වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




සල්ලි දීලා ගවුම මැහුවේ ඇඳගෙන යන්න

සල්ලි දීලා ගවුම මැහුවේ ඇඳගෙන යන්න

ඒත් කැතයි හොඳේ

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ නරකම ඇඳුම්

තරු පිරිවරා ගත් ගොල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල පසුගිය සතියේ කැලිෆෝනියාවේදී පැවැත්වුණා. එය චිත්‍රපට ඇගයෙන සම්මාන උළෙළක් වගේම රතු පලස මත දිවෙන මෝස්තර නිරූපණ අවස්ථාවක් ලෙසත් විශේෂ වෙනවා. මෙවර සම්මාන උළෙලට හොලිවුඩයේ ජනප්‍රිය තරු අතර කේට් හඩ්සන්, ඇලිසන් විලියම්ස්, කේට් බ්ලන්ෂේ, සුප්‍රකට සිනමා නළු ජෝර්ජ් ක්ලුනිගේ භාර්යාව වන ලෝක ප්‍රකට නීතිඥවරියක වන අමාල් ක්ලුනි වැනි අය ඉතාමත් සුන්දර ලෙසින් සැරසී පැමිණ තිබුණා. ඒ වගේම හැමෝගෙම අවධානයත් මේ අය වෙත යොමු වෙලා තිබුණා.

ඒ වුණත් සමහර තරුවලට නම් ඒ ආකර්ශනය දිනා ගන්න හැකි වුණේ නැහැ. උරහිස් නිරාවරණය වී ඇති ඇඳුම් වගේම ආභරණ සහිත ඇඳුම්වලින් ද සැරසී සිටි අය අතරේ අවධානමක් ගන්න අකමැති තරු බොහොම ආරක්ෂිත ආකාරයෙන් සැරසී සම්මාන රාත්‍රියට පැමිණ තිබුණා.

අමෙරිකානු ගායිකා ලානා ඩෙල් රේ පැමිණ තිබුණේ ලා කොළ පැහැති දිග ගවුමකින් සැරසී ගෙනය. එල්විස් ප්‍රෙස්ලිගේ පෙර බිරිඳ ප්‍රෙසිලා ප්‍රෙස්ලි බොහෝ විට පාවිච්චි කළේ මෙවැනි මෝස්තරලින් යුතු ගවුම්. 72 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලට ප්‍රෙසිලා වගේ පැමිණි ලානා විචාරකයන් හඳුන්වා දුන්නේ හැත්තෑව දශකයෙ දිය කිිඳුරියක් ලෙසිනුයි. ලානා මේ දිනවල උතුම් වූ මව් පදවිය බලාපොරොත්තුවෙනුයි සිටින්නේ. ඒ නිසාම ශරීරය ආවරණය වන ආකාරයෙන් ඇඳුම් පැළඳුම් භාවිත කරන්න ඇය පරෙස්සම් වෙලා. සොසියා මමේට් උරහිස නිරාවරණය වන ආකාරයේ ඇඳුමකින් එදින සැරසී තිබුණා. බොහෝ දෙනාගේ අදහස වුණේ ඇය ඇත්තටම ලේයර් කේක් එකක් වගේ කියලයි. ‘අනුරුවකට නම් එය ලස්සනට තියේවි. ඒත් ඒ ගවුම ඇයට ගැළපෙන්නේ නැහැ’ බොහෝ දෙනා පවසා තිබුණා. තවත් ජනප්‍රිය නිළි දෙපොළක් වූ ජෙසිකා ඇල්බා සහ ඔලිවියා පැලෙරේමෝ හට ඇඳුම් නිර්මාණය කළ නිර්මාණ ශිල්පියා විසින්ම සොසියාගේ ඇඳුම නිර්මාණය කර තිබුණත් එය ඇයට අපූරුවට ගැළපුණේ නම් නැහැ.

ටීනා ෆේ ගේ ඇඳුම හරියට ඒප්‍රනයක් වගේ කියලා බොහෝ දෙනා කිව්වේ. ‘ඇත්තටම ඇය වගේ කෙනෙකුට ඒ ගවුම ගැළපෙන්නේ නැහැ.’ ගොල්ඩන් ග්ලෝබ් රතු පලස මතදී ඇය දුටු අය සඳහන් කළා. ඒ වුණත් ඇය පැළඳි පාවහන් යුගල නම් ඉතා අනර්ඝ බව හැමෝම පවසා සිටියා. රතු පලසේ මෝස්තර මවන්නියන් අතරේ මීළඟට කතාබහට ලක් වුණේ මෙලිසා මැකාර්ති. ඇත්තටම ඇය අල්මාරියෙන් එළියට ගත් ඇඳුම් දෙකක් එකට එක් කර මේ ඇඳුම සකසන්න ඇති බව විචාරකයන් සඳහන් කළා. ‘මේ ඇඳුම ටිකක් අමුතුයි. ඒත් මං මේ ඇඳුමට කැමැතියි’. මෙලිසා සඳහන් කළා. හතළිස් හතර හැවිරිදි ඇය මෙවර සම්මාන උළෙලට පැමිණ සිටියේ සැමියා බෙන් ෆැල්කෝනි සමඟිනුයි. ‘නඩු තීන්දුවක් දැනගන්න උසාවියකට ගිහින් වගෙයි’ තවත් සමහරු මෙලිසාගේ ඇඳුම් මෝස්තරයට සිය අදහස් පළ කළා.

අමෙන්ඩා පීට් මෙම රන් සම්මාන උළෙලට පැමිණියේ පවුඩර් නිල් පැහැති සැහැල්ලු ඇඳුමකින් සැරසීගෙනයි. කෙට්ටු ශරීරයකින් යුතු වූ අමෙන්ඩාටත් ඒ ගවුම නම් ගැළපුණේ නැති බව බොහෝ දෙනා ප්‍රකාශ කළා. කේරි වොෂින්ටන් මේරි කට්රන්සු වර්ගයේ ගවුමකින් සැරසී පැමිණ සිටියා. ජෙනිෆර් ඇනිස්ටන් අනූව දශකයේ බටහිර දෙවැනි මනාළියක ලෙසින් සැරසෙද්දී ජෙම්මා කීර්කේ කිමෝනාවක හැඩැති ගවුමක් තෝරාගෙන තිබුණා. තවත් සමහර තරු ලස්සන ඇඳුම් තෝරා ගත්ත ද හැඩ වැඩි කරන්නට ගොස් ඒවායේ පෙනුම අඩු වෙලා. ලෝරා ප්‍රොපෝන්ගේ කොණ්ඩා මෝස්තරය ඇය ඇඳි කළු පැහැ ගවුමට ගැළපුණේ නැහැ. කේට් මාරා ඇඳි රතු ගවුමේ හැඩය ඇය පැළඳි බඳපටය නිසා නැති වී ගොස් තිබුණා. රතු පලස මත මෙවැනි මෝස්තර දුටු විචාරකයෝ පැවසූයේ දිදුලන තරු ලෙසින් ඔවුනට තම ඇඳුම් නිර්මාණ ගැන මීට වඩා හිතන්නට තිබූ බවයි. ඒ වුණත් තරු නිසාම මේ මෝස්තරත් අනාගතයේදී ජනප්‍රිය වෙන්නත් බැරි නැහැ.

ලානා ඩෙල්රේ

ජෙසිකාඇල්බා

අමෙන්ඩා පීට්

ජෙමීමා

කේට් මාරා

කොරිවොෂින්ටන්

සොසියා මමේට්

ටීනාෆේ

මෙලිසා මැකාති

ජෙනිෆර්ඇනිස්ටන්