වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




අද සිට ඉන්දීය සිනමාවේ පවුල් ගස් කියවමු

අද සිට ඉන්දීය සිනමාවේ පවුල් ගස් කියවමු

රාජ් කපූර් පවුල

පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන දෙයෙහි වටිනාකම ඉහළයි. ඒ වගේම සමහර පරම්පරාවල ද අගයත් ඒ වගේමයි. හින්දි සිනමාව තුළ කපූර් පවුලට ද හිමි වී තිබෙන්නේ එවැනි වූ ඉහළ ස්ථානයක්. එපමණක් නොව ඉන්දියාවේ ප්‍රථම සිනමා පවුල ලෙස සැළකෙන්නේ ද කපූර් පවුලයි. ඉන්දීය සිනමාව තුළ පරම්පරා හතරක අභිමානය ඔවුන් සතුව පවතී.

ඉන්දීය සිනමාවට පිවිසි ආරම්භක කපූර් සාමාජිකයා වන්නේ ප්‍රීති විරාජ් කපූර්ය. ප්‍රීති විරාජ්ගේ පියා පොලිස් නිලධාරියෙකි. ඔහු බහිෂ්වර්නාත් කපූර් නම් විය. ප්‍රීති විරාජ් උපත ලැබුයේ 1906 වසරේ නොවැම්බර් 03 වැනිදා ලියාල්පූර්හිදීය. (වර්තමානයේ පාකිස්ථානයේ ෆයිසලාබාද්). පංජාබයේ නීති අංශයෙන් අසස් අධ්‍යාපනය ලද ප්‍රීති විරාජ් හට සිනමාවට සම්බන්ධවීමට අවස්ථාව ලැබෙන්නේ 1928 වසරේදී බොම්බායට පැමිණීමත් සමඟිනි. එහිදී ඔහු මුවිටෝන් චිත්‍රපට සමාගමට එක්ව රංගනයට දායක විය. 1929 වසරේ සිට ඉන්දීය සිනමාව සිය රංගන ප්‍රතිභාවෙන් කලඑළි කිරීමට ප්‍රීති විරාජ් හට අවස්ථාව උදා විය. ඉන්දියාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය වූ අලාම් ආරා, රාජ් රාණි මීරා, දුෂ්මන්, ආවාරා, පර්දේසී ආදී චිත්‍රපට රාශියක ඔහු විශිෂ්ට රංගනයන් ඉදිරිපත් කළේය. ඉන්දීය පුරවැසියෙකුට පිදෙන ඉහළම සම්මානය වූ පද්ම භූෂන් සම්මානයෙන් ඔහු පිදුම් ලැබූයේ 1969 වසරේදීය.

1923 දී රාම්සරණි මෙහෙරා සමඟ විවාහ වූ ප්‍රීතිගේ පුතුන් වූ රාජ් කපූර්, ශම්මි කපූර් සහ ශෂි කපූර් තිදෙනාම සිනමාවට පිවිස ජනප්‍රිය රංගන තරු බවට පත් වූහ. වැඩිමහල් පුතු වූ රාජ් කපූර් විවාහ වූයේ සුප්‍රකට ඉන්දීය නළු ප්‍රේම්නාත්ගේ සහෝදරිය වූ ක්‍රිෂ්ණ මල්හෝත්‍රා සමඟිනි. මේ යුවළගේ පුතුන් අතරින් රන්දීර් කපූර් සහ රිෂි කපූර් ද ජනප්‍රිය නළුවන් බවට පත් වූහ. රාජිව් කපූර් හට සිනමාව තුළ එතරම සාර්ථකවීමට නොහැකි විය.

ප්‍රීතිගේ දෙවැනි පුතු වූ ශම්මි කපූර්ගේ ප්‍රථම විවාහය සිදු වූයේ ජනප්‍රිය නිළි ගීතාබාලි සමඟිනි. ඇයගේ අකල් මරණය නිසා දෙවැනි විවාහය නෙයිලා දේවි සමඟින් සිදු විය. ආදිත්‍ය රාජ් කපූර් පුතු සහ කන්චනි දියණිය ඔහුගේ දරුවන්ය. ආදිත්‍ය රංගනයට වඩා චිත්‍රපට නිෂ්පාදනයෙන් සාර්ථක වූයේය. ඉන්දීය සිනමාවේ රංගන ශිල්පියෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ද වූ ශෂි කපූර් ප්‍රීති විරාජ්ගේ තෙවැනි පුත්‍රයායි. බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පිනියක වූ ජෙනිෆර් කොන්ඩාල් සමඟ විවාහ දිවියට පත් ඔහු ඉන්දීය සිනමාවට කපූර් පවුලෙන් තවත් තරු ත්‍රිත්වයක් දායාද කළේය.

