වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




ඉරෙන් ගෙනා බෝනික්කා සඳෙන් ගෙනා බෝනික්කා තිරයට එක්වුණ

ඉරෙන් ගෙනා බෝනික්කා සඳෙන් ගෙනා බෝනික්කා

තිරයට එක්වුණ අලුත් චිත්‍රපටයේ කතාව

හිරු කිරණ වැලිතලය සිප ගැනීම නිසා ඇති වූ රශ්මිය අවට පරිසරය වෙලාගෙන ඇති සැටියෙකි. ඒ රශ්මිය වරින් වර අහස් ගැබ සිප ගැනීමට මෙන් ඉහළට එසැවෙන සයුරේ රැළි අතරට වැදී දිලෙයි. යළිත් වෙරළ සොයා පැමිණෙන ඒ රළ පෙළ ඉතා සන්සුන්ව ආපසු ගමනක යෙදෙයි. මේ රැළි අතර සැඟව මුහුද පත්ල සෙයා ඇදෙන තරුණයෙකි. ගල්පර අතර සිය වාසස්ථානය ඉදි කර ගත් මාළු රැළ අතරෙන් ඔහු පිහිනා යන්නේ සීරුවෙනි. විවිධ වර්ගයේ සොඳුරු කුඩා මත්ස්‍යයෝ ඔහු පසුකර දිව යන්නේ සැඟවෙන්නට තැනක් සොයමින් බව පෙනෙයි. දිගු වේලාවක් එහි ගත කළ මේ තරුණයා වෙරළට ඇදී ආවේ සෙමිනි. වෙරළට පා තබනවාත් සමඟම ඔහු ඉදිරිපස සිටියේ සුන්දර යුවතියකි. තම අත ඇති බෝනික්කා මේ සොඳුරු යුවතිය අත තබන තරුණයා ඈ හා වෙරළ පසුකර ඇවිද යන්නේ ගොඩබිම වෙතය.

කුඩා දූපතක සිරිය ගත් මේ පැරඩයිස් දූපත විවෘතව තිබුණේ ධනවතුන්ටය. ඔවුහු විනෝදය සඳහා මෙහි පැමිණියහ. ඒ සමහරුන් සිය පෙම්වතියන් සමඟිනි. තවෙකෙකු පැමිණියේ බිරිය සමඟිනි. අයෙකු අනියම් බිරිය සමඟ ද මෙහි පැමිණියේ විනෝදාස්වාදය උපරිමයෙන් ලබනු පිණිසය.

ඔවුන් සියල්ලන්ගේම ගණයට අයත් නොවූ බණ්ඩාර බලදේව එදින පැරඩයිස් දූපතට පැමිණියේ හදිසියේමය. සුපුරුදු ලෙස ඔහු අසල සිටින මැරයන් කිහිප දෙනා එදින ද සිටියේ ඔහු අසලමය. ඔවුන් දුටු යමෙකුට වටහා ගන්නට බොහෝ දේ තිබිණ. ඒ ඔහු පාතාල නායකයෙකු බවය. ඔවුන්ගේ නෙත් යොමුව තිබුණේ සයුර දෙසටය. එහි උස්, පහත් වන රළ අතරෙන් දිව ආවේ නාන ඇඳුමෙන් සැරැසුණු මිනිසෙකි. ඔහු අත තිබුණේ කිමිඳුම් ඇඳුම් කට්ටලයේ පලඳනා වූ අත් වැසුම්ය.

'මම හොඳටම මුහුදේ පතුල බලලයි මේ ආවේ'

ඔහු කියාපෑවේ බණ්ඩාරටය.

'එහෙම වෙන්න විදියක් නැහැ. මම එදා බෝනික්කාව හංගලා ආවේ ගල්පර දෙකක් අතරම තමයි. නැති වෙන්න විදියක් නැහැ'

කල්පනාවක ගැලී උන් ඔහු පැවසුවේ ස්ථිරසාර හඬකිනි.

'එහෙම නම් තවත් කවුරු හරි පිහිනුම්කාරයෙක් මෙහේ ඉන්නවා'

බණ්ඩාරගේ එක් ගෝලයෙක් හෙළි කළේ වැදගත් යමකි.

'කවුද ඒ කෙනා?'

සිය ගෝලයා පැවසූ කාරණයට බණ්ඩාර ප්‍රතිරාවය කළේ සෙමෙන් වුවද අනෙකුත් අයටත් එය ඇසිණි.

