වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




දුක සැප සතුට පිරි ජීවිතයක් එදා අපි ගෙව්වා

දුක සැප සතුට පිරි ජීවිතයක් එදා අපි ගෙව්වා

මැද මාවතේ සිනමාකරු එච්. ඩී. ප්‍රේමරත්නගේ බිරිය
චන්ද්‍රා පද්මිණී ප්‍රේමරත්න

'සඳ තනිවෙලා අහසේ හිරු තනි වෙලා
උතුරා ගැලූ ගඟුලක් අද වියැලිලා'

එදා එච්. ඩී. ප්‍රේමරත්නයන් තම අපේක්ෂා සිනමා නිර්මාණයට මේ ගී පද වැල එකතු කළේ තම සිනමා පට නිර්මාණයන් තුළින් බොහෝ විට අප පෙරදිග කාන්තාවගේ දුක්ඛ දෝමනස්සයන් ප්‍රතිනිර්මාණය කළ නිසාමදැයි අපි නොදනිමු.

සිංහල සිනමාවේ මැද මාවතේ සිනමාකරුවකු ලෙසින් සිය සිනමා නිර්මාණයේ නියැලි එච්. ඩී. ප්‍රේමරත්නයන් එදා හැටේ දශකයේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙසින් සිනමාවට එක් විය. හැත්තෑව දශකයේ සිකුරුලියා චිත්‍රපටය නිර්මාණය කරමින් සිය සිනමා දිවිය ඇරඹූ ඔහු අපේක්ෂා, පරිත්‍යාගය, දෙවැනි ගමන, මංගල තෑග්ග, පාලම යට, සප්ත කන්‍යා, සෙයිලම, විසිදැල, කිණිහිරියා මල් ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කරනු ලැබීය.

වානිජ සිනමාවත් කලාත්මක සිනමාවත් එක්තැන් කොට මැද මාවතේ සිනමා නිර්මාණයන් ඔස්සේ ප්‍රේක්ෂකයන් වෙත සමීප වූ එච්. ඩී. ප්‍රේමරත්නයන් අප අතහැර ගොස් මේ වන විට වසර නමයක් ඉක්ම ගොසිනි. 92/1, පල්ලිය පාර, වත්තල නිවහනට අපි ගොඩ වුණේ ප්‍රේ්මරත්නයන්ගේ ආදරණීය බිරිය චන්ද්‍රා පද්මිණී ප්‍රේමරත්න මහත්මිය හා කතාබස් කරන්නට.

* එච්. ඩී. ප්‍රේමරත්නයන් අප අතරින් වියෝ වෙලත් දැන් සෑහෙන කලක් ගත වෙලා නේද?

ඔව්. මේ වසරේ අවසානයට අවුරුදු දහයක් වෙනවා. 2005 දෙසැම්බර් 26 වැනිදා තමයි මහත්තයා නැති වුණේ.

* ආදරණීය සැමියත් නැතුව මේ ගෙවන ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

ජීවිතේ කියන දේ අනිත්‍ය දෙයක්. ඒක මේ ලෝකේ ඉපදෙන කාට වුණත් පොදු දෙයක්. මට කියලා විශේෂයක් නැහැ. මට ඉන්නේ දුවයි, පුතයි. මේ දෙන්න ළඟට වෙලා අද මම කාලය ගත කරනවා.

* ස්වාමියා වෙනුවෙන් පින් දහම් කටයුතු එහෙම කරනවත් ඇති?

මට කළ හැකි උපරිමයෙන් හැම වසරකටම ඒ දේවල් කරනවා. මහත්තයා ජීවත් වෙලා ඉන්න කාලෙත් එයාගේ උපන් දිනයට ජනවාරි 27 වැනිදාට කෝට්ටේ සංහිද වැඩිහිටි නිවාසයට දානයක් දුන්නා. ඒ වගේම වෙසක් පෝය දවසට වත්තල තෙළඟපාත සුදර්මාරමයේ සිල් සමාදන් වන උවසි උවැසියන් තුන්සියයකට දානය පිරිනැමීම කළා. මේ සිරිත අදටත් එයා නෑ කියලා නෑ. අපි ඒ අයුරින්ම පිංකම සිද්ධ කරනවා. අදටත් මහත්තයාගේ ගුණ සිහි කරලා එයා නැති වුණු දෙසැම්බර් 26 වැනිදාට ගෙදර සාංගීක දානයක් පිරිනමනවා. ඊට අමතරව සැප්තැම්බර් මාසයේ මහත්තයා වෙනුවෙන් විශේෂ බණක් කියලා පින් අනුමෝදන් කරනවා. මේ වගේ කටයුතු තමයි දරුවෝ දෙන්නත් එක්ක මම කරන්නේ.

