වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




‘තුන් මෝල්ලු’ සරල ප්‍රහසනයක් නොවෙයි

‘තුන් මෝල්ලු’ සරල ප්‍රහසනයක් නොවෙයි

සුසිල් වික්‍රමසිංහ

නාට්‍ය ශිල්පියෙක් මෙන්ම සංවිධායකවරයෙක් ලෙස භූමිකා කිහිපයකම සැරිසරන සුසිල් වික්‍රමසිංහගේ ඉදිරිපත් කිරීමෙන් 'තුන් මෝල්ලු' වේදිකා නාට්‍යයේ මංගල දැක්ම මේ මස 24 වැනිදා පස්වරු 3.30 ට සහ පස්වරු 6.30 ට නාමෙල් - මාලිනී පුංචි තියටර්හි පැවැත් වෙයි. මේ 'තුන් මෝල්ලු' පිළිබඳත්, නාට්‍ය කලාවත් පිළිබඳ සුසිල් වික්‍රමසිංහ සමඟ කළ සාකච්ඡාවකි.

බොහෝ දෙනා ඔබව දන්නේ නාට්‍ය සංවිධායකවරයෙක් වශයෙන්. එහෙත් ඔබ රංගන ශිල්පියෙක් වග දන්න අය බොහොම අඩුයි. අපි එතනින් කතාව ආරම්භ කරමු.

මට වේදිකාව කියන්නේ නුහුරු දෙයක් නොවෙයි. ඒ කියන්නේ මම වේදිකාවට ප්‍රථමයෙන්ම පය තියන්නේ 1979 වසරේ. ඒ මගේ පාසල වුණු දෙණියාය මධ්‍ය මහා විද්‍යාලයේ සිංහල ආචාර්ය අමරදාස රණවක නිර්මාණය කළ 'සෙනෙහස' නාට්‍යයෙන්. නාට්‍ය කලාව පිළිබඳ එතනින් ඇරැඹුණු මගේ ආශාව මාව කොළඹට අරගෙන එනවා. නොයෙක් දුක් වේදනා විඳිමින් ඒ පිපාසාව සංසිඳුවා ගන්න මට හැකි වන්නේ කොළඹදී. එතැනදි අපූරු නිර්මාණකරුවන් රැසකගේ ඇසුර මට ලැබුණා. ටෝනි රණසිංහ, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ෆින්ලන්ත ජාතික හෙලේනා ලෙහ්තිමකී, බෙල්ජියම් ජාතික රූඩි කොරෙන්ස්, ආචාර්ය සලමන් ෆොන්සේකා, පරාක්‍රම නිරිඇල්ල සහ විශේෂයෙන්ම ආචාර්ය ජයලත් මනෝරත්නයන් වැන්නන්ගෙන් ලැබුණු රංග කලා දැනුම මගේ නාට්‍ය ජීවිතය පෝෂණය කළා. ඒ ඔස්සේ ලැබූ අත්දැකීම් මා ශක්තිමත් නිර්මාණකරුවෙකු කළා. නාට්‍ය කලාවේ නොයෙක් අංශ කෙරේ යොමු වීමට මට ඉඩහසර පෑදුවා. ප්‍රධාන පෙළේ සංවිධායකවරයෙක් දක්වා පැමිණි ගමනේදී ඒ සියලු අංශ සාර්ථක ලෙස පසු කරගෙන පැමිණීමට මට හැකි වුණේ ඒ විද්වතුන්ගේ ඇසුර බව මා අද පවසන්නේ බොහොම සතුටෙන්.

'තුන් මෝල්ලු' නිර්මාණය වෙන්නේ වර්තමානයේ තිබෙන ප්‍රහසනාත්මක තේමා රැගෙනද?

මේ වේදිකා නාට්‍යය ප්‍රහසන ගණයට ඇතුළත් වුණත් එය නිකම්ම නිකම් ප්‍රහසනයක් නොවෙයි. දේශපාලන ප්‍රහසනයක්. මෙහිදී විකල්ප තරුණ පුවත්පත් කලාවේදීන් දෙදෙනෙක් අතරට පැමිණෙන කාන්තාවක් සමඟ ඇති කර ගන්නා සබඳතාව ඔස්සේ මුහුණ දෙන අර්බුද රැසක් විවිධ අංශ මඟින් නිර්මාණයට හසු කර ගැනීමට බුද්ධික සමත් වී තිබෙනවා. පත්තරයක් කියන්නේ සමාජයේ වවිධ කරුණු කාරණ ගැන කතාබහට ලක් කරන මාධ්‍යයක්. බුද්ධිකගේ ස්වීය රචනයක් වුණු මේ 'තුන් මෝල්ලු' සරල ප්‍රහසනයක් නොවන වගත් අවධාරණයෙන් කිව යුතුයි.

