වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




වලාකුළු අතරින් ශ්‍රී පාදය දකිද්දී මගේ නෙතට කඳුළු නැඟුණා

වලාකුළු අතරින් ශ්‍රී පාදය දකිද්දී මගේ නෙතට කඳුළු නැඟුණා

පුදුම හත අද වෙන් වුණේ පරිසර සුන්දරත්වය වෙනුවෙන්. අපත් සමඟ ඒ සුන්දරත්වය ගැන කතා කරන්න සරසවියට පැමිණියේ නව පරපුරේ සිනමාවේදියෙක්. මාධ්‍ය ක්ෂේත්‍රයෙන් සිය වෘත්තිය ගමන ආරම්භ කළ ඔහු “දැහැන, විමුක්ති, අරුමෝසම්” වැහි වැනි චිත්‍රපට සිනමාවට දායාද කළා.

දැන්වීම්කරණයේද විශේෂිත තැනක් හිමි ඔහු පි‍්‍රයන්ත කොළඹගේ.

වසර දාහතරකට පසු ‘ආදරණීය කතාවක්’ සිනමාවට ගෙන ඒමට සූදානම් වන පි‍්‍රයන්ත පුදුම හතට පැවසූයේ තම කලා ජීවිතය තුළ රූගත කිරීම්වලදී හමුවූ සුන්දරතම ස්ථාන හතක් පිළිබඳවයි.

කුකුල් ඔය

මහනුවර දිගන පාර පසුකර ගියවිට හමුවන කුකුල් ඔය ප්‍රදේශය අපේ රටේ මා දුටු සුන්දරම ස්ථාන අතුරින් එකක්. කඳු යායකින් වට වූ මෙම ප්‍රදේශය තරමක් පහළ ස්ථානයක්.

හෙල්මළු ක්‍රමයට සැකසූ වෙල් යාය, සුදු පැහැති මීදුමෙන් වට වූ නිල් පැහැති කඳු වළල්ල, නිරන්තරයෙන් පතිත වන තුෂාරය මේ ප්‍රදේශයට ගෙන එන්නේ අපූරු වූ චමත්කාරයක්.

ඒ සුන්දරත්වය සැබැවින් දකිනා කෙනෙකු තවත් වරක් මෙතැනට නොඑන්නේ නම් ඒක බොරුවක්.

මෙහි වූ ස්වාභාවික සුන්දරත්වය නිසා මගේ නිර්මාණ බොහොමයකට පසුබිම සකසන්න මා එය තෝරා ගත්තා. පළමුවෙන් ඒ සඳහා අවස්ථාව සකසා ගත්තේ විමුක්ති චිත්‍රපටය යි.

එහි සබීතා සහ සනත්ගේ ගම් පළාත ලෙස මෙහි රූගත කිරීම් රැසක් සිදු කළේ මේ අපූරුතම සුන්දරත්වය විඳිමින්. ඊට අමතරව තවත් වෙළෙඳ දැන්වීම් කිහිපයක් සඳහාත් මම මේ සුන්දර පරිසරය යොදා ගෙන නිර්මාණය කළා. කොන්ක්‍රීට් වනාන්තරවල දින තුන්සිය හැටපහම ගත කරන කාර්යබහුල මිනිසුන්ගේ සිත්වල වෙහෙස නිවාලන්න මෙවැනි පරිසරයක් කදිම වූ දිව්‍ය ඖෂධයක්.

රිවර්ස්ටන්

රිවර්ස්ටන් අද බොහෝ දෙනා හොඳින්ම හඳුනන ප්‍රදේශයක් බවට පත් වෙලා. දුම්බර කඳුවැටිය හෙවත් නකල්ස් කඳු වැටියෙන් වට වූ මෙම සුන්දර ප්‍රදේශය අපේ රටේ ජෛව විවිධත්වයන් රැසක්ම දැකබලා ගන්න ලැබෙන ස්ථානයක්.

මීදුමෙන් වට වූ කඳු වළල්ලත්, ප්‍රපාතයත්, පහළ මිටියාවතත්, කඳු වළල්ල අතරින් හමන සුළඟත්, හරිත පැහැ ගහ කොළත් නිරන්තරයෙන් ඇද හැළෙන හීන් පොද වැස්සත්, නිස්කලංක පරිසරයත් කලාකරුවකු ලද නිධානයක් වගේ.

මටත් ඒ සුන්දරත්වයේ මිහිර ඔබත් සමග බෙදා ගන්න අවස්ථාව මුලින්ම ලැබුනේ මීට වසර දහයකට පමණ පෙරදීයි. ඒ හද්‍රජී මහින්දගේ බට්ටිත්තා ඩීවීඩී එක වෙනුවෙනුයි.

මෙරට ප්‍රථම රූප රචනා සහිත ඩීවීඩී එක වුණෙත් එයයි. සුන්දර පරිසරය වගේම ඒ රූගත කිරීම් වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන්නත් අපට එහිදී සිදු වුණා.

