මහල් නිවාසයක ගෙයක් මිලදී ගත්තා. ඒ ගෙයි ණය මුදල අපි දෙන්නා ටික ටික ගෙවලා ඉවර කළා. ඔය අතරේ අපි චිත්‍රපටයක් නිෂ්පාදනය කළා පිවිතුරු පැතුමන් කියලා. ඒක අධ්‍යක්ෂණය කළේ යසපාලිත නානායක්කාර මහත්මයා. මේ චිත්‍රපටය කරන්න අපි බැංකුවෙන් ණයක් ගත්තා. චිත්‍රපටය කරගෙන යන කොට ඒ ණය මුදල මදි වෙලා මහත්තයා හිතවතකුගෙන් සල්ලි ටිකක් ඉල්ල ගත්තා. ඒ චිත්‍රපටයේ පිටපත් මුද්‍රණය කරන්න, ප්‍රචාර කටයුතුවලටත් ඒ සල්ලි මදි වුණා. ඔය අතරේ අර හිතවතා දුන් සල්ලිවලට පොලියත් එකතු කරලා ලොකු මුදලක් අපෙන් ඉල්ලා සිටියා. ඒ මුදල පියවන්න අපිට එතකොට අපහසු වුණා. අන්තිමට අපිට ගේ අහිමි වුණා. දැන් ඒ අපේ ගෙදර ඉන්නේ වෙන කට්ටියක්. අන්තිමට අපි පාරට වැටුණා.

ඔබලා නිෂ්පාදනය කළ ඔය චිත්‍රපටය යළි ප්‍රදර්ශනය සඳහා උත්සාහයක් ගත්තේ නැද්ද?

මොකද නැත්තේ, මම ගොඩක් උත්සාහ කළා. ඔබ ද මා ද දිනුවේ, පිවිතුරු පැතුමක් කියන නම් දෙකම දාලා කැමැති එකක් යොදා ගන්න හිතාගෙන අපි චිත්‍රපටය ඉතාලියේ ගිහින් පෙන්නුවා. එහෙදි චිත්‍රපටයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. කවුරුත් කිව්වේ චිත්‍රපටය පෙන්නුවොත් ඒකෙන් ලැබෙන මුදලකින් තමන්ටම කියලා ගෙයක් හදාගන්න බැරි වෙන එකක් නැහැ කියලා.

ඇයි එවැන්නකට උත්සාහ නොකළේ?

පිටපත් ගහන්න, ප්‍රචාරයට විශාල මුදලක් ඕනෑ. ඒ තරම් මුදලක් මට කෝ?

චිත්‍රපටය කාට හරි විකුණන්න හරි උත්සාහ කර බැලුවේ නැද්ද? ඔබ වැටිලා ඉන්න තත්ත්වයෙන් ගොඩ එන්න?

කීප දෙනෙක් සමග කතා කළා. බැංකුවෙන් ණය අරගෙන චිත්‍රපටය කරලා නිසා මමත් සමඟ බැංකු ණය මම ගෙවීමේ කොන්දේසිය මත ගිවිසුමකට මම කීප දෙනෙකුටම කතා කළා. ඒත් හරි පිළිතුරක් ලැබුණේ නැහැ.

චිත්‍රපටයේ තේමාව යල්පැන යාම තවදුරටත් සිදු වුණොත්?

මේ කතාව එහෙම එකක් නොවෙයි. බලපු කවුරුත් කිව්වේ ප්‍රේක්ෂකයෝ මේ චිත්‍රපටය බලන්න අනිවාර්යයෙන්ම එනවා කියලා. ජෝ අබේවික්‍රම මහත්මයාත් මෙහි ප්‍රධාන චරිතය රඟපානවා. සරත් දසනායක සංගීතවත් කළ චිත්‍රපටයක්. ගීත පහක් එහි අඩංගුයි.

අද ඔබ ජීවත් වෙන ආදායම් මාර්ගය?

රඟපාලා ලැබෙන මුදලින් තමයි මේ හැම දෙයක්ම කරන්නේ. සමහර අවස්ථාවල කුලී ගෙවල්වල කී මනී එක දෙන්න සල්ලි නෑ.

කලාකරුවන්ගේ එකමුතුවකින්වත් ඔබට පිහිටක් නැද්ද?