වර්තමානයේ ප්‍රහසන නාට්‍ය රැගෙන එන නාට්‍ය රැල්ලෙන් 'තුන් මෝල්ලු' වෙනස් වෙන්නේ කොහොමද?

ඕනෑම නර්මාණයක් මඟින් සිදු විය යුත්තේ එය නරඹන ප්‍රේක්ෂකයාට රස වින්දනයක් ලබාදීම වගේම ආනන්දයෙන් ඔවුන්ව ප්‍රඥාව කරා ගමන් කරවීමයි. ඒ ඔස්සේ සමාජ. ආර්ථික දේශපාලන ආදී විවිධ කාරණා පිළිබඳ සමාජය දැනුවත් කිරීමයි. රස වින්දනයට අමතරව නිර්මාණයක යටි පෙළෙන් ඔවුන්ට එවැනි අර්ථයක් ලැබිය යුතුයි. නමුත් අද තිබෙන බොහෝ වේදිකා නාට්‍යය නිර්මාණය වී තිබෙන්නේ රස වින්දනය කියන කාරණය පමණක් මූලික කරගෙනයි. ඒ වගේම පවතින ආර්ථික උවමනා මුදුන්පත් කර ගැනීමට කරන නිර්මාණයි අප අද දකින්නේ. ඒ සඳහා යොදා ගන්නා චරිත වුණත් කුමන හෝ මාධ්‍යයක ජනප්‍රිය චරිතවීමත් විශේෂ වෙලා. එතැනින් වෙනස් වුණු නිර්මාණයක් තමයි අපි ප්‍රේක්ෂකයා වෙත රැගෙන එන්නේ. ගැඹුරු යටි පෙළක් තිබෙන, නමුත් සරල ලෙස පෙනෙන්නට තිබෙන නිර්මාණයක් තමයි අප ඔවුන් වෙත පුදන්නේ. අනෙක් කාරණය වෙන්නේ රස විඳින්නට වගේම යමක් හිතන්නට පොළඹවන නිර්මාණයක් තමයි අපි වේදිකවට නඟන්නේ. මෙහි රඟපාන්නට තේරා ගත් නළු නළියන් වුණේ මහේන්ද්‍ර වීරරත්න, අයේෂා දිසානායක, රජිත හේවාතන්ත්‍රි කියන රංගන ශිල්පීන්. ඔවුන් වේදිකාව මත යමක් කරන අයයි. යමක් කළ හැකි අයයි. ඔවුන් බොහෝ ජනපි‍්‍රයත්වයක් හිමිකර නොගත්තත් තම කාර්ය නියම අයුරෙන් වටහාගෙන තිබෙන නිසා නාට්‍යයට උපරිම සාධාරණය ඉටු කරාවිය යන මතයේ මා සිටිනවා. මේ අතරට මා මේ නිර්මාණයේ නිෂ්පාදක අනුග්‍රාහකත්වය ලබාදෙන අජන්ත ජයසිංහවත් සිහිපත් කළ යුතුයි.

ඇයි ඔබ බුද්ධික වගේ අධ්‍යක්ෂවරයෙක්ගේ නිර්මාණයක් ඉදිරිපත් කරන්න තෝරා ගත්තේ?

මේ වන විට බුද්ධික දමයන්ත වේදකා නාට්‍ය දහ අටක් නිර්මාණය කළ අධ්‍යක්ෂවරයෙක්. මට ඔහු මේ නාට්‍ය පිටපත ගැන මුලින්ම කිව්වට පස්සේ මම ඒක ඉල්ලගෙන කියෙව්වා. එතනදි මා වටහා ගත්තේ මේ නිර්මාණය සමාජය අතරට රැගෙන යන්න පුළුවන් අපූරු නිර්මාණයක් කියලයි. එය නාට්‍ය ගුණාංගයන්ගෙන් පොහොසත් පිටපතක් බව මට වැටහුණා. ඊට පස්සෙයි මෙය කලඑළි දැක්විය යුතුයි කියලා මම තීරණය කළේ. ඒ වගේම ලංකාවේ ඉන්න විශිෂ්ට වේදිකා නාට්‍ය නිර්මාණකරුවන්ගෙන් කෙනෙක් ලෙසයි මම බුද්ධිකව දකින්නේ.

