වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




රණපුරට පැටලුණු කඩවුණු පොරොන්දුව

රණපුරට පැටලුණු කඩවුණු පොරොන්දුව

කුමාර රණපුර ගැන කියනවා නම් කතා ගොඩයි. මොකක් ලියනවද කියලා මට නම් හිතාගන්න බැහැ. කුමාරගේ ගෙදර වෙච්ච පොඩි සිදුවීමක් තියෙනවා. ඒක අදට කියන්නම්. අනෙක් ඒවා වෙන දවසක අහමුකො. මෙන්න මේකයි කතාව. කුමාර සාමාන්‍යයෙන් තමන් රඟපාන ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක දර්ශන තලයන්හි ඉන්න කොට තමන් සමඟ රඟපාන නළු නිළියොත් එක්ක ෆොටෝස් ගන්නවා.

ඒවායින් විශේෂිත ඡායාරූප එල්ලන්න කුමාරගේ නිවසෙහි වෙනම පැත්තක් තියෙනවා. කුමාර කරන්නේ පින්තූර රාමු කරලා එතන රඳවන එක. නිවසට එන යාළු මිත්‍රයන්ට කුමාර මේවා පෙන්න පෙන්න බොහොම සතුටක් ලබනවා.

කවුරු හරි කෙනෙක් ගෙදරට ආවොත් මේ පින්තූර ටික කුමාර නොපෙන්වා යවන්නේ බොහොම කලාතුරකින්. ඔන්න දවසක් එහෙම ආව මිතුරෙකුට කුමාර පින්තූර ටික පෙන්නනවලු.

මිත්‍රයා අහනවලු මේ මොන චිත්‍රපටයෙද කියලා. කුමාර ඉතින් එහි අධ්‍යක්ෂවරයාගේ ඉඳලා හැමෝගෙම විස්තර කියනවලු. ඒ පින්තූර අතර තිබිලා තියෙනවා කුමාර තවත් තරුණියක් සමඟ ඉන්න සේයාරුවක්. එහි පසෙකින් විජය කුමාරතුංගත් ඉන්නවලු. දැන් මිත්‍රයට හිතාගන්න බැහැලු මොන චිත්‍රපටයක රඟපාන ගමන් ද මේ පින්තූරෙ ගත්තේ කියලා. යාළුවා ඔළුව කසන ගමන් කල්පනා කරලා ඒ ගැන කුමාරගෙන් අහලා.

කුමාරත් වටපිට බලලා කිව්වලු මෙ සීන් එක කඩවුණු පොරොන්දුවේ නව නිෂ්පාදනය කරද්දී ගත්තු එකක් කියලා. ඒ මිත්‍රයා මට ඇවිත් ඒ කතාව කිව්වා. දන්න පරිදි කුමාර ඒ චිත්‍රපටයේ රඟපෑවේ නැහැනෙ. අන්තිමේ මමයි අර මිත්‍රයයි හොයා ගත්තා ඒ පින්තූරය මොකක් ද කියලා. ඒක අරගෙන තියෙන්නේ කුමාර කසාද බැඳපු දවසේ විජය ආව වෙලාවේ. කුමාර කඩවුණු පොරොන්දුව කියලා තියෙන්නේ අන්න ඒ පින්තූරෙට.