|
අගෙයි, රිදී වලාවේ
සුනිල් සාන්තයන්ගේ ජන්ම ශත සංවත්සරය යෙදුණේ පසුගිය දහහතර වැනිදාටය. ඔහු ඉපදුණේ ද, මිය ගියේ ද බක් මාසයේය. ඔහු අභාවප්‍රාප්ත වූයේ අප්‍රේල් 11 වැනිදාය. 1915 වසරේ උපත ලබන ඔහු 1981 දී මිය යන විට ඔහුගේ වයස අවුරුදු 65 සම්පූර්ණ වූවා පමණි. ලාංකික සංගීතයෙහි මහත් පෙරළිකාර චරිතයක් වන සුනිල් සාන්තයන් විශිෂ්ටතම ඝණයේ සංගීත අධ්‍යක්ෂවරයෙකි. අති විශිෂ්ට ගායකයෙකි. අපූර්ව ගී පද රචකයෙකි. ඒ හැමටම වඩා බොහෝ විට කතා කරනුයේ ඔහුගේ නිර්මාණකරණය පිළිබඳ නොව ඔහුගේ අභිමානවත් ජීවිතය පිළිබඳවය. කේන්දර ගැන තඹ දොයිතුවක හෝ විශ්වායක් නැතැයි ප්‍රසිද්ධියේ පවසන මෙරට බොහෝ දෙනෙක් හොර රහසේ තම තමන්ගේ කේන්දර බලවා ගන්නා බව සුප්‍රකට රහසකි. එහෙත් සුනිල් සාන්තයන්ගේ අභිමානවත් ජීවිතය දෙස ගෞරව පූර්වකව කතා කරන කිසිවකු හෝ හොර රහසින්වත් එම දිවියෙහි ආදීනව විඳගැන්මෙහි අපොහොසත්ය. ගීතය රසාස්වාදනයක් ලෙස ලොවපුරා පොදුවේ පැතිරෙන්නට පටන් ගත්තේ තාක්ෂණයේ පිවිසුමත් සමඟය. කුඹුරක, ඔරුවක, පාරුවක, ගොවිපලක, රජ මැදුරක එකිනෙකට වෙනස් ස්ථානයක් ගැන ගැයුණු ගීයක් පොදු වස්තුවක් බවට පත් වූයේ එයින් පසුවය. ගීතය ජනී ජනයා තුඩින් තුඩ රැව් දෙන්නට තාක්ෂණය කළ මෙහෙය ඉමහත්ය. ප්‍රශස්තය. ගැමි ගීතය රජ ගෙදරටත්, රජ ප්‍රශස්ති ගැමි ගෙදරටත් ගෙන යාමේදී එය කළ මෙහෙය ඉමහත්ය. ගීතය රස වින්දනය මෙරටට පැමිණෙන්නේ 19 වන සියවසේ අග භාගයේ පමණය. ගුවන් විදුලි ග්‍රැමෆෝන් තැටිය එහිලා මහත් මෙහෙයක් කළේය. අපේ රටේ ජන විඥාණය වෙනස් කරන ලද්දේ ද, සංගීත භාවිත විෂයක් බවට පරිවර්තනය වනුයේ ද පසුගිය සියවසේය. නූර්තිය මඟින් මෙරටට ගලා ආ භාරතීය සංගීතය වඩාත් බලපවත්වන්නට යෙදුණ කාරණයක් වූයේ එයින් පසුව එළැඹුණ චිත්‍රපට සංගීතයයි. ලෝකයේ කවර දෙසින් චිත‍්‍රපට ගලා ආව ද මෙරට ශ්‍රාවකයා ඇබ්බැහි වූයේ ඉන්දියානු චිත්‍රපට හරහා ගලා ආ සංගීතයටය. ඒ නිසාම උතුරු ඉන්දියාවේ මෙන්ම දකුණු ඉන්දියාවේද ගායක - ගායිකාවන් මෙරට ශ්‍රාවකයා අතර අතිශය ජනප්‍රිය විය. කොළඹින් කතා කරමි නැතහොත් රේඩියෝ සිලෝන් යනුවෙන් ආරම්භ කරන ලද ලංකාවේ ගුවන් විදුලිය ගමින් ගමට ශ්‍රවණය කරන්නට සැලැස්වූයේ ග්‍රැමෆෝන් සංගීතයයි. ඒ හැරෙන්නට වෙනත් විකල්ප ඔවුන් සතුව ද නොවීය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හෙළිදරව් කරන අන්දමට මුල් යුගයේ ගුවන් විදුලිය සිය ගීත විසුරුවා හරින ලද්දේ මයික්‍රෆෝනය ළඟ ග්‍රැමෆෝන් තැටියක් වාදනය කරවීමෙනි. එහිදී අදාළ තැටිය කොළොම්බියා හෝ එච්. එම්. වී. තැටියක් ද යන්න මඟින් එය නිෂ්පාදනය කරන ලද සමාගම කුමක් ද යන්නත් හෙළි කළ වග මහාචර්ය ආරියරත්නයන් කියා සිටියි. ග්‍රැමෆෝන් තැටිය කවරා කාරයකින් ජනප්‍රිය වුව ද ඒ වාදන යන්ත්‍රය එකල සුඛෝපභෝගී භාණ්ඩයක් විය. බොහෝ පැරැණි නිවාසවල ග්‍රැමෆෝන් යන්ත්‍රය සිය මහන්තත්වයේ තරම පෙන්වන ලකුණක් විය. එහි ගීත ශ්‍රවණය කරන්නට ඉඩකඩ සැලසුණේ සීමිත පිරිසකට පමණි. බහුජනයා ග්‍රැමෆෝන් යන්ත්‍ර භාවිත කරන ලද්දේ මඟුල් ගෙයක් වැනි විශේෂ අවස්ථාවකදීය. ගුවන් විදුලි යන්ත්‍ර භාවිතයට පැමිණීමත් සමඟ එක් තැනකදී අසන ග්‍රැමෆෝන් තැටියට වඩා බොහෝ සංඛ්‍යාවකට ගීත ශ්‍රවණය කිරීමට ඉඩ සැලසිණි. එසේ වුව ද ඉන්දියාව ඇතුළත බිහි වු විවිධ සංගීත ප්‍රභේද සේ රසය විඳ ගන්නට ශ්‍රාවකයාට අවස්ථාවක් නොවිණි. චිත්‍රපට ගීතය හැරුණු විට ඇසුණේ ග්‍රැමෆෝන් ගී තැටි පමණි. රබීන්ද්‍රනාත් තාගෝරයන් විසින් ඉන්දියානු සාහිත්‍යයේදී ද සංගීතයේ ද ඇති කළ සාහිත්‍ය ප්‍රබෝධය මෙරටට බලපාන්නට පටන් ගත්තේ මේ අවදියේය. රබීන්ද්‍රනාත් තාගෝරයන් ලංකාවට තෙවරක් පැමිණි අතර කොළඹ ආනන්දයේදී මෙරට කලාකරුවන් හා බහුශ්‍රැතයන් හමුවීම විශේෂ අවස්ථාවකිි. හොරණ ශ්‍රීපාලිය විදුහල ආරම්භ කරන ලද්දේ ද තාගෝරයන්ගේ ලංකා ගමනකදීය. මේ අවදියේ සංගීතය ඇතුළු කලා විෂයයන් හැදෑරීමෙහි උත්සුක වූ කිහිප දෙනෙකු ශාන්ති නිකේතනය කරා පිටත්ව ගියහ. ලයනල් එදිරිසිංහ, ජෝර්ජ් විල්ෆ්‍රඩ් සමරකෝන්, ජෝශප් ජෝන්, බර්ටි සෙනෙවිරත්න මේ අතරෙන් කිහිප දෙනෙකි. ජෝ්ර්ජ් විල්ෆ්‍රඩ් පෙරළා ලංකාවට පැමිණියේ ආනන්ද සමරකෝන් නමිනි. ජෝශප් ජෝන් සුනිල් සාන්ත නම් විය. බර්ටි සෙනෙවිරත්න මුල්ම කථානාද සිංහල චිත්‍රපට අධ්‍යක්ෂවරයා වීමේ භාග්‍යය දිනාගත්තේ ශාන්ති කුමාර් සෙනෙවිරත්න ලෙස නම වෙනස් කර ගත්තේය. සුනිල් සාන්තයන් පෙරලා මව් බිමට පැමිණිය ද සංගීත විෂයෙහි ඔහුගේ ඉලක්කය ඉතා දීර්ඝ එකක් බැව් පෙනී