* එදා වගේම අදත් කලා ක්ෂේත්‍රයේ ඔබට පිළිගැනීමක් තියෙනවාද?

තියෙනවා කියන්නත් බෑ, නැහැයි කියන්නත් බෑ. දන්න අය දන්නවා නොදන්න අය නම් වැඩිය දන්නේ නැහැ. කොයි දේ වුණත් ක්ෂේත්‍රයේ ඉන්නකන් තමා, නැතුවහම මොකුත් නෑ. මටත් ඒ ආනිශංසයම තමයි.

* කොහොමද එදා ප්‍රේමරත්නයන්ගෙන් උදවු ලැබූවන් අදත් ඔබ සමඟ දුක සැප බෙදා ගන්නවාද?

ඒ ගැන නම් මට තියෙන්නේ කණගාටුවක්. මහත්තයා චරිත දීලා තැනකට ගත්තු බොහෝ දෙනෙක් අද අපිව අමතක කරලා. කීප දෙනෙක් විතරක් අදටත් අපිත් එක්ක දුක සැප බෙදා ගන්නවා.

* අද එවැනි සමීපතමයන් වී සිටින්නේ කවුරුන්ද?

සනත් ගුණතිලක, ජැක්සන් ඇන්තනි, කමල් අද්දරආරච්චි වගේ කීප දෙනෙක් විතරයි.

* මේ වසර අවසානයට ප්‍රේමරත්නයන් මිය ගොස් දස වසරක් සපිරෙනවා. හිතෙන්නේ නැද්ද විශේෂ ගුණානුස්මරණයක් කරන්න?

පුතා රංග ප්‍රේමරත්න ජාතික රූපවාහිනියේ නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කරනවා. එයා නම් මේ වසරේ තාත්තා වෙනුවෙන් එවැනි විශේෂ ගුණානුස්මරණ වැඩ සටහනක් කරන්න දැනටමත් සැලසුම් කරමිනුයි ඉන්නේ.

* එදා නළු නිළියන් ආව ගිය නිවහනක් . අද එවැනි අය නිකමටවත් ප්‍රේමරත්නගේ මතකයන් සිහිපත් කරන්නවත් මේ නිවහනට ගොඩ වන්නේවත් නැද්ද?

එහෙම වටපිටාවක් නම් නැති තරම්. කොහේදී හෝ දැක හඳුනා ගත්තොත් කවුරුත් කතා නොකර ඉන්නේ නම් නැහැ.

* ප්‍රේමරත්නයන් නිර්මාණය කළ චිත්‍රපට දහඅට අතරින් ඔබ වඩාත් ආසා කළේ මොනවටද?

පාලම යට, විසිදැල චිත්‍රපට දෙක වඩාත් මගේ සිත් ගත්තා.

* ඔහුගේ නිර්මාණ අතර සුවිශේෂ ලක්ෂණයක් එහෙම ඔබ දුටුවාද?

වැඩිපුරම මහත්තයා අතින් නිර්මාණය වූ සිනමා නිර්මාණයන් තුළ කතා කළේ ස්ත්‍රීවාදී සිනමාවක් තමයි මම දැක්කේ. බොහෝ විට මට ඔහුගේ නිර්මාණ වැඩි ප්‍රමාණයක දැක්ක දර්ශනයක් තමයි මංගල දර්ශනයක් තිබීම. මම දන්නේ නෑ ඇයි එහෙම තිබුණේ කියලා.

* ප්‍රේමරත්නයන් ඔහුගේ නිර්මාණ අතරේ චිත්‍රපට නිෂ්පාදනයටත් පෙළඹුණා?

