|
|
‘මහරජ ගැමුණු’ සිනමාවේ මට රජ වෙන්න ලැබුණු අවස්ථාවක්අනාගත සිනමාවේ විශිෂ්ටයා උද්දික ප්‍රේමරත්න සමඟ ආදරණීය කතාබහක්
අතීත සිනමාවේ ජනප්‍රිය තරු බවට පත් වූයේ රැළි කොණ්ඩයක් සහිත ආකර්ෂණිය පෙනුමෙන් යුත්
කඩවසම් පුද්ගලයන්ය. ජනප්‍රිය සිනමාවේ මුදල් උපයන යන්ත්‍ර බවට පත් වූයේ ඔවුන් යැයි
පැවසීම අතිශයෝක්තියක් නොවේ. එහෙත් එකී සම්මතයට අභියෝග කළ රංගන ශිල්පීන් ද කලින් කල
අප සිනමාවේ බිහි වූ බව නොරහසකි. ඒ රංග පෞරුෂය මුල් කොට ගත් නළුවන්ය. බාහිර රූප
සොබාව සිය පැවැත්මේ එකම සාධකය කර නොගත් ඔවුහු වඩාත් ස්ථාවරත්වයට පත් වන්නේ කලාත්මක
සිනමා ධාරාව ඔස්සේය. මෑත සිංහල සිනමාවේ අපට හමුවන උද්දික ප්‍රේමරත්න ද රංග පෞරුෂය මුල් කොට ගත් නළුවකු යැයි මට සිතේ. දිගු ඉතිහාසයක් නැතත් සිනමාවේ දිගු ගමනක් යෑමට අවැසි පන්නරය හා බුද්ධිමය කාරණා ඔහු සතුව ඇති වග පෙනේ. හෙට (23) සිට තිරගත වන ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ ‘ගැමුණු රජු’ ලෙස ඔහු ප්‍රේක්ෂකයා අභිමුවට පැමිණෙන්නේ එකී අනාගතය ගැන සුබවාදී ඉඟියක් අපට සපයමිනි. උද්දික අපේ මිත්‍රයා ‘මහරජ ගැමුණු’ වෙලා සිනමාවට එනවා. මම හිතන්නේ මේ ඔබේ සිනමා රංගන දිවියේ සුවිශේෂී අවස්ථාවක්? ඔව්. ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ‘මහ රජ ගැමුණු’ එක් අතකින් මට සිනමාවේ ‘රජ’ වෙන්නට ලැබුණු අවස්ථාවක්. මේ ජයන්ත අයියාගේ නිර්මාණයකට මම සම්බන්ධ වූ දෙවැනි වතාව. ඔහුගේ ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටයේ සංගීතඥයකු ගේ චරිතය මම නිරූපණය කළා. ඇත්තටම ඒ චරිතය වටා ප්‍රේක්ෂකයෝ රැසක් පෙළ ගැහුණා කිව්වොත් නිවැරදියි. ඉතින් ඊට හාත්පසින්ම වෙනස් ආකාරයේ චරිතයක් තමයි ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ මම රඟපාන්නේ. මම හිතන්නේ අපේ රාජවංශයේ වඩාත්ම ප්‍රකට, ජනප්‍රිය හා සම්භාවනාවට පත් වූ නිරිඳුන් වන්නේ ‘දුටුගැමුණු’යි. එබඳු ජනකාන්ත චරිතයක් කොහොමද ඔබ රිදී තිරයේ ජීවමාන කිරීමට අවැසි පන්නරය, උත්තේජනය ලබා ගත්තේ? මහරජ ගැමුණු කියන්නේ මුළු ලෝකයටම ආදර්ශයක් වූ සත්‍යවාදී වීිරයෙක්. ඉතිහාස පොත්වල අපි ඔහුගේ රුව දැකලා තියෙනවා. කඩොල් ඇතු පිට නැඟී එළාර රජු සමඟ සටන් විදින තේජාන්විත රූපකාය පුංචි කාලේ ඉඳලම අපේ මනසේ ඇඳිලා තිබුණ දෙයක්නේ. ජයන්ත අයියගේ පිටපතේ නිරායාසයෙන්ම ඒ චරිතය ගලාගෙන යන ස්වභාවයක් තිබුණා. ‘දුටුගැමුණු’ කියන්නේ මේ රටේ ජීවමානව සිටි චරිතයක්. හැබැයි අපි දන්න දේවල්වලට වඩා හුඟක් දේවල් ජයන්ත අයියා