යන්නකි. එයට හේතුව ශාන්ති නිකේතනයෙන් පසු ලක්නව් භාත්ඛණ්ඩේ සංගීත විශ්ව විද්‍යාලයට පිටත්ව යෑමට ගත් තීරණය හේතු වෙයි. භාත්ඛණ්ඩේ විශ්ව විද්‍යාලයේදී ඔහු සිතාර් වාදනය පිළිබඳ විශාරද උපාධිය දිනා ගත්තේය. ඔහු ඒ උපාධිය දිනා ගත්තේ පෙරදිග රටවල්වලින් පැමිණි සියලු සිසුන් අතරින් මුල් තැනට පැමිණෙමිනි. සිය බාල අවධියේ සිට සුනිල් ශාන්තයන් දක්ෂයෙක් බව කැපී පෙනෙන්නකි. ඔහු 1931 දී පාඨශාලා හැරයෑමේ පරික්ෂණයෙන් සමත් වනුයේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගනිමිනි. සංගීතය ඉගෙන ගැනීම සඳහා ඔහු ඉන්දියාවට යන්නේ ඒ වන විට තමා නියැළී සිටි ගුරු වෘත්තියට සමු දෙමිනි. ශාන්ති නිකේතනයට ඇතුළත් වන්නට ප්‍රථමයෙන් ඌරාපොළ බණ්ඩා ගුරුන්නාන්සේගෙන් ජන කවි හා වන්නම් ගායනය ඉගෙන ගත් බව ඔහුගේ ජීවන සටහන්වල කැපී පෙනෙන්නකි. සංගීතය නමැති විෂයයේදී දේශීය සංගීතයක් සොයා යෑමේදී ලෝකයේ විවිධ සංගීත ආර පිළිබඳ සුනිල් සාන්තයන් අවධානයෙන් පසු වූ බව ඉන් මනාව පැහැදිලි වෙයි. ලංකාවට පැමිණි පසු සංගීත ගුරුවරයෙකු වීම අභිලාෂය තිබුණ ද ඔහුට නැවත ගුරු වෘත්තියට පිවිසීමට අවස්ථාවක් නොලැබෙයි. සුනිල් සාන්තයන් සිය සංගීත හා කලාව පිළිබඳ අප්‍රමාණ ගෞරවයකින් සිටි වග නොරහසකි. එහි නිර්මාණ ජීව ගුණය විනා ආර්ථික ප්‍රතිලාභ පසුපස ඔහු හඹා නොගියේය. ඔහු ගීත ගායනා කරනුයේ ද ගුවන් විදුලිය තැටි සඳහා පමණි. 1946 'ඕලු පිපීලා විල ලෙල දෙනවා' මුල් පද සහිතව ගුවන් විදුලියේ තැටියකට නැඟුණු මුල්ම ගීතයයි. එම යුගයේ ගායකයකු වීමේ අභිලාශයෙන් පසුවන ඕනෑම කෙනෙකු කරන ලද්දේ ග්‍රැමෆෝන් තැටියකට ගීත ගැයීමය. එහෙත් සුනිල් සාන්තයන් කිසි විටෙක සිදු නොකරන ලද්දේ ද එයමය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඔහුගේ දැඩි තිරණය ඉස්මතු වන තවත් අවස්ථාවක් වනුයේ චිත්‍රපට ගීතය අරඹයාය. එහිලා ඔහු විසින් දක්වන ලද ප්‍රතිචාරය 'රේඛාව' චිත්‍රපටයේදී කැපී පෙනෙයි. රේඛාවේ සංගීත නිර්මාණය සඳහා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සුනිල් ශාන්තයන් තෝරා ගනු ලබනුයේ ඔහු විසින් ශ්‍රවණය කර තිබුණු මියුරුතම සිංහල ගීතය 'ඕලු පිපීලා' නිසා යැයි අපේ මහා සිනමාකරු වරක් පැවසුවේය. ඒ ද එංගලන්තයේදීය. 