ඔහු මීට පෙර නිර්මාණය කළේ ප්‍රේක්ෂකයන්ට ලොකු මෙහෙවරක් කළ හැකි නාට්‍යයයි. ඒවා අරුත්බර නිර්මාණශීලි නාට්‍ය වුවත් ඒ එකම නාට්‍යයක්වත් මේ රටේ බහුතරයක් ප්‍රේක්ෂකයන්ට නැරැඹීමට නොලැබුණු අවස්ථා තිබුණා. ඒ ඔහුගේ වරදින් නොවන බව මා විශ්වාස කරනවා. බුද්ධික දමයන්ත වැනි නිර්මාණකරුවන්ගේ වටිනාකම වේදිකා නාට්‍ය කලාව හසුරුවන කිසිවෙක් තේරුම් ගත්තේ නැහැ. ඒක ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. අද බොළඳ නාට්‍ය ප්‍රවණාතාවලට වේදකාව තෝතැන්නක් වී තිබෙන්නේ මේ කරුණු කාරණා හේතු කර ගනිමින්. මා මේ ගන්න උත්සාහය සාර්ථක වුණොත් හෙට දවසේ වේදිකා නාට්‍ය කලාවට අලුත් මාවතක් උදාවේවි කියලත් විශ්වාස කරනවා. ඒ නිසා 'තුන් මෝල්ලු' නරඹන්න එන්න කියලා මම ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා.

වර්තමානයේ සිටින වේදිකා නාට්‍ය සංවිධායකවරුන් කිහිපදෙනා සම්බන්ධව බොහෝ චෝදනා එල්ල වෙනවා. ඒ චෝදනා ඔබටත් පොදු කාරණයක්?

පැහැදිලිවම ඒ චෝදනා කොටස් දෙකකින් සමන්විතයි. එකක් නාට්‍ය කණ්ඩායම පැත්තෙන්. සංවිධායකවරයෙක් ඔවුන් වෙනුවෙන් විශාල වගකීමක් දැරිය යුතු වෙනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමත් ඒ අතරෙන් විශේෂයි. එය වඩාත්ම මතු වන්නේ දුෂ්කර පළාත්වල රංගන කටයුතුවලට සහභාගිවීමේදියි. මේ ප්‍රශ්නය ඉතිහාසයේදී ඉඳලා තිබෙන ප්‍රශ්නයක්. ඒ නිසා සංවිධායකවරු බොහෝ වෙලාවට අසරණ වන අවස්ථාත් බොහොමයි. ඒ සියලු කටයුතු මඟහැර ගැනීමට නම් රජයේ අනුග්‍රහය ලැබිය යුතු වුණත් වේදිකාවට ලැබෙන අනුග්‍රහය පවතින්නේ හොඳ මට්ටමක නොවෙයි. අද මේ කලාව ශිල්පීන් අතළොස්සකගේ උවමනා හා හැකියාව මත පවතින කලාවක් බවට පත් වෙලා.

 ඒ වගේම ප්‍රධාන සංවිධායකවරුන්ගේ අරමුණුවල වෙනස්කම් තිබුණත් ඔවුන් නිසයි අද ලංකාවේ නාට්‍ය කලාවක් තිබෙන බව හැඟෙන්නේ. ඒ නිසා මොන වගේ චෝදනා අපට ලැබුණත්, නාට්‍ය කලාව ව්‍යාප්ත වීමට ලැබෙන අනුග්‍රහය බොහොම අඩු මට්ටමකයි තිබෙන්නේ. එවැනි තත්ත්වයකයි අප මේ නිර්මාණ කටයුතු ඉදිරියට රැගෙන යන්නේ. එහිදි නිර්මාණාත්මක යමක් අප සමාජයට දිය යුතුයි. හොඳ නිර්මාණ සමාජයට පැමිණෙනවා වගේම සමාජයත් ඒ නිර්මාණවලින් යමක් උකහා ගෙන දියුණුව කරා ගමන් කළ යුතුයි. එවටයි නාට්‍ය කලාව දියුණු වන්නේ. එහෙම වන බවක් අද අපට පෙනෙන්නට නැහැ.

එතනදි සංවිධායකවරුන්ටත් විශේෂ වගකීමක් පැවරෙනවා?

අනිවාර්යයෙන්ම. සංවිධායකවරයෙක් විදියට මම තෝරා බේරාගෙන නාට්‍ය සංවිධානය කරන්නේ ඒ නිසයි. මගේ ළඟ තිබෙන එකම නාට්‍යයක්වත් ඔය කියන හුදු ප්‍රහසන නැහැ. ජයලත් මනෝරත්නයන්ගේ සෑම නාට්‍යයක් වගේම රෝහණ දන්දෙණියගේ 'රාස්ස සහ පරාස්ස', චාමික හත්ලහවත්තගේ 'මකරට', උදයසිරි වික්‍රමසිංහගේ 'සුද්දෙක් ඔබ අමතයි' වැනි නාට්‍ය කිහිපයයි මම සංවිධානය කරන්නේ.