|
ඇන්ජලිනා ජොලී ලොවට හඬ ගා පැවසූ පණිවිඩය
ජනප්‍රිය හොලිවුඩ් නිළි ඇන්ජලිනා ජොලී සිය ඩිම්බ කෝෂ සහ පැලෝපීය නාල ඉවත් කරමින් සිදු කළ සැත්කම පසුගියදා මාධ්‍ය පුරා පැතිරුණ පුවතක් වුණා. ඇන්ජලිනා ජොලී සිය සෞඛ්‍ය පිලිබඳ අතිශය පුද්ගලික කරුණු මාධ්‍ය වෙත හෙළි කළ පළමු අවස්ථාව මෙය නොවේ. මීට ප්‍රථම 2013 වර්ෂයේදී ඇය තම පියයුරු යුගලය ඉවත් කරමින් සිදු කළ සැත්කම ගැන ද මෙලෙසම මාධ්‍ය දැනුවත් කළා. ඩොලර් මිලියන 270 ක වත්කමකට හිමිකම් කියන බ්‍රැඩ් පිට් නැමැති සුපිරි හොලිවුඩ් නළුවාගේ බිරිඳ සහ හොලිවුඩ් සිනමාවේ ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා සිටින නිළියක සහ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක වන ඇන්ජලිනා ජොලී මෙලෙස සිය ජීවිතයේ අතිශය පුද්ගලික කරණු මාධ්‍ය වෙත ලබා දෙන්නේ සිය ජනප්‍රියත්වය වැඩි කර ගැනිමේ බලාපොරොත්තුවෙන්ද? තවමත් 39 වන වියේ පසුවන ඉතාමත් රූමත් සහ සරාගී නිළියක වන ඇන්ජලිනා ජොලී සිය ශරීරයේ අවයව ඉවත් කරමින් සිදු කරන සැත්කම ගැන විශේෂයෙන්ම සිය පියයුරු ඉවත් කිරීම ගැන මාධ්‍යයට පැවසීමෙන් ලබන ජනප්‍රියත්වය කුමක්දැයි කරුණු කාරණා හරි හැටි නොදන්නා ඕනෑම අයකුට සිතෙනු නොඅනුමානය. සැත්කමේ සැබෑ අවශ්‍යතාව ඇන්ජලිනා ජොලීගේ මිත්තනිය, මව සහ නැන්දනිය යන තිදෙනාම අකාලයේ මිය ගියේ පියයුරු සහ ඩිම්බකෝෂ පිළිකාවන්ට ගොදුරුවීමෙනි. පියයුරු සහ ඩිම්බකෝෂ පිළිකා ජාන මඟින් පරම්පරාවට ගමන් කිරීමේ ඉහළ ප්‍රවණතාවයක් දක්වන පිළිකා වර්ග වේ. යම් කාන්තාවකගේ මව හෝ සොහොයුරියන් එවැනි පිළිකාවකට ගොදුරු වූවා නම් එම කාන්තාවට ද ඩිම්බ කෝෂ හෝ පියයුරු පිළිකා වැළඳීමේ සම්භාවිතාව ඉතා ඉහළය. එසේ තමන් පිළිකාවකට ගොදුරුවීමේ සම්භාවිතාව දැන ගැනීම සඳහා සිදු කළ හැකි ජාන පරීක්ෂණ බටහිර රටවල ඉතා සුලභය. ඒ අනුව ඇන්ජලිනා ජොලී සිදු කළ පරීක්ෂණවලින් වෛද්‍යවරුන් පෙන්වා දී තිබුණේ ඇයට තරුණ වයසේදීම පියයුරු සහ ඩිම්බ කෝෂ පිළිකාව වැලඳීමේ හැකියාව ඉතා ඉහළ බැවින් ඒ සඳහා අදාළ සැත්කම් සිදු කිරීමෙන් එම අවධානම අවම කළ හැකි බවයි. තමා පිළිකා රෝගයේ අවදානමෙන් මිදීම ගැන, පිළිකා රෝගයට ගොදුරු වීම ගැන හෝ පිළිකා රෝගයෙන් සුවය ලැබීම ගැන මාධ්‍ය දැනුවත් කළ එකම නිළිය හෝ ප්‍රසිද්ධ පුද්ගලයා ඇන්ජලිනා ජොලී පමණක්ම නොවේ. හිටපු අමෙරිකානු ජනාධිපති බිරියක වන නැන්සි රේගන්, ජනප්‍රිය ගායිකාවන් වන කයිලි මිමෝග් සහ ෂෙරිල් ක්‍රෝ, ජනප්‍රිය නිවේදිකාවක වන ෂැරොන් ඔස්බොන් ආදී නළු නිළියන්, ගායක ගායිකාවන් පිළිකා රෝගය පිළිබඳ අත්දැකීම් මාධ්‍ය සමඟ නොවලහා පවසා සිටියේ බොහෝ සුබවාදී