'රේඛාවේ' සංගීත නිර්මාණය භාර දෙන්නට ආචාර්ය ලෙස්ටර් සුනිල් සාන්තයන් සොයා ගිය ගමන එතරම් ඵලදායී වන්නේ නැත. තමා කරන්නේ වෙනස් ආකාරයක සිනමා කෘතියක් යැයි ලෙස්ටර් කෙතරම් පැවසුව ද එය බාර ගන්නට සුනිල් සාන්තයන් කැමැති වූයේ නැත. හැම සිංහල චිත්‍රපටයක්ම එක මල්ලක ලා තර්ක කරන්නට සුනිල් සාන්තයන් සමත් විය. අවසානයේ ඔහු ඒ සඳහා එකඟ වන්නේ දෙවැනි මැදිහත්කරුවකු ලෙස චිත්‍රපටයේ ගීත රචනයට එක් වූ මර්සලින් ජයකොඩි පියතුමා චිත්‍රපටයට සම්මාදම් වූ පසුවය. ජයකොඩි පියතුමාගේ මැදිහත්වීම නොවන්නට රේඛාවේ ගීත නිර්මාණය වෙනත් සංගීත ශිල්පියකු අතින් සිදුවනු ඇත. රේඛාවේ සුනිල් සාන්තයන් නිර්මාණය කරන ලද්දේ එහි එන මියරු ගීත තනු පෙළය. එහිදී ද විශාල කොන්දේසි ගණනාවක් දමන ලද්දේය. එයින් පළමුවැන්න නම් චිත්‍රපටයේ සංගීතය මෙහෙයවීම සඳහා ඔහු ඉන්දියාවට නොපැමිණෙන බවය. අන්තිමට රේඛාවේ සංගීතය මෙහෙය වන ලද්දේ එවකට විශිෂ්ටතම සංගිත අධ්‍යක්ෂවරයෙක් ලෙස නමක් දිනා සිටි බී. එස්. පෙරේරා විසිනි. රේඛාවේ සංගීතය පිළිබඳ සුනිල් සාන්තයන්ගේ නම බොහෝ තැන සඳහන් වුව ද ඇත්ත නම් එතුමන් එයට දායක වූයේ ගී තනු නිර්මාපකයා හැටියටය. රේඛාව පසුබිම් සංගීතය කේ.දයාරත්නගෙනි. 'සන්දේශයේ' දී සුනිල් සාන්තයන් තැනූ ගී තනු සඳහා සංගීතය මෙහෙය වන ලද්දේ ආර්. මුත්තුසාමි විසිනි. මුත්තුසාමි මාස්ටර් සංයෝජනය කරන ලද ගී තැටි ඇසූ සුනිල් ශාන්තයන් තැටි සියල්ල පොළවේ ගසා විනාශ කළ වග වාර්තා වෙයි. තමාගේ ගීත උත්තර භාරතීය සංගීතයෙන් කෙලෙසා දමන ලදැයි ඔහු කෝප විය. රේඛාවේ බී. එස්. පෙරේරාගේ සංගීතය පිළිබඳ සුනිල් ශාන්තයන් සියයට සියයක්ම එකඟ වුවාදැයි තවමත් හෙළි නොවන කාරණයකි. කෙසේ වෙතත් 'සංදේශයෙන්' පසු ආචාර්ය ලෙස්ටර් 'ගම්පෙරළිය' සදහා තෝරා ගත්තේ පණ්ඩිත් අමරදේවයන්ය. ගම්පෙරළියේ ගීත අඩංගු වූයේ ද නැත. චිත්‍රපට සංගීතය සඳහා සුනිල් ශාන්තයන් එතරම් විරෝධය පළ කරන ලද්දේ කවර හේතුවක් නිසා ද යන්න වටහා ගත නොහැක. සිය සමකාලීනයකු වූ හා තමාගේ ගෞරවයට පාත්‍ර වූ ආනන්ද සමරකෝන් චිත්‍රපට ගීතය නමැති වළෙහි එරී තම අනන්‍යතාව විනාශ කරගත් නිසා එසේ සිදු වුණිදැයි සැකපහළ කළ හැක. පසු කලෙක