වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




පටු අදහස් නම් පවුරින් ලෝකය කැබැලිවලට නොබෙදී
ගායන ශිල්පියෙක් හා ශිල්පිනියක් තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය

පටු අදහස් නම් පවුරින් ලෝකය කැබැලිවලට නොබෙදී

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ

බොහෝ කලකට පෙර වූ අතීත සිදුවීම් අපේ මතකයේ තැන්පත් වී ඇත්තේ අපූර්ව අයුරෙනි. ඒවා කෙතරම් අපූර්ව දැයි පවසතොත් යළි යළිත් සිහිපත් වීම සිදු වනුයේ මෙවැනි විශේෂංගයක් සමඟය. එවැනි සැඟ වූ මතක ඔබ හමුවට ගෙනෙන 'මතක ගී පොත' ට මෙවර සිය අතීතය ගෙනහැර පාන්නේ ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහය.

එකල මම දස හැවිරිදි වියේ පසු වූ කුඩා කොළුවෙක් වීමි. අපේ නිවෙසේ වූයේ සංගීතයට ළැදි පරසරයකි. මගේ වැඩිමහල් සොහොයුරියෝ දෙදෙනා බෙහෙවින් සංගීතයට ඇලුම් කළ අය වූහ. ඒ නිසාමදෝ අපේ නිවෙසෙන් නිතර කවි ගී ගයනු ඇසීම අරුමයක් නොවේ. සංගීත පන්තියේදී උගෙන ඔවුන් නිතර ගයන මේ පැදිවලට සවන් යොමු කිරීමට නිතරම මම අමතක නොකළෙමි.

මේ නිසා ඔවුන් තරමටම මට ද ඒ කවි, ගී කට පාඩම් විය. නිවසේ කිසිවෙකු නොසිටි සමහර අවස්ථාවක මගේ මුවඟෙන් ද ඒවා තාලයට ගැයුණු බව මට අද මෙන් මතකය. කොතරම් මේ ගායනාවලට මා පි‍්‍රය කළේ ද යත්, සමහර දිනෙක වැඩිමහල් සොහොයුරියන් සහභාගි වන සංගීත පන්තියට ඔවුන් පසුපස යන්නට ද මම පෙලඹී සිටියෙමි. ඒ දෙසොහොයුරියන් ගයන ගායනාවලට පමණක් නොව අමරදේවයන්ගේ මියුරු ස්වරයට ද මා ආශක්ත වී සිටිය බැවිනි.

අමරදේවයන්ගේ සංගීත පන්තිය පැවැත් වූයේ බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේය. වර්තමානයේ තිබෙන ගොඩනැඟිල්ලට හාත්පසෙන්ම වෙනස් වූ ගොඩනැඟිල්ලේ තිබුණේ අමරදේවයන්ගේ සංගීත පන්තිය පමණක් නොවේ. ආනන්ද සමරකෝන් මහතාගේ ද පන්තියක් ඊට එහා පැත්තේ පැවැත්විණි. සොහොයුරියන් දෙදෙනා සංගීත පන්තියට ගිය පසු ඒ ආසන්නයේ සෙල්ලම් කරමින් සිටින මගේ සිත අමරදේවයන්ගේ ස්වරය සොයා ඇදී යන්නේ ඉබේමය.

ඔහු ගයන රාගයක ස්වරයේ ඇත්තේ අපූරුම ලතාවක් යැයි එවර කුඩා මට සිතෙයි. සෙල්ලම ඉවත දමන මම එක්වරම අමරදේවයන්ගේ පන්තිය සොයා යමි. පන්තියේ පිටුපසට වන මා අමරදේවයන් කියන දෑ නොතේරුණ ද ඒ සියල්ලට සවන් යොමා සිටින්නේ මහත් උවමනාවෙනි. ඒ ඔස්සේ අමරදේවයන්ගේ ස්වරයට මෙන්ම ශෛලියට ද සිතේ ඇති වූ කැමැත්ත පිළිබඳ කියන්නට අද මට වචන නොමැති තරම්ය.