පරමාර්ථයෙනි. ජනප්‍රිය පුද්ගලයින් මෙලෙස තම පුද්ගලික තොරතුරු බෙදා ගැනීම වැදගත් වන්නේ අයි? ජනප්‍රිය චරිතයක් පිළිකා රෝගය ගැන සිය අත්දැකීම් පොදු ජනතාව සමඟ බෙදා ගැනිම නිසා එයට ගොදුරු වී සිටින ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ට තමන් හුදකලා වී නොමැති බව හැඟී යනු ඇත. එසේම එවැනි තොරතුරු මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම තුළින් පිළිකා රෝගය පිළිබඳ දැනුවත්භාවය වැඩිවන අතර පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පිළිකා කලින් හඳුනා ගැනීමේ පරීක්ෂණ(Pre Screening Tests) වලට යොමු වුණ බවයි. උදාහරණයක් ලෙස කයිලි මිනෝග් නැමැති සුරූපී ඕස්ට්‍රේලියානු ගායිකාව අවුරුදු 36 තරම් අඩු වයසකදී පියයුරු පිළිකාවට ගොදුරු වූ පුවත ඕස්ට්‍රේලියානුවන් පමණක් නොව බටහිර ලෝකයේ බොහෝ දෙනා කැලඹ වූ පුවතක් වූවාය. කයිලි මිනෝග් පිළිකා රෝගය සම්බන්ධයෙන් ඇයගේ සියලු අත්දැකීම ජනතාව සමඟ බෙදා ගත්තා පමණක් නොව එම පරීක්ෂණ සඳහා යොමු වන ලෙස ඇය ඉතා ඕනෑකමින් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියාය. ඕස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ කයිලි මිනෝග්ගේ පියයුරු පිළිකා පුවත මාධ්‍යයට නිකුත් වී සති 2 ක් ගත වන විට පියයුරු පිළිකාව හඳුනා ගන්නා පරීක්ෂණය වන Mammogram පරීක්ෂණයට සහභාගි වන ඕස්ට්රේියානු කාන්තාවන්ගේ සංඛ්‍යාව 40% ක් දක්වා ඉහළ ගිය බවයි. පිළිකා රෝගය යනු බෝ වෙන රෝගයක් හෝ වැරැදි ලිංගික ඇසුරක් නිසා පැතිරෙන රෝගයක් නොවේ. නමුත් කලින් හඳුනා නොගතහොත් පිළිකාවක් යනු මරණ දණ්ඩනයකි. එහෙයින් පිළිකාවකින් ගැලවීමේ එකම මඟ වන්නේ එය කලින් හඳුනාගෙන ඒ සඳහා සාර්ථක ප්‍රතිකාර ලබා ගැනීමයි. නමුත් අප දන්නා පරිදි ශ්‍රී ලාංකික සමාජයේ බොහෝ දෙනෙක් පිළිකාවක් සම්බන්ධයෙන් විවෘතව කථා කිරීමට මැලි වෙති. මිය යන තුරුම පිළිකාව රහසක්ව තබා ගැනීමට උත්සාහ කරති. පිළිකාවක් වැලඳුනු පසු එයට ශක්තිමත්ව මුහුණ දීම ධෛර්යය සම්පන්නභාවය පෙන්වීමක් විනා එය ලැජ්ජාවට හේතු වන කරුණක් නොවේ යන්න ඇන්ජලිනාගේ මතයයි. වර්තමානයේ උණක් සෙම්ප්‍රතිශ්‍යාවක් තරමටම සුලභව දක්නට ඇති පිළිකා මාරයාගෙන් එක් ජිවිතයක් හෝ ගලවා ගැනීමට ඔබට දායක වීමට හැකි නම් එය මාහැඟි පුණ්‍යකර්මයක් වනු ඇත.
ආචාර්ය සමන්තිකා ඒකනායක (එංගලන්තයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් සමන්තිකා ඒකනායක වර්තමානයේ කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ (Sunny Brook) පර්යේෂණ ආයතනයේ පිළිකා රෝග පිළිබඳ පර්යේෂිකාවක ලෙස සේවය කරයි) |