රෝමියෝ ජුලියට් කතාව චිත්‍රපටය සඳහා සුනිල් සාන්තයන් ගයන ලද 'ඩ්‍රීම්ස් අ රෝසස්' නමැති ඉංග්‍රීසි ගීතය හැරුණු විට ඔහු විසින් ගයනු ලබන කිසිදු ගීතයක් චිත්‍රපට සංගීිතයේදී හසු වන්නේ නැත. ඔහු දේශීය සංගීතය පිළිබඳ අදහස් පළ කරන්නට පටන් ගත්තේ 1949 තරම් ඈතකදීය. තමා විසින් පළ කරන ලද 'හෙළ රිදී වලාව', 'මිහිරියාව' යන ග්‍රන්ථ රාශියකදී දේශීය සංගීතය පිළිබඳ ඔහු පුන පුනා කරණු ඉදිරිපත් කළේය. දේශීය සංගීතය පිළිබඳ අභිලාෂ කෙතරම් ද යත් 1952 දී මෙරට ගුවන් විදුලිය මඟින් සිදු කරන ලද කුප්‍රකට රතන් ජන්කර් පරීක්ෂණය වර්ජනය කිරීමට තරම් හේ නිර්භීත විය. ඒ වන තෙක් ගුවන් විදුලියට පමණක් ගී ගයන ලද සුනිල් සාන්තයන්ට මුල්වරට ඒ දොර වැසුණේ ද එබැවිනි. අපේ ගායනයේ සංගීත මිහිරියාව අපට ශ්‍රවණය කරන්නට ලැබුණු විශිෂ්ටතම අවස්ථාව සුනිල් සාන්ත බව බොහෝ විද්වතුන්ගේ මතයයි. ඔහු සංගීතයේදී පමණක් නොව භාෂාවේදී ද කුමාරතුංග මුණිදාසයන්ගේ ඇසුරේ ගොඩ නැඟෙන්නකි. ඔහුගේ නිර්මාණ පසුපස හෙළ හවුලේ මහා කවියන්ගේ විචිත්‍ර වූ ගේය පද රචනා සමූහයක් ඇත්තේය. අරිසෙන් අහුබුදු මෙන්ම හියුබත් දිසානායක, රැයිපියෙල් තෙන්නකෝන් ආදීන්ගේ ගී පද මාලා ඔහුගේ ගීත මඟ තවත් අලංකාර කළේය. පසු කලෙක ඔහුට යළිත් ගුවන් විදුලියේ දෙර හැරිණි. සීගිරි ගී පෙළ, බඹර ගී, කුකුළු හැවිල්ල පෙළ ඇතුළු මියුරු ගී රැසක් එළි දැක්කේ ඒ සමයේය. නීතිරීතිවලින් ඔහුගේ ජීවිතය පාලනය කරන්නට කිසිවකුට හෝ හැකි නොවීය. ගායනයේ මධුර ස්වරය ද භාෂාව පිළිබඳ විශිෂ්ටත්වය ද ඔහුට ආවේණිකය. ඔහුගෙන් පසු සුනිල් සාන්තයන්ගේ පර්යේෂණ තවදුරටත් ඉදිරියට ගියේ නැත. දේශීය සංගීතය පිළිබඳ කතිකාව ජන ගී රැප් කිරීමට පමණක් සීමා විය. සුනිල් සාන්ත දේශීය සංගීතයේ සළකුණ සොයායෑම වෙසෙසින් අගය කළ යුත්තේ එම සළකුණ සොයායන්නේ යැයි කියන බොහොදෙනා මෙන් ඔහු ළිං මැඬියකු නොවීමය. ඔහු ලෝකයේ විශිෂ්ට සංගීතය ඉගෙන එයින් පසු ඒ තුළ ඇති වූ ලාංකික ළකුණ සොයා යන්නෙක් වීමය. එයට හේතු වන්නට ඇත්තේ සුනිල් සාන්තයන්ගේ සංගීත ඥානයට හා ලෝකය පිළිබඳ සම වන්නට කිසිවකුට නොහැකි නිසාවෙන්ද? නැතහොත් සුනිල් සාන්තයන්ගේ මතය විශ්වය හමුවේ අසරණ වූ නිසාවෙන් ද යන්න පැනයක් නගී. |