මා උපතින් ගෙන ආ ගායන හැකියාව වර්ධනය වීමට බලපෑම් කළේ ඒ සිදුවීමය. අමරදේවයන්ගෙන් සංගීතය පාඩම් ලෙස උගැන්මට මට නොහැකි වුව ද මගේ ජීවිතය මෙවැනි මඟකට යොමු කිරීමේදී නිර්මාණකරුවෙක් ලෙස මා සතු විය යුතු ව්‍යුත්පත්තිය ආලෝකවත් වීමට ඔහු කළ බලපෑම සුළුපටු නොවන බව මගේ හැඟීමය. මම පළමුව සංගීතය හදාරන ලද්දේ ගායන හා වාදන සංගීත් නිපුන් පී. වී. නන්දසිරි ගුරුතුමාගේ ඇසුෙර්ය.

එනමුදු ඒ වන විටත් අමරදේවයන්ගේ ස්වරය මගේ හද ගැඹුරේ තැන්පත් වී තිබිණි. ඒ නිසාම අමරදේවයන්ගේ බොහෝ ගීතවලට මා ප්‍රිය කළ ද මේ ගීතය මගේ හදවතේ ලියැ වී තිබෙන්නේ නොමැකෙන ලෙසිනි.
 

පටු අදහස් නම් පවුරින් ලෝකය

කැබෙලිවලට නොබැඳී

ඥානය නිවහල් වී

බියෙන් තොරව හිස කෙලින් තබාගෙන

සිටිනට හැකි කොහිදෝ

 

ඒ වු නිදහසේ ස්වර්ග රාජ්‍යයට

මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

සත්‍යය පතුලින් ගලනා

පිරිසිදු වචන කොහිද ඇත්තේ

ගතානුගතිකව පැවතෙන සිරිතේ

 

මරු කතරට වැදිලා

නිර්මල ජලධාරාව තර්කයේ

සිඳී ගිලී නොගියේ

ඒ වු නිදහසේ ස්වර්ග රාජ්‍යයට

 

මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

පසු නොබසින වීරිය පිරිපුන් බව

දෙසට දෑත විදහා

සදා දියුණුවන සිතුවිලි උදෙසා

 

කම් කටයුතු උදෙසා

ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා

ඇත්තේ කොතැනකදෝ

ඒ වු නිදහසේ ස්වර්ග රාජ්‍යයට

මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

 

ගේය පද - මහගමසේකර

සංගීතය - විශාරද ඩබ්ලිව්. ඩී අමරදේව

ගායනය - විශාරද ඩබ්ලිව්. ඩී අමරදේව සහ සුනිල් එදිරිසිංහ

මේ ගීතය පිළිබඳ සිහිපත් කරන විට තවත් අපූරු සිදුවීමක් මගේ මතකය අවදි කරයි. එනම් 'පටු අදහස් නම් පවුරින් ලෝකය' ගීතය පිළිබඳ අතීතයයි. මේ ගීතය අමරදේවයන් පළමුව ගුවන් විදුලියේදී ගායනා කරන ලද්දේ තනිවමය. අද වනතුරුත් තවම අසා නැති මේ ගීතයේ අතීතය මා හා පැවසූයේ අමරදේවයන්මය. කෙසේ නමුදු එකල ඒ ගීතය ගුවන් විදුලියට ගයා කලකට පසුව දිනක් අමරදේවයන් දුරකථනයෙන් මා ඇමතුවේය.

'සුනිල් තව දවස් තුනකින් මගේ සින්දුවක් පටිගත කරනවා. ඒකේ කොටසක් කියන්න ඔයත් එන්න ඕනෑ.'

එලෙස ඔහු කළ ඇරැයුම ඇසූ මම පුදුමයට පත් වීමි. නියමිත දින ශබ්දාගාරයට ගිය මගේ අතට පත් වූයේ මේ ගීතයයි. ඒ වනතුරුත් ගීතය කුමක්දැයි නොදැන සිටි මම මහගමසේකරයන්ගේ පද මාලාව මුල සිට අවසානය දක්වා කියැවීමි. ගීතය පුහුණුවීම් කරන ලද්දේ ගීතය පටිගත කිරීමට පැය කිහිපයකට කලිනි. මේ නිසා කිසිදු පෙර සූදානමක් නොතිබුණු ගීතය අමරදේවයන් සමඟ මා පෙර පුහුණුවීමක යෙදුණේ එවේලේය. එහිදී ගුරු පියෙකු සේ ඔහු මා අසලම රැඳෙමින් මගේ ස්වරයේ වූ අඩුපාඩු කියා දුන්නේ සුහද ආකාරයෙනි. ගීතය ගයා අවසානයේ ඔහු සතුටට පත් වූ අතර අද ඔබ ඇතුළු සැම අසන්නේ දෙවැනි වරට පටිගත කරන ලද ඒ ගීතයයි. කුඩා කල කොළුවකු ලෙස ඔහුගේ ස්වරයට ලොබ බැඳ සිටි මට මෙවැනි අවස්ථාවක් ලැබීම දෛවෝපගත සිදුවීමක් ලෙස හැඟෙයි. මීට වසර පහළොවකට පෙර ගැයූ මේ ගීතය අද ද බොහෝ දෙනා අතර ජනප්‍රිය ගීතයකි.