කුනාල් කපූර්, කරන් කපූර් පුතුන් දෙනොත් සන්ජනා කපූර් දියණියත් මව්පිය ආභාෂයෙන් කපූර් පරපුරේ තෙවැනි පරම්පරාව නියෝජනය කරමින් සිනමාවට පිවිසියහ. කුනාල් කපූර් තම පියාගේ චිත්‍රපටවල මෙන්ම ඉංග්‍රීසි චිත්‍රපටයක් සඳහා ද දායක වී තිබේ. ඔහු විවාහ වී සිටින්නේ බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ රමේෂ් සිප්පිගේ දියණිය ශීනා සිප්පි සමඟිනි. කරන් කපූර් ද රංගනයෙන් සේම නිරූපණ ක්ෂේත්‍රය තුළ ද කටයුතු කරන්නේය. සංජනා කපූර් ද රංගනයට දායකව සිට වර්තමානයේදී සිය සීයා වූ ප්‍රීති විරාජ්ගේ බොම්බායේ පිහිටි ප්‍රීතිවි තියටර් පාලන කටයුතු බලා ගනිමින් සිටින්නීය. ශ්‍යාමි බෙනෙගල් අධ්‍යක්ෂණය කළ ජූනූන් චිත්‍රපටයේ (1978) ශෂි කපූර් සහ ජෙනිෆර් සමඟින් කුනාල්, කරන් සහ සන්ජනා ද රංගනයෙන් දායක වූහ.

රාජ් කපූර් ඉන්දීය සිනමාව තුළ කපූර් පරම්පරවේ ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගන්නට සමත් වූ සාමාජිකයායි. ඔහුගේ දියණිය රිතු කපූර්ගේ පුත්‍රයා නිඛිල් නන්දා විවාහ වූයේ බොලිවුඩයේ සුපිරි තරුව අමිතාබ් බච්චන්ගේ දියණිය ස්වේතා බච්චන් සමඟිනි. ස්වේතා රංගන ක්ෂේත්‍රයට දායක නොවුන ද අතිශය ජනප්‍රිය පවුල් දෙකක් වූ කපූර් සහ බච්චන් පවුල එක් කළ මෙම විවාහයට ද ඉහළ ජනප්‍රියත්වයක් ලැබිණි. රාජ් කපූර්ගේ වැඩිමහල් පුතු රන්දීර් කපූර් සහ බබිතාගේ දියණියන් කරිෂ්මා සහ කරීනා ද බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තාරකාවන්ය. කපූර් බච්චන් පවුල්වල හිතවත්කම තව තවත් වර්ධනය කරමින් අභිෂේක් බච්චන් සහ කරිෂ්මා කපූර් අතර ප්‍රේමයක් ඇති වුව ද විවාහය දක්වා නොගොස් එය බිඳ වැටුණේ කපූර් සහ බච්චන් පවුල් දෙක ද විරසක කරමිනි.

රන්දීර්ගේ දෙවැනි දියණිය කරීනා බොලිවුඩ් නළු සයිෆ් අලිඛාන් සමඟින් විවාහ දිවියට පත් වූයේ ඛාන් කෙනෙකු කපූර් පවුලට සම්බන්ධ කරමිනි. රාජ්ගේ දෙවැනි පුතු රිෂි කපූර් විවාහ වූයේ ද ජනප්‍රිය බොලිවුඩ් නිළියක සමඟිනි. ඇය නිතු සිං ය. ඔවුන්ගේ පුතු රන්බීර් කපූර් ද වර්තමානයේ අතිශය ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකි. ඔහු සන්ජේ ලීලා බන්සාලිගේ සාවරියා චිත්‍රපටයේ රංගනයෙන් සිනමාවට පිවිසියේය. රාජ්ගේ දියණිය රීමාගේ පුතු අර්මාන් ජේන් කපූර් පවුලෙන් බොලිවුඩයට පැමිණි නවතම සාමාජිකයා වේ. ඔහු සිය සිනමා දිවිය ආරම්භ කළේ සහාය අධ්‍යක්ෂණයෙනි. ඒ My Name is Khan චිත්‍රපටයෙනි. ඉන් පසුව අර්මාන් Student of the Year සහ Ek Main Aur Ekku Tu චිත්‍රපට සඳහා සහාය අධ්‍යක්ෂණයෙන් දායක විය. අර්මාන් සිය කුළුඳුල් රංගනය ඉදිරිපත් කළේ අරිෆ් අලී අධ්‍යක්ෂණය කළ  Lekar Hum Deewana Dil චිත්‍රපටයෙනි.

කපූර් පවුලේ පස් වැනි පරම්පරාව ද සිනමාවට ප්‍රවිෂ්ඨ වනු ඇති බව කාගේත් අදහස බවට පත්ව තිබේ. කරිෂ්මාගේ දියණිය සමෙයිරා සහ පුතු කිරාන් මෙන්ම රිෂිගේ දියණිය රිද්ධිමාගේ දියණිය සමාරා සාති, ස්වේතාගේ දියණිය නාව්‍යා නවේලි නන්දා සහ පුතු අගස්ත්‍යා නන්දා තවමත් අධ්‍යාපනය හදාරමින් සිටිති. ස්වේතාගේ දියණිය දාහත් හැවිරිදි නාව්‍යා උසස් අධ්‍යාපනය හදාරමින් සිටින්නේ ලන්ඩනයේය. බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන්ගේ වැඩිමහල් පුතු ආර්යන් අධ්‍යාපනය හදාරන්නේ ද එම පාසලේය. නාව්‍යා සහ ආර්යන් ඉතාමත් හොඳ මිතුරන් බව දැන් කාටත් නොරහසකි. යම් දිනෙක ඒ මිතු දම ද ආදරයකට පෙරළී එය විවාහය දක්වා දුර ගියහොත් ඛාන් නාමය තවත් වරක් කපූර් පවුල සමඟින් එක් වෙනු ඇත.