මට විතරක් කියලා කොහොමද, තව කී දෙනෙක් ගෙවල් නැති අය ඉන්නවද? සිනෙස්ටා පදනමෙන් මම අසරණ වෙලා කර කියා ගන්න දෙයක් නැතිව ඉන්න අවස්ථාවලදී පිහිට වෙලා තියෙනවා. සිනෙස්ටාර් පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහත්තයා සමහර අවස්ථාවලදී මට එයාගේ පුද්ගලික මුදලින් උදව් කරලා තියනෙවා ගෙවල් කුලී ගෙවා ගන්න. ඒ පින්වන්ත මහත්තයාගේ දෑත්වලට පින් සිදු වෙන්න මට කළ උපකාරවලට මම එතුමන්ට සදා ණයගැතියි.

සෝමපාල ලැනරෝල්ගේ ජීවිත කාලය පුරාවට කිසිදු ඇගැයීමක් සිදු නොවූව ද ඔහුගේ ගුණානුස්මරණය වෙනුවෙන්වත් අඩුම තරමේ රාජ්‍ය ඇගැයුමක්වත් ලැබුණේ නැද්ද?

මහත්තයා මුළු ජීවිත කාලයම චිත්‍රපට වෙනුවෙන් කැප කළා. ඒ වෙනුවෙන් කිසිදු ඇගැයීමක් ජීවත්ව ඉන්න කාලෙවත් ලැබුණේ නෑ. චිත්‍රපට සංස්ථාව හදන්න ඒ කාලේ ඩී. බී. නිහාල්සිංහ, සුමිත්ත අමරසිංහ මහත්වරු එක්ක මොන තරම් වෙහෙසුණා ද. එයා තිස් අවුරුද්දක් චිත්‍රපට වෙනුවෙන් නැහීගෙන වැඩ කළා. සංස්ථාව පවා හදන්න මුල් වුණා.

මහත්තයා කළ සේවයට උපහාරයක් විදියට අඩුම තරමින් මම වැටිලා ඉන්න තත්ත්වයෙන් ගොඩ එන්න චිත්‍රපට සංස්ථාවවත් මගේ චිත්‍රපටය පෙන්නගන්න මැදිහත් වෙනවා නම් ඒකත් ලොකු පිනක්. ඒත් කොයි දේ මම කොහොම කිව්වත් මේ අය මට පිහිට වෙන්නේ නෑනේ.

 මහත්තයාගේ අවසන් කාලයේ අසනීප තත්ත්වයටත් බොහෝ මුදල් විය පැහැදම් වෙන්න ඇති?

බෙහෙත් හේත් වෙනුවෙන් විශාල මුදලක් දරන්න වුණා. මගේ දුවත් දහතුන් අවුරුද්දක් කරගෙන ආපු එයාර් ලංකා එකේ රැකියාව නැති වුණා. මේ තත්ත්වය තුළ මම වගේම දුවත් අසරණ වුණා.

අඩුම තරමේ කලාකරුවාගේ විශ්‍රාම වැටුපටවත් ඔබට හිමිකම් නැද්ද?

ඒකත් මට නැහැ. විශ්‍රාම වැටුපට අවශ්‍ය වයස් සීමාව මගේ පැනලලු. ඒ හින්දා මට ඒ හිමිකමත් අහිමි වෙලා.

කලා ක්ෂේත්‍රයේ නිවුනු පුද්ගලයෙක් වූ ඔබේ සැමියා කලාවට එක් වූ නවකයන්ට බොහෝ සේ අත දුන් කෙනෙක් කියා ප්‍රසිද්ධයි?

ඒක සහතික ඇත්ත. සිනමාවේ කොයි පැත්තෙන් වුණත් ඉදිරියට එන්න උත්සාහ කරන අයට අත දෙන එක එයා බොහොම සතුටින් කළ දෙයක්.

කොහොම හරි අපි උදව් කරපු අය අද අහක බලන කොට අපි කරපු උදව්වල පිනට ද කොහෙදෝ මම අසරණ වෙන කොට කර කියා ගන්න දෙයක් නැති වෙන කොට අඩුම තරමේ ගෙයින් ගෙට යන කොට කුලී ගෙවල්වලින් යන්න කියන කොට ඔලුව ගිනි අරන් ගෙවල් හොයන කොට කවුරු හරි පිහිටට එනවා. අඩුම තරමින් ගෙයි බඩු ටික ඇදගන්න ලොරියක් හරි හොයලා දෙනවා.

අද ඔබේ තාවකාලික නවාතැනේ ලිපිනය සඳහන් කළොත්?

176/එෆ් 2, විජේ මාවත, පෝරේ. අතුරුගිරිය. මේ ලිපිනයෙන් මා වෙනත් තැනකට ගියත් මගේ 0777-340558 ජංගම දුරකථන අංකය නම් මාත් සමග රැඳී තියෙයි.