මේ නිර්මාණයට එකතු කරනවා. සමහර දේවල් වෙනස් කරනවා. කලාව, ඉතිහාසයට වඩා දාර්ශනිකයි කියන තැන ඉඳලා? විශේෂයෙන්ම ‘ගැමුණු රජු’ පිළිබඳ තිබෙන අතිශයෝක්තිය ඔහු බැහැර කරනවා. මනුෂ්‍යත්වයට බර, බොහොම සාධාරණ, යුක්තිගරුක, සාමාන්‍යය පුද්ගලයකු මට්ටමට ඔහු මේ චරිතය පත් කරනවා. අපි හිතන් හිටපු හීරෝට එහා ගියපු ඉතා සාමාන්‍ය මිනිසකු විදිහට තමයි ජයන්ත අයියා ‘මහරජ ගැමුණු’ චරිතය සිනමාවට නගන්නේ. නමුත් ඉතිහාසයේ අපි දැකපු ගැමුණු රජු, වීරත්වයෙන් හා බල පරාක්‍රමයෙන් යුත් ශ්‍රේෂ්ඨ නිරිඳෙක්. එය අතිශයෝක්තියක් කියා ද ඔබ කියන්නේ? ඔව්. මම හිතන්නේ අපි හිතාගෙන හිටපු දේවල්වලට වඩා එහා ගිය යම් යම් දේවල් මේ චිත්‍රපටයේ තියෙනවා. ඒ ඉතිහාසයේ අපි ඉඳලා නෑනේ. ජනප්‍රවාදයෙන් එන දේවල් මුඛ පරම්පරාවෙන් එහෙම නැතිනම් මහාවංශය, දීපවංශය හරහානේ අපි ඉතිහාසය හඳුනන්නේ. ඉතින් අපි ඒ අහපු දේවලින් තමයි ගැමුණු රජුගේ ප්‍රතිරූපය මනසේ ඇඳගෙන තියෙන්නේ. නමුත් මේ චිත්‍රපටයේදී අධ්‍යක්ෂවරයා ඒ චරිතය තියලා තියෙන්නේ සාමාන්‍ය තැනක. බෞද්ධාගම බේරා ගන්න අරමුණින් තමයි ඔහු නැවත මනුෂ්‍ය ලෝකෙට එන්නේ. චිත්‍රපටයේ ආරම්භයේම තියෙනවා අර කුඩා සාමනේරවරයාගේ නික්ම යෑම, නැවත ඔහු පිළිසිඳ ගන්නවා විහාර මහා දේවියගේ කුසේ. ඔහුගේ ඒකායන අරමුණ බුද්ධාගම බේරා ගැනීම. ඒක ඇතුළේ ඔහුගේ මානුෂික ක්‍රියාන්විතය තමයි අපිට වැදගත් වෙන්නේ. සතුරාට පවා ගෞරව කිරීමේ ගුණාංගය එතුමාට තිබුණා? සතුරාට ප්‍රේම කිරීම ඔහුගේ වීරත්වයට ගරු කිරීම වැනි මානුෂික ගුණාංග ගණනාවක් මහරජ ගැමුණු හරහා අපට අත්විඳින්නට ලැබෙනවා. ඉතින් ඒ දේවල් එක්ක තමයි මේ චිත්‍රපටය තුළ අපි ගැමුණු කුමාරයාගේ චරිතය ගොඩ නඟන්නේ. ‘මහරජ ගැමුණු’ චරිතය නිරූපණය කරද්දී ඔබ ඉතිහාසය ගැඹුරින් හැදෑරුවා ද නැතිනම් තිර පිටපතට අනුව ඔබේ භූමිකාව ගොඩ නඟා ගත්තාද? ඇත්තටම මේ චිත්‍රපටයේදී අධ්‍යක්ෂවරයාට අවශ්‍යය වූ කාරණාව තමයි මම ඉෂ්ට කළේ. මොකද ඔහු මහා ඥාණ සම්භාරයකින් හෙබි සමස්තය දන්නා අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ තිර පිටපතට මුල් තැන දෙමින් ඔහු සමඟ ඒකාත්මික වෙලා තමයි මම මේ චරිතය ගොඩ නඟන්න උත්සාහ කළේ. ඇතුළාන්තය හුඟක් පිරිච්ච, බොහොම නිහඬ, තැන්පත් පුද්ගලයෙක් හැටියට තමයි බැලූ බැල්මට ගැමුණු කුමාරයා පේන්නේ. හැබැයි ඔහුගේ වීරත්වය තියෙන්නේ ඔහුගේ ක්‍රියාදාමයන් ඇතුළේ. ගැමුණු රජු බොහොම කේන්ති යන කෙනෙක් කියලානේ අපි අහලා තිබුණේ. නමුත් ජයන්ත අයියා ඒකම නෙවෙයි මේ චිත්‍රපටයේ ඉස්මතු කරන්න හැදුවේ.