'කවුද කියලා හොයමු බොස්'

අත්වැල් බැඳගත් යුවළක් මුහුද වෙරළේ සක්මන් කරයි. කඩවසම් රුවකට හිමිකම් කී ඒ තරුණයා විවාහක අයෙකි. ඔහුට ආලවන්තකම් පාමින් අසලම රැඳි යුවතිය මරීනාය. පැරඩයිස් දූපතේ පෙම් සුව විඳිමින් සිටින මරීනා රාජිතගේ බිරිය ද යන්නට නම් සැකයකි. ඒ තරමටම අපූරුවට කැපෙන යුවළක බව ඔවුන් දකින ඕනෑම අයෙක්ට සිතෙයි. දෙදෙනාගේ සොඳුරු කතාබහ අතර දෙදෙනා ළං වූයේ වෙරළේ නවතා තිබෙන දිරා ගිය ඔරු කඳකටය.

හිරු අස්ථාන ගතවීමට ආසන්නය. බටහිර අහසේ ගිනි බෝලයක පැහැගත් හිරු දිලෙන්නේ ඔවුන් දෙස බලා යැයි රාජිතට හිතෙයි. සන්ධ්‍යා වලා රශ්මියේ රන්වන් පැහැය මරීනාගේ උවන මත සටහන්ව අපූරු රටා මවන්නේ යැයි ඔහුට විවිධ වූ කවි සිතුවිලි පහළ වෙයි. ඔහු සිය ප්‍රේමණීයව තමා දෙසට හරවා ගත්තේය. එකෙනෙහිම පිටට තට්ටුවක් දැමු වගක් දැනුණු බැවින් රාජිත ආපසු හැරුණේ කවුරුන්දැයි සොයා බලන අටියෙනි.

'තමුසෙ ද රාජිත කියන්නේ?'

එතැන සිටි කිහිප දෙනාගෙන් එකෙක් විමසුවේය. ඔහු ඒ ප්‍රශ්නයට පිළිතුරු නුදුන්න ද එහි සිටි පිරිස රාජිතව ඒ වන විටත් හඳුනාගෙන තිබිණි.

'එනවා යන්න අපේ බොස් ගාවට. බොස්ට ඔහෙත් එක්ක කතාවක් තියෙනවලු'

නොපැමිණෙන්නේ නම් උස්සාගෙන යන්නට වුව ද සූදානම් අයුරෙන් ඔහු පැවසූ වගක් රාජිතට හැඟෙයි.

'මට ඔය කාත් එක්කවත් කතාවක් නෑ'

රාජිත කිව්වේ පෙම්වතියගේ නෙත් අතර ඔහුගේ නෙත් රඳවමිනි.

'ඒවා කොහෙද එනවා යන්න?'

යළිත් රාජිතගේ උරයට අතක් තිබූ මැරයා දෙස බැලූ රාජිත ඔහු වෙතට හෙළු පහර වැළැක් වූයේ දක්ෂ සටන්කරුවෙක් ලෙසිනි.

නිමේෂයකින් එතැන යුද පිටියක් මෙනි. රාජිත අතහැරිය මැරයන් කිහිප දෙනෙකු මරීනා පිටුපස දුව ගියේ ඈ අල්ලා ගන්නටය. ඔහු මැරයන් කිහිප දෙනෙකු හා සටන් වැදී ඔවුන් පලවා හැරියේය.

ඊළඟට කුමක් කළ යුතුද? යන්නට රාජිතට වූයේ ගැටලුවකි. තවදුරටත් මේ දූපතේ ඔහුට සිටිය නොහැකිය. සිදු වූ සියල්ලට තටු ලැබුණා සේ පියඹා ගොස් වෙනස් කරමින් ප්‍රවෘත්ති පළ වන අයුරු ඔහුට මැවී පෙනුණේ ඉබේමය. කුමක් කළ යුතුද? ඔහු දස අතේ කල්පනා කළේය. මරීනා බිම වැටී සිටි අන්දම ඔහු මෙනෙහි කළේ දැඩි සිත් තැවුලෙනි.

'මට නම් බේරිල්ලක් ලැබෙන එකක් නැහැ. අර ගත්තු පින්තූර නිසා' රාජිතගේ සිතට පිවිසියේ මරීනා අසල ඇයට අනින ලද පිහිය අතැතිව සිටි ඔහුව ඡායාරූපයට නඟන ලද ඡායාරූප ශිල්පියායි. කවුරු හෝ ඒ සියල්ල තිතට සැලසුම් කර තිබිණි.

සිතුවිලි අනන්තයක සිර වී සිටි රාජිතට කුමක් වේද? ඔහු සමඟ සිටි මරීනාට කුමක් වීද? රාජිත පොලිසියට කොටු වේවිද? මෙවැනි ගැටලු රාශියකට පිළිතුර මේ දවස්වල තිරගත වන 'බෝනික්කා' චිත්‍රපටයෙන් ඔබට හිමි වෙයි. ලුවී වැන්ඩස්ට්‍රාට්න්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන බෝනික්කා රිට්ස් ප්‍රමුඛ ලියෝ ඇතුළු එම්. පී. අයි. සිනමාහල් දාසයක තිරගත වෙයි.