එවැනි ගීතයක් ගැයීමට මා තෝරා ගැනීමම මගේ ගායන ජීවිතයට සුවිශේෂී විය. මන්ද අමරදේවයන් ගුවන් විදුලියේදී කරන වැඩසටහනකට යමෙකු තෝරා ගන්නා ලද්්දේ ඔහුගේ හෝ ඇයගේ තිබෙන්නා වූ ප්‍රතිභාව සලකා ගෙන බව කවුරුත් දන්නා කාරණයකි. මේ ගීතයට මා තෝරා ගැනීමෙන් ඒ ගොන්නට මා ද ඇතුළත් වීම, අද ද මා අප්‍රමාණ ලෙස සතුටට පත් කරයි. එතුමා සතු වූ නිහතමානී බව, ඔහුටම ආවේණික වූ ගුණ සමුදාය, ඉදිරියට එන්නන්ට අත හිත දීමේ අපූරු ගුණය ආදී මහා පෞරුෂයෙන් යුත් එතුමාගේ ඇසුර මට වඩාත් අත් විඳින්නට ලැබුණේ මේ ගීතයත් සමඟය. ඒ සිදුවීම මගේ හදවතේ අමතක නොවන අයුරෙන් රැඳී ඇතැයි මම කියමි. මේ ගීතයත් සමඟ ඒ සිදුවීම යළි යළිත් මට සිහිපත් වෙයි.

අමරදේවයන් ගයන මේ ගීතයට ද මම බෙහෙවින් ප්‍රිය කරමි.
 

සන්නාලියනේ

සන්නාලියනේ

මේ හිමිදිරි උදයේ

සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී

කාටද ඇඳුම වියන්නේ

මේ පොඩි ඇඳුම වියන්නේ

 

මාල ගිරා තටු සේම රුවින් යුතු

නිල්වන් ඇඳුම වියන්නේ

මාල ගිරා තටු සේම රුවින් යුතු

නිල්වන් ඇඳුම වියන්නේ

ඊයේ ඉපදුණු කුළුඳුල් දූටයි

මේ පොඩි ඇඳුම වියන්නේ

 

සන්නාලියනේ

සන්නාලියනේ

මේ හැන්දෑ යාමේ

හැඩ වැඩ දමලා ලස්සන කරලා

කාටද ඇඳුම වියන්නේ

දිලිහෙන ඇඳුම වියන්නේ

හැන්දෑ අහසේ රන්වන් පාටින්

දිලිසෙන ඇඳුම වියන්නේ

 

හැන්දෑ අහසේ රන්වන් පාටින්

දිලිහෙන ඇඳුම වියන්නේ

ඒ කුළුඳුල් දුව දීගෙක දෙන්නයි

මංගල ඇඳුම වියන්නේ

 

සන්නාලියනේ

සන්නාලියනේ

සීතල සඳ එළියේ

මැලවුණු මූණින් වෙව්ලන දෑතින්

කාට ද සළුව වියන්නේ

සීතල සළුව වියන්නේ

 

කණකොක් තටුවේ සුදුමැලි පාටින්

සීතල සළුව වියන්නේ

කණකොක් තටුවේ සුදුමැලි පාටින්

සීතල සළුව වියන්නේ

මිය ගිය ඇයගේ මිනිය වහන්නයි

සීතල සළුව වියන්නේ

 

ගේය පද - මහගමසේකර

සංගීතය - විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව

ගායනය - විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව

තරුණ කොලු ගැටයෙක් වූ කාල සීමාවේ මම වෑර්ලස් එකට සවන් යොමු කිරීම පුරුද්දක් කරගෙන සිටියෙමි. ගුවන් විදුලියේ ස්්වදේශීය සේවය මඟින් අමරදේවයන්ගේ ගීත රැසක් එකල ප්‍රචාරය විය. සංගීතයට බෙහෙවින් ප්‍රිය වූ පරිසරයක් තිබුණු අපේ නිවෙසේ මා ගීත අසන්නට වෑර්ලස් එක අසලට ළං වන්නේ රාත්‍රී කාලයේය.

පාසල් ගොස් පැමිණීමෙන් පසුව වෙල් ඉපනැල්ලේ ඔට්ටු සෙල්ලම් කරන අප නිවෙසට පැමිණෙන්නේ ගොම්මන් අඳුරත් රැගෙනය. ඇඟේ දහඩිය සීතල ජලයෙන් සේදී ගොස් සිතට සැනසීමක් දැනෙන මොහොතේ මම පාසල් වැඩවල නිරතවීමෙන් අනතුරුව ඉදිරිපස ඇති පුටුවේ හාන්සි වී කෑලි කැපිය හැකි ඝන අඳුර දෙස බලා සිටීමට ප්‍රිය කරමි. නිවෙස ඉදිරිපස ඇති රබර් වත්තේ කෑගසන රැහැයියන්ගේ ස්වරයේත්, ගෙම්බන්ගේ 'බක බක' නාදයේත් අපූරු තාලයක් ගැබ් වී ඇතැයි මට සිතෙයි. ඒ අතරෙන් මට ඇසෙන්නේ වෑර්ලස් එකේ ප්‍රචාරය වන මා කවදත් ශ්‍රවණය කරන ගීත වැඩසටහන ආරම්භ කරන අයුරුය. ඕනෑකමින් මම එහි ප්‍රචාරය වන ගීත දෙසට සවන් යොමු කරමි. එවිට එහි අමරදේවයන් ගයන 'සන්නාලියනේ' ගීතය ප්‍රචාරය වන්නේ හදවත සුවපත් කරමිනි. ඒ ගීතයේ නාද මාලාවත්, ගායනයත් හදවතට ඇති කරන්නේ අපූරු සංහිඳියාවකි. ඒ සංහිඳියාවට මම බෙහෙවින් ප්‍රිය කරමිි.

වැඩිහිටියකු බවට පත් වී සිටින අද ද හාන්සි පුටුවේ වාඩි වී සිටින මේ මොහොතේ සිතට ප්‍රිය කරන මේ ගීතය මම මතකයට නඟමි. වසර ගණනකට කලින් මා ප්‍රිය කළ ගීතයේ තනුවට එහා ගිය අපූරු අර්ථයක් මෙහි ගැබ්ව ඇතැයි මට හැඟෙයි. ඉන් අපූර්ව ජීවිතාවබෝධයක් අපට ලබාදෙන බව හැඟෙයි. ඒ බව මට වඩාත් අර්ථවත් අයුරෙන් පළමු වරට දැනුණේ මුහුකුරා ගිය වයසට පැමිණි පසුවය. ජීවිතයේ ඉපදීමත්, විවාහයත්, මරණයත් ගීතයකට ලඝු කරමින් අපි සැමට දෙන ජීවිතාවබෝධයට අමරදේවයන්ගේ ස්වරය ද එක්වීම ගීතයේ අර්ථය වඩාත් තීව්‍ර කරන්නට සමත් වන බව මගේ හැඟීමයි. ගීතය ගයන මොහොතේ ඒ ඔස්සේ සිතේ ඇතිවන චිත්ත රූප අප ඉදිරිපස සිත්තමකට නැඟෙයි. මානව අධ්‍යාත්මය සුවපත් කළ හැකියි යන ධර්මය කියාපාන මේ ගීතය මහගමසේකරයන් පරිවර්තනයට ලක් කරන්නේ සරෝජිනී නායිදුගේ කවියක් ආශ්‍රයෙනි. එසේ වුව ද මනා අයුරෙන් එය ජීවිතයේ අනිත්‍යතාව කියාපායි. ජීවිතය ගැන කියාපායි. විනාඩි කිහිපයක් ඇතුළත අපට ජීවිතය පිළිබඳ මතක් කිරීමක් කරන මේ ගීතයට මම සැමදා ප්‍රිය කරමි. එනම් මේ ගීතයත් සමඟ ඒ අතීතය මා දෑස ඉදිරිපස විද්‍යමාන වන බැවිනි.