නමුත් අධ්‍යක්ෂවරයා ස්ත්‍රීලෝලිත්වය ඉස්මතු කරන්නට උත්සාහ කළේ නෑ. කොටින්ම ඔහු දුටුගැමුණු, දුෂ්ට ගාමණී කියන නම් පවා අයින් කරනවා. එතනින් බැහැර වෙලා ගාමිණී අභය කියන නමත් එක්ක ගැමුණු රජුගේ මානුෂික ගුණාංග තමයි එළි දක්වන්න උත්සාහ කරන්නේ. මේ සියලු කාරණා එක්ක බලද්දී ගැමුණු කුමාරයාට සාධාරණය ඉෂ්ට කරන්න පුළුවන් වුණා කියා ඔබ සිතනවාද? අධ්‍යක්ෂවරයා තෘප්තිමත් වෙන තරමට මගේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කර තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. ගැමුණු කුමාරයාගේ චරිතය ගොඩ නඟන කොට මට හැම වෙලාවෙම සිද්ධ වුණේ මම නතර කර ගත යුත්තේ කොතැනද කියන එක හොයා ගන්න. මම වැඩිපුර එහාට ගියොත් මගේ අතින් අල්ලලා, මාව මගේ තැනින් නතර කරලා තියා ගත්තා ඔහු. මේ චිත්‍රපටය හෙට ඉඳලා තිරගත වෙනවා. මීට කලින් චිත්‍රපටය නැරඹූ මාධ්‍ය සහෘදයන්ගේ ප්‍රතිචාර බොහොම ඉහළ තැන්වල තිබ්බා. ඔවුන්ගේ මතය වුණේ මම ගැමුණු කුමාරයාගේ චරිතයට සාධාරණයක් ඉටු කළා කියන එකයි. ඒ ඔවුන්ගේ අදහස. ගැමුණු රජුට තමන්ගේ ජීවිත කාලයේ හමු වූ ලොකුම අභියෝගය තමයි එළාර. චිත්‍රපටයේ ඒ එළාර වුණේ ජැක්සන් ඇන්තනි. ඔහු ප්‍රබල රංගනයක නියැළෙනවා. අභියෝගයක් වුණේ නැද්ද ඒ මැදිහත්වීම ඔබට? නෑ. මම බොහොම සංතෝෂ වුණා ජැක්සන් අයියා එළාර රජුගේ චරිතය නිරූපණය කරන එක ගැන. ජයන්ත අයියගේ මම හිතන්නේ කාස්ටින් එක හරියට හරි. ඉතින් ඒ දේවල් නිසාම තමයි ඔහුගේ චිත්‍රපට ජනතාව අතරට යන්නේ. ජැක්සන්, උද්දික කරට කර රංගනයක? මගේ එහෙම බලාපොරොත්තුක් තිබුණේ නෑ කරට කර රංගනයක නියැලෙන්න. පිටපතේ ඒ චරිත දෙක නිර්මාණය වෙලා තියෙන විදිහට මම ගැමුණු කුමාරයා නිරූපණය කළා. ජැක්සන් අයියා එළාරව නිරූපණය කළා. ඉතිහාසයේ අපි දැකලා තියන්නෙ ද්වන්ධ සටනින් ගැමුණු රජු එළාරව ජිවිතක්ෂයට පත් කරන එක. ඒ සියලු දේවල් චිත්‍රපටයේ තියෙනවා. හැබැයි ඉතින් ජැකසන් ඇන්තනි කියන්නේ බොහෝ දක්ෂතා තිබෙන, නිර්මාණශීලී රංගන ශිල්පියෙක්. ඔහු සමඟ රඟපෑම මට පහසුවක් වුණා. මේ චිත්‍රපටයේ කතා විලාශය, දෙබස් පවා