වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




දුවත් තාත්තත් පැටලුණු මුදලාලි

දුවත් තාත්තත් පැටලුණු මුදලාලි

දක්ෂ චරිතාංග නළු සරත් චන්ද්‍රසිරිට ඉන්නවා දුවෙක්. ඇරපු අතක් නැහැ ඇය නම් සරත් වගේමයි. කෙටියෙන්ම කිව්වොත් සරත්ගේ කපාපු පළුව. ඉතින් මෙන්න මෙයා ගෙවල් ළඟ තිබුණු කඩයකට ගිහින් ගෙදරට එදිනෙදා අවශ්‍ය වන කළමනා වගයක් ගන්න. ඒ වෙලාවේ කඩේ මුදලාලි සීනි කිරන එක පැත්තකට දාලා සරත්ගේ දුව දිහා බලාගෙන ඉන්නවලු. ඇයටත් මේක හරි ප්‍රශ්නයක් වුණා. ඒ පාර දුව මොකද කළේ දන්නවද බැරිම තැන මුදලාලිගෙන් ඇහැව්වා බලාගෙන ඉන්න හේතුව.

'මේ ළමයාට තියෙන්නේ අර පබා නාට්‍යයේ සමඟිපුර වසන්තගේ චරිතය රඟපාපු නළුවගේ මූණමනෙ.

මුදලාලි රැල් බුරුල් ඇරලා එහෙම කියලා. සමඟිපුර වසන්තට පණ පෙව්වෙ අපේ සරත්නෙ. කොහොම වුණත් දුවගේ තියෙන නිහතමානීකමට ඇය කියලා නැහැ තමන් සරත්ගේ දුව විත්තිය. එයත් අවශ්‍ය බඩු මුට්ටු අරගෙන කඩෙන් ආවලු. ඔන්න තවත් දවසක දුවයි තාත්තයි දෙන්නම ඒ කඩේටම ගිහිල්ලා.

මෙදා සැරේ මුදලාලි සරත් දිහා බලාගෙන ඉන්නවලු. සෑහෙන්න වෙලාවක් එහෙම ඉඳලා ඔහු සරත්ට කිව්වලු 'මේ මහත්තයා හරියට පබා නාට්‍යයේ සමඟිපුර වසන්තට රඟපාපු නළුවා වගේමයි කියලා. සරත්ගේ දුවට බකස් ගාලා හිනා ගිහින්.

ඔව්, ඔව්. ඕක හැමෝම කියන කතාවක්. මාත් හොයා ගන්න ඕනෑ ඔය නළුවව. මට පුදුම කරදරයක් තියෙන්නේ මුදලාලි.

එහෙම කියපු සරත් දුවත් එක්ක යන්න ගිහින් තියෙන්නේ මුදලාලිව හොඳටම තුෂ්නිම්භූත කරලා.