ඔව්. සප්ත කන්‍යා වගේම මංගල තෑග්ගත් ඔහු අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කළා.

* සප්ත කන්‍යා චිත්‍රපටයෙන් තමයි ආර්ථික අතිනුත් යම් තැනකට ආවේ කියා වරක් ප්‍රේමරත්නයන් කියා තිබුණා?

ඒක ඇත්ත. අපි යම් ආර්ථික ස්ථාවරභාවයක් ඇතිව ගෙයක් දොරක් හදාගෙන තැනකට ආවේ ඔය නිර්මාණය තුළින් ලැබුණු ආදායමෙන් තමයි.

* ඔබ මොන වගේ වටපිටාවක් ද සැමියාට නිර්මාණ කාර්ය සඳහා උදා කරලා දුන්නේ.

මම සම්පූර්ණයෙන් ඔහුව නිදහස් කළා නිර්මාණ කටයුතුවලට. මම ගෙදර වගකීම භාර ගත්තා. ප්‍රේමරත්නගේ පුරුද්දක් තිබුණා චිත්‍රපටයක් කරන්න හදන කොට මුලින්ම ඒකේ ස්ක්‍රිප්ට් එක අපට ගෙනත් දෙනවා අපි මොනවද කියන්නේ කියලා බලන්න. අපි කියන දේ අනුව එයා දන්නවා ඒ චිත්‍රපටයට සමාජයෙන් මොන වගේ පිළිගැනීමක් ලැබෙනවාද කියලා. චිත්‍රපටයක සිංදුවක වුණත් එහෙමයි. මුලින්ම ගෙදර ගෙනත් අපිට දීලා බලනවා මොන වගේ ප්‍රතිචාරයක් ද අපෙන් ලැබෙන්නේ කියලා.

මට මතකයි සප්ත කන්‍යා චිත්‍රපටයේ ස්ක්‍රිප්ට් එක මුලින්ම එයා කරන්න හිතුවේ ටෙලි නාට්‍යයකට. මට ඒක බලන්න දුන්නහම මම තමයි කිව්වේ මුලින්ම මේක චිත්‍රපටයකට තමයි වඩාත් හොඳ කියලා.

* ඒ කියන්නේ ඔබටත් හොඳ චිත්‍රපට දැනුමක් තිබුණා කියන එක?

මට කලාව ගැන දැනුමක් තිබුණේ නැහැ. මම ඉගෙන ගත්තෙත් විද්‍යා විෂයන්. මම එයාගේ චිත්‍රපටවලට යම් තරමකින් හරි දායක වුණේ මම ඒ දවස්වල කරපු ඇඳුම් මහන රස්සාවෙන්. චරිතවලට ඕනෑ කරපු ඇඳුමක් මහල දෙන එකෙන්. ගෙදර කිට්ටුව ෂූටින් තිබුණ දවසක චිත්‍රපටයේ වැඩ කරන අයට කෑම ටිකක් පිළියෙළ කරල දෙන එකත් විතරයි කළේ. චිත්‍රපට කෙරුවාව ගැන නම් කොහෙත්ම දැනුමක් මට තිබුණේ නැති තරම්.

* කොහොමද ඔබට ප්‍රේමරත්න මහත්තයා හමු වෙන්නේ?

අපේ පවුල් දෙක අතර නෑකමක් තිබුණා. ඒ කියන්නේ නෑනා - මස්සිනා. ඒ හිතවත්කම පසුව ආදරයට පෙරලුණා. අවසානයේ විවාහය දක්වා දුරදිග ගියා.

* චිත්‍රපටවල ෂූටින් කරන තැන්වලටත් ඔබ සැමියාත් සමඟ ගිය අවස්ථා තිබුණාද?

මම කළේ ගෙදර පාලන කටයුතු. චිත්‍රපට හැදීම කළේ සැමියා. මම මේක පටලවා ගත්තේ නැහැ. සමහර චිත්‍රපට රුපගත කිරීම් සඳහා මාසය සති දෙක තුන ගෙදර නෑවිත් හිටිය අවස්ථා තිබුණා. ඒ දවස්වලට මට තොරතුරු දන්වලා ලියුමක් එහෙම නැතිනම් පෝස්කාඩ් එකක් එව්වා. මුල් කාලයේ අපේ ගෙදරට ටෙලිෆෝන් එකක්වත් තිබුණේ නැහැ හදිස්සියකට කතා කරන්න. දවසක් හරි නිවාඩුවක් ලැබුණොත් කොහොම හරි ගෙදර ආවා.