අපේ හදවතට දැනෙනවා? ඇත්තටම ජයන්ත අයියා අපට කිව්වේ සහ තිර පිටපතේ තිබුණේ අද මේ වර්තමානයේ කතා කරන භාෂාවයි. රජ කාලේ කියලා අර ටීටර්වල වගේ ග්‍රාම්‍ය දෙබස් මේ චිත්‍රපටයට ඇතුළත් කළේ නෑ ඔහු. සමහර ව්‍යාකරණ සහ සංස්කෘතික වචන ඒ කාලෙට ගැළපෙන විදිහට යොදා ගත්තේ අවශ්‍යම තැන්වලදී පමණයි. නමුත් සමස්තයක් විදිහට ගත්තම ඒ කතා කරන විදිහ අදට බොහෝ සෙයින් සමානයි. දුටුගැමුණු - එළාර සංග්‍රාමයේදී ගැමුණු රජුගේ ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය වුණේ දස මහා යෝධයින්. මේ චරිත හරි හැටි නිරූපණය වුණා කියා ඔබ සිතනවාද? දස මහා යෝධයින්ගේ රංගන දායකත්වය නම් මම හිතන්නේ සීයට සීයකටත් වඩා ලැබුණා. උස, මහත, පුරුෂ ශක්තිය තියෙන පිරමි දහ දෙනෙක් මා වටා ඉන්න කොට පුදුමකාර සතුටක්, ශක්තියක්, අභිමානයක්, හරි පිරිච්ච, ඉතිරිච්ච ගතියක් මට දැනුණා. අනෙක ඒ හැම කෙනෙක්ම මට සැළකුවේ ඔවුන්ගේම කෙනෙක් හැටියට. ඒ ආදරය, ගෞරවය දර්ශන තලයෙන් එපිටත් අපි තුළ තිබුණා. මේ දස දෙනා අතරේ ඔබ කැපී පෙනෙන චරිතයක් වෙන්න අවශ්‍යයි. මොකද වඩාත් සුවිශේෂ ගැමුණු රජුගේ චරිතය නිසා. මෙය ඔබට අභියෝගයක් වුණේ නැද්ද? ඒක අප සැළසුම් සහගතව කළ යුතුව තිබූ දෙයක් නෙවේ. ඉතිහාසයේම ඒක තියෙනවා. දස මහ යෝධයන් ශරීරයෙන් කෙතරම් විශාල වුවත්, ශිල්ප හරඹ දැක්වුවත් ගැමුණු කුමාරයා තමයි සියල්ල වෙනස් කළේ. ඔහු වීරයා කියන එක ඉතිහාසයේ තියෙනවා. ඒ වීරත්වය ගොඩ නැඟෙන්නේ ගැමුණු කුමරුගේ පෞරුෂය නිසා. සෙසු චරිත අතරින් ඒ පෞරුෂය ඉස්මතු කරන්නට පුළුවන් වුණා කියා ඔබ හිතනවාද? ජයන්ත චන්ද්‍රසිරි කියන අධ්‍යක්ෂවරයා මේ චරිතය සඳහා මාව තෝරා ගන්නට ඇත්තේ ඒ නිසාම වෙන්න ඇති. ශරීරයේ හැඩය පවා මම වෙනස් කර ගත්තා. ආහාරපාන ගැනීමේ රටාව පවා සැළසුම් කරගෙන බොහොම ආදරයකින්, භක්තියකින් මේ චරිතයට ප්‍රවිශ්ට වුණා කිව්වොත් මම නිවැරදියි. හැදෑරූ සටන් ක්‍රම නිසා හෝ ව්‍යායාම නිසා හෝ ගැමුණු කුමාරයාට තිබුණේ ශක්තිමත් සිරුරක්. මේක ෆැන්ටසියක් නෙවෙයිනේ. සාමාන්‍ය, ස්වභාවික තත්ත්වයක් තමයි මේ නිර්මාණය ඇතුළේ තිබුණේ. මට සිද්ධ වෙනවා ඒ ස්වභාවික ලක්ෂණයන් මේ චරිතය හරහා ඉස්මතු කරන්න. මම ජිම් එකට පවා ගිහින් තමයි ශරීරය ඒ තත්ත්වයට හදා ගත්තේ. මම අදහස් කළේ ඔබේ ශාරීරක යෝග්‍යතාවය නෙවෙයි. රංග පෞරුෂය පිළිබඳ. එය මම හිතන්නේ බුද්ධිමය කාරණාවක්? ඔබ විචාරශීලීව ඇසූ පැනයට මා ස්තුතිවන්ත වෙනවා. අධ්‍යක්ෂවරයා මගේ රංගනය පිළිබඳ සෑහීමකට, සතුටකට පත් වුණා කියලා මම කිව්වනේ. ඒක මටත් සතුටක්. හෙට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹුණාට පස්සේ ප්‍රේක්ෂකයෝ නිගමනය කරාවි ඒ චරිතයට මම සාධාරනය ඉටු කළා ද කියලා. ‘කළු මැණිකා’ගේ ප්‍රේමය ඔබට කොහොමද දැනුණේ? ඒක හරිම මානුෂික දෙයක්. ඔහු රජ වුණාට පසුව කළු මැණිකාව සහ සාලිය කුමරුව රජ වාසලට කැඳවාගෙන යනවා. එතනත් තියෙන්නේ ඔහුගේ මානුෂික ගුණාංගයක්. ඉතින් ඒවා හරි හැඟීම්බර අවස්ථා. ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටයේ වාදිෂ දේවමින්ද චරිතය හා ගැමුණු රජුගේ චරිතය පැහැදිලිවම අන්ත දෙකක්. ජයන්ත චන්ද්‍රසිරි වැනි අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපට දෙකකම එකිනෙකට වෙනස් චරිත රඟපාන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ? මුලින්ම කියන්න තියෙන්නේ එය මා ලැබූ වාසනාවක් කියන එක. ඇත්තම එහෙම විවිධ හැඩ තලවලින් යුත් චරිත නිරූපණය කරන්නට ඉඩ හසර ලැබෙන එක නළුවකුට හොඳ අවස්ථාවක්. එක් අන්තයකට සීමා නොවී එහෙම විවිධ චරිත සඳහා පෙළ ගැසීම අපේ යුතුකම සහ වගකීම. වාදිෂ දේවමින්ද කියන්නේ ඉහළ පැළැන්තිය නියෝජනය කරන සංගීතඥයෙක්. නමුත් ඔහු වර්තමානිකයෙක්. ගැමුණු කුමරු එහෙම නෙවේ. ඔහු ඉතිහාසයේ ජීවත් වූ චරිතයක්. අධ්‍යක්ෂවරයාගේ උපදෙස් හා මඟ පෙන්වීම ඔස්සේ එකී චරිතයන් සොයා යන්නට, සොයා ගන්නට මට හැකි වුණා කියා මා විශ්වාස කරනවා. ඒ සියලු දේට අදාල කාරණා සැපයුවේ ජයන්ත අයියා. ‘මහරජ ගැමුණු’ හෙට සිට මෙරට ප්‍රේක්ෂකාගාරයට විවර වෙනවා. එදිනම ඔබේ නවතම චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වීමත් විශේෂත්වයක්? මහාචාර්ය සුනිල් අරියරත්නයන්ගේ ‘පත්තිනි’ චිත්‍රපටයේ රූගත කිරිම් ආරම්භ වන්නේ හෙට. මෙයත් දැවැන්ත සිනමා නිර්මාණයක්. ‘රන්මිහිතැන්න’ ටෙලි සිනමා ගම්මානයේ පුරා මාසයක් පමණ මෙය රූ ගැන්වෙනවා. රංගනයට පිවිසි කාලයට සාපෙක්ෂව බලන කොට නළුවකු හැටියට ඔබට බොහෝ දේ ලැබුණා? උද්දික ප්‍රේමරත්න කියන චරිතය 2005 දී තමයි සිනමාවට එන්නේ. ඒ ඇවිත් කෙටි කාලයකින් බොහොම ළඟ ළඟ මැච් කිහිපයක් ගහනවා. උද්දික ප්‍රේමරත්න කියන නළුවාට මම හරි කැමැතියි, ආදරෙයි. ඔහු විවිධ අධ්‍යක්ෂවරුන් එක්ක වැඩ කරනවා. ඔහුගේ විවිධ නිර්මාණ ජනතාව අතරට යනවා. ඔවුන් ඒවා පිළිගන්නවා. හොඳ කියනවා. නරක කියනවා. බනිනවා. ඒ සියලු දේවල් සමසේ දරගෙන ඉන්නවා මම. රංගන දිවියේ සීමා මායිම් පනවාගෙන තියෙනවාද? ඒ කිව්වේ . . . නෑ . . . මේ අසවල් අසවල් අධ්‍යක්ෂවරුන් එක්ක විතරයි වැඩ කරන්නේ කියලා? එහෙම නෑ. ඒ කියන්නේ ලැබෙන ඕනැම චරිතයක් බාර ගන්නවා? එහෙම එකකුත් නෑ. එහෙම කියලා නෑ ඉතිං. මොනවා හරි වැඩක් සැලසුම් වෙනවා. බොහෝ අධ්‍යක්ෂවරුන් මාව දන්නවා. මම එයාලව දන්නවා. ඉතින් සුහදව ලෙන්ගතුව වැඩේ බෙදා හදාගෙන ගමන යනවා. ඉදිරියේදී තව චිත්‍රපට කිහිපයක් පෙළ ගැසී තිබෙනවා. සංදේශ් කුමාර්, ඩොනල්්ඩ් ජයන්ත ඒක්ක පොඩි ඇක්ෂන් ෆිල්ම් එකකුත් කරනවා. පොඩි ෆැන්ටසියක් එක්ක අවුරුදු 15 - 30 අතර කොල්ලන්ගේ, කෙල්ලන්ගේ ආදරණීය චිත්‍රපටයක්. ලව් කරන, ෆයිට්ස්, ස්ටන්ට් තියෙන චිත්‍රපටවලත් අපි රඟපාන්න එපායැ. ඒවටත් මම සූදානම්. රංගන ශිල්පියා කියන භූමිකාව පසෙකින් තැබුවොත් කවුද උද්දික ප්‍රේමරත්න කියන්නේ. Who is he? මම නළුවෙක් වෙන්නේ ඒ අදාල නිර්මාණ කටයුත්තේ දී විතරයි. එතනින් එහාට මම බොහොම නිදහසේ නිස්කලංකව ජීවත් වෙන සරල චරිතයක්. මම හිතන්නේ ඒ නිදහස මේ යාන්ත්‍රික සමාජයේ, මේ රේස් එක දුවන හැමෝටම අවශ්‍යයි. මුදල්වලට වඩා මම කැමැතියි නිදහසට. සමහර වෙලාවට මුදල් පවා අතෑරලා මම කටයුතු කරලා තියෙනවා මම සහ මගේ පවුලෙ අය වෙනුවෙන්. මගේ ගෙදරට මම නළුවෙක් නෙවෙයි.
|




ඔහු හොඳ රණ ශූරයෙක් මෙන්ම දැඩි ස්ත්‍රී ලෝලියකු වගත් මා අසා තිබෙනවා?