වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




හොර තාපසයාට මල්, පහන්, පලතුරු පූජා

හොර තාපසයාට මල්, පහන්, පලතුරු පූජා

මෙය සේන සමරසිංහගේ 'ඈතින් ඈතට' චිත්‍රපටය රූගත කිරීම්වලදී අනුරාධපුරයේ අටමස්ථානයේදී සිදු වුවකි.

මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදු වූයේ අටමස්ථානයේ පූජා නගරයේ උඩමලුවේදීය.

අටමස්ථානය ආශ්‍රිතව තිසා වැව, බසවක්කුලම වැව හා නුවර වැව යන වැව්වල කාන්තා මිනීමැරුම් සිදුවීම පොලීසියට මහත් ප්‍රශ්නයක් විය. රාත්‍රී මධ්‍යම රැයේ සතියකට වරක් කාන්තා මළ සිරුරක් පාවීම මහා අභියෝගයක් විය.

මෙම සිද්ධිය සෙවීම පොලීසියට අභියෝගයක් විය. මේ නිසා පොලීසියේ රහස් පොලීසිය මේ සඳහා උපායක් යෙදීය. රහස් පොලිස් නිලධාරියෙක් තාපස වෙස් ගෙන වෙස්සගිරිය. ඉසුරුමුණිය අවට ගල් ගුහාවල මෙම තාපස වෙස් ගත් තාපසයා ගැවසෙන්නට විය.

මෙය කිසිවෙක් දැන සිටියේ නැත. තාපසයා නිතරම උඩ මලුවේ තැනින් තැන ගස් ගල් යට තාපස වෙස් ගෙන සිටියේය.

මේ චිත්‍රපටයේ ගීතයක් විය. එය රූගත කෙරෙමින් තිබුණේ ශ්‍රී මහා බෝධිය පෙනෙන තෙක් මානයේ වූ දැවැන්ත පලු ගසක් යටය. රූගත කිරීම් අතරතුර එයට ආලෝකය සැපයූ ජෙනරේටරය ක්‍රියා විරහිත විය.

රූගත කිරීම් නැවතුණි. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මහ නා හිමියන්ගෙන් අවසරය ගෙන විදුලිය ලබාගෙන රූගත කිරීම් සිදු කළේය.

ගසෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නාත් මෙන් විදුලියේ කාර්මික දෝෂයක් නිසා හදිසියේ විදුලිය විසංධි විය. රූගත කරීම් ඇන හිටියේය.

ආලෝකයට ඇත්තේ පූජා භූමයේ දැල්වෙන පහන් ආලෝකය පමණි.

චිත්‍රපටයේ රූගත වෙමින් තිබුණේ සිදාදියේ සිට සංචාරයක් සඳහා පැමිණ සිටි තරුණ තරුණියන්ගේ ක්‍රියාකාරකම් සහ තවුස් වෙස්ගත් පොලීසියේ නිලධාරියාගේ දර්ශනයන්ය.

නළු නිළියන් සහ කාර්මික පිරිස තමන් පැමිණ සිටි වාහනවලට ගාල් වූහ. එහෙත් තවුසා වාඩි වී සිටි නුග සෙවනේම සිටියේය.

'දැන්ම ලයිට් එන පාටක් නෑ. අපි වේකල්වලට යමුයි' අධ්‍යක්ෂ සේන සමරසිංහ තවුසාට කීය.

'නෑ සේන මහත්තයා ඊයෙත් රූට නින්ද නෑ. මං ටිකක් මේ ගහට හේත්තු වෙලා ඉන්නම්. තිසා වැවේ සීතල හොඳයි' කී තවුසා හරිබර ගැසී නුග ගහට හේත්තු වී ඇස් පියා ගත්තේය.

විදුලය ලැබීමට පැය දෙකක් ගත විය. අනිත් අය තමන්ගේ වාහනවලට ගාල් වී සිටියහ. බොහෝ අයට නින්ද ගොස්ය. ඒ ඔස්සේ තවුසා ගැන කාටත් අමතක විය.

විදුලිය නැවත ලැබුණු පසු කාර්මික පිරිස රූගත කරීම් සඳහා පැමිණියේය.

තාපසයා සැබෑ තවුසෙකැයි සිතා අඩ අඳුරේ වන්දනාකරුවන් තවුස වටේට පහන් දල්වා මල් පූජා කර තිබිණි. ඒ මදිවාට තාපසයාට පලතුරු වට්ටි කීපයක් ද පූජා කර තිබිණ. එහෙත් තිසා වැවේ සීතල සමඟ තවුුසා ගොරව ගොරවා නිදිය.

'හත්වලාමේ තාපසයට මල් පහන් පූජා කරලා. පලතුරු වට්ටි දෙකකුත් පූජා කරලා'යි එහි සිටි විිමල් කුමාර් ද කොස්තා කීය.

කොස්තා පලතුරු වට්ටියක් ගෙන කන්නට විය.

රූගත කිරීම් අස්සේ ආ සමහරු තවුසාට මල් පහන් පුදනු දක්නට ලැබිණ.

'බෝධියේ විහාරයේ' රූගත වෙමින් තිබුණ ගීතය ඇරඹිණ.

රූගතවීම් අවසන් වූ හැටියේ භාවනානුයෝගීව සිට බොරු තවුසා ඉතිරි වී තිබුණු පලතුරු වට්ටිය දෙසා බාන්නට විය.

බොරු තවුසා ලෙස චරිත නිරූපණය කළේ මාය.

බොරු තවුසාට මල් පහන් හා පලතුරු පූජා කළ වන්දනාකරුවෝ ද රූගත කිරීම් බලා සිටියහ.

රූගත කිරීම්වලින් අනතුරුව තවුසා පලතුරු කනු දුටු වන්දනාකරුවෙක් මෙසේ කියනු ඇසිණ.

'හත් දෙයියනේ ඒ හොර තාපසයෙක්නේ. අන්න පලතුරු කනවා'