වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




වඩුගේ කිව්ව අනාවැකිය

වඩුගේ කිව්ව අනාවැකිය

අපට සිටින ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියකු තමයි අර්නස්ට් වඩුගේ කියන්නේ. ඔහු පුවත්පත් හරහා කළ කී දෑ අනන්තයි අප්‍රමාණයි. වඩුගේ විසින් රචිත නවකතා අලෙවි වාර්තා තබමින් විකිනුණා. ඒ ඒවාහි ඇති සුන්දරත්වය නිසයි. ඒවා වගේම ඔහුත් ඉතාම සුන්දර මනුස්සයෙක්. එහෙම කියන්නේ මමත් වඩුගේ මහතාව ඇසුරු කරන නිසා. ඔන්න දවසක් ඔහු ආගිය තොරතුරු කතා කරමින් ඉන්න කොට සුන්දර අතීත සිදුවීමක් මතක් කළා. එය වර්තමානයටත් නෑකමක් දක්වන හින්දම ඔබට දැනගන්නටත් එක්ක මෙහෙම කියන්න හිතුවා.

අනූව දශකයේ අග භාගයේ එවකට ඉතාම ජනප්‍රිය නිළියක් වඩුගේ මහතාට කතා කරලා කිව්වලු බබෙකුට නමක් හදලා දෙන්න කියලා. වඩුගේ මහත්තයත් එහෙම එක සැරයට නම හදලා දීලා නැතුව බබාව බලන්න ඕනෑ කිව්වලු. ඔන්න ඉතින් අර නිළිය බබාව ගෙනල්ල පෙන්නලා. මැණික් කැටයක් වගේ ලස්සන ඒ චූටි පැටියගෙ මුහුණ පොඩිය දැකපු ගමන් වඩුගේට විශේෂයක් දැනුණලු.

'කවදා හරි මේ ළමයා ඔබතුමිය වගේ රංගනයෙන් ඉදිරියටම යනවා' දරුවගේ මවට වඩුගේ මහත්මයා එහෙම කියලා. ඒ හින්දම ඉක්මනින් මිනිසුන්ට මතක හිටින නමක් යොදන්න වඩුගේ තීරණය කළාලු.

නමට අකුර දීලා තියෙන්නේ 'ක' යන්න. නමේ වචන දෙකටම එම අකුර යොදාගෙන වඩුගේ ඒ දරුවට නම තියලා. අද ඒ ළමයා සුරූපී යෞවනියක්. ඒ විතරක් නෙවෙයි, වඩුගේ හිතුවා වගේම ඇය රංගනයටත් එකතු වෙලා. ඇය තමයි කවීශා කාවින්දි. ඩිලානි අබේවර්ධනයි කවීශාගේ මව. කවීශා රංගනයට එකතු වුණා කියලා දැනගත්තු ගමන් වඩුගේ ඇයට සුබපතලා. එහෙම කතා කරන ගමන් අර අතීත කතාවත් මතක් කෙරුවලු.