* සැමියාත් සමඟ විද්ශ ගතවීමේ අවස්ථාත් උදා වුණාද?

මම ඕස්ට්‍රේලියාව, මාල දිවයින, ඉතාලිය, ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව රටවල සංචාරය කරලා තියෙනවා. ඒ රටවල සංවිධානය කළ විදේශ චිත්‍රපට උළෙල සඳහා මම එයත් එක්ක ඒවාට සහභාගි වුණා. චිත්‍රපට පිළිබඳ දැනුමක් නොතිබුණත් මට හොඳ රස විඳීමක් තිබුණා. මට මතකයි මම සහභාගි වුණු කල්කටා සිනමා සම්මාන උළෙල අදටත් මගේ ජීවිතයේ සදා අනුස්මරණීය මතකයන් අතර මුලින්ම තියෙන අවස්ථාවක්.

* එච්. ඩී. ප්‍රේමරත්නයන්ගේ ජීවන හද මඬල නිමාව දුටුවේ බලාපොරොත්තු නොවූ මොහොතක නේද?

එයා මිය යන කොට අවුරුදු හැට එකයි. ඒ වෙන කොට ස්වර්ණවාහිනී ආයතනයේ එයා රාජකාරි කරමින් හිටියේ. පපුව රිදෙන්නට වීම නිසා එයා පුතාට කෝල් කරලා කියලා තියෙනවා. පුතා ඒ පාර හැකි ඉක්මනින් ඇවිත් මහත්තයාව ඩර්ඩන්ස් හොස්පිටල් එකට ඇතුළත් කරලා අපිට දැන්නුවා. ඒ පාර මමත් දුවත් මහත්තයාගේ මල්ලිත් ඉක්මනින් රෝහලට ගියා. ඒ යන කොටත් එයාව අයි සී යූ එකට දාලයි තිබුණේ. මම ගියහම මාත් එක්ක කතා කළා. පස්සේ එයාට නින්ද ගියා. ඒ නින්දෙන් වගේ එයාට දෙවැනි පාරට වුණු හෘදයාබාධයෙන් තමයි නැති වෙලා තියෙන්නේ කියලා පරීක්ෂා කරපු වෛද්‍යවරු කිව්වා.

* පුතයි, දුවයි තාත්තාගේ ගමන ඉදිරියට ගෙනි යන්න බලාපොරොත්තුවක් නැද්ද?

පුතා රංග ලක්මාල් අද රුපවාහිනියේ නිෂ්පාදකවරයෙක් ලෙසත් තාත්තාගේ අඩි පාරේ යන්න පටන් අරන්. දුව රේඛා දිලානි සහාය අධ්‍යක්ෂවරියක ලෙස ටෙලි නාට්‍ය කීපයක කටයුතු කළා. සිංදුව, නිල් අහස, ලෝචනා, මායා, පුතුනි හඹා ගිය ආදී ටෙලි නාට්‍ය රැසක සහාය අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කළා. පසුව ඇය සියත ආයතනයට සම්බන්ධ වී වැඩ කර දැන් එයින් අයින් වෙලා තමයි මාත් එක්ක ඉන්නේ.

* එදා ඔබ ප්‍රේමරත්නයන් සමඟ ගෙවූ ජීවිතය ගැන අද මොකද හිතෙන්නේ?

පුදුම සතුටක්. දුක සතුට සැප මේ සියල්ලෙන්ම කැටිවුණ ජීවිතයක් තමයි අපි ගෙව්වේ. ඒ ජීවිතය ගැන මතක් කරන කොට ඇත්තෙන්ම අද හරි සතුටුයි. මට ඇස් දෙක වගේ දරුවෝ දෙන්නෙත් ඉන්නවා. ඒ අයත් අද මාව හොඳින් බලා ගන්නවා.

චන්දන දයාසිරිවර්ධන

ඡායා - මාලන් කරුණාරත්න