අධික සුළං වගේම හීන් පොද වැස්ස අපට පුංචි පුංචි බාධාවන් එල්ල කළත් සාර්ථකව සුන්දර නිර්මාණයක් එළිදක්වන්න අපට එදා හැකි වුණා. මට නම් රිවර්ස්ටන් කියන්නේ පුදුම ස්ථානයක්.

බෙලිහුල්ඔය

බළන්ගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයත් මගේ කලා ජීවිතය තුළ මට රූගත කිරීම් සඳහා හමුවූ සුන්දර ස්ථාන අතුරින් එකක්. සුන්දර කඳු වගේම සීතල ජල දහරා මේ ප්‍රදේශයට ගෙන එන්නේ අපූරු වූ චමත්කාරයක්. මගේ නවතම සිනමා නිර්මාණය ‘ආදරණීය කතාවක්’ සඳහා පසුබිම් වන්නේද මෙම සොඳුරු පරිසරය යි.

කරල් පැසුණු වෙල් යාය, නිල් පැහැති අහස් තලය එහි වූ ගැමි සිරියාව ඇස ගැටුණු මුල් අවස්ථාවේදී මම බොහෝ වේලාවක් තුෂ්ණිම්භූතව ඒ දෙස බලා සිටියා. වෙල් යාය සමඟින් සමාන්තරව දිවෙන පාර මට ගෙන දුන්නේ අපූරු දර්ශනයක්.

දෙපාරක් හිතුවේ නැතුවම ආදරණීය කතාවක් චිත්‍රපටය වෙනුවෙන් මේ පරිසරය යොදා ගන්න මම තීරණය කළා. මීට පෙර 1960 වර්ෂයේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සන්දේශය චිත්‍රපටය රූගත කිරීම සඳහාත් මේ ප්‍රදේශය යොදා ගෙන තිබුණා. බෙලිහුල්ඔය ඉහළගලගම නම් වූ ගමේදී ආදරණීය කතාවක් චමත්කාරජනක ලෙසින් රූගැන් වුණා.

නාච්චාදූව වැව

මගේ අරුමෝසම් වැහි චිත්‍රපටය සඳහා පසුබිම සැකසූයේ ඓතිහාසික අනුරාධපුරයේ පිහිටි නාච්චාදූව වැව ආශි‍්‍රත ප්‍රදේශය යි. එහි මට විශේෂ වැව් තාවුල්ලයි.

එහි සොරොව්ව ළඟ පිහිටි ගඩොලින් නිම කළ පාලම චිත්‍රපටයට වගේම තවත් වෙළෙඳ දැන්වීම් නිර්මාණ රැසකටම පසුබිම සැකසූයේ එය සතු වූ සුන්දරත්වය නිසාමයි.

නාච්චාදූව වැව ඉස්මත්තේ සිට ඉර බැස යන දර්ශනය නරඹන්න පින් කරලා තියෙන්න ඕනි. ඒක ඒ තරමටම ලස්සනයි. එක දිනක හවස වැව් තාවුල්ලේ වාඩි වුණු මම ආයෙමත් නැගිට්ටේ පහුවැනිදා හිමිදිරියේ. දවසක් ගෙවිලා දවසක් උදා වෙනවා දැණුනේ නැහැ. ඒතරමට පරිසරයේ සුන්දරත්වයට මම වශී වෙලා හිටියේ.

ආචාර්ය තිස්ස අබේසේකරයන් ද මේ සුන්දරත්වය සැබැවින් දුටු තවත් එක් කලාකරුවෙක්. අපි අරුමෝසම් වැහි විත්‍රපටය රූගත කිරීම් කරමින් සිටි එක් දිනක දී ඔහු එය නරඹන්න පැමිණියේ පැය කිහිපයක් ගතකර යළිත් කොළඹ යාමේ අරමුණ ඇතිවයි. ඒ වුණත් ඔහුත් මේ සුන්දරත්වයට මොන තරම් වශී වුණාද කියනවා නම් තවත් දවසක් එහි ගත කරලයි පිටත් වී ගියේ.

බූන්දල

හම්බන්තොට බූන්දල වනෝද්‍යානය කෙළවර පිහිටි සුන්දර වෙරළ තීරයත් අපේ රටේ නිතර දකින්නට නොලැබෙන පරිසර සුන්දරත්වයක් මවන ස්ථානයක්. එක් පසෙකින් වූ බූන්දල රක්ෂිතයත් අනෙක් පසින් වූ මුහුදු තීරයත් මවන්නේ වෙනස්ම වූ චමත්කාරයක්.

ඉතාම කුඩා ශාඛවලින් යුතු වූ මේ පරිසරය දෙස බලන විට අපේ රටමද කියලත් හිතෙනවා. අළු පැහැති හීන් වැල්ල තැනින් තැන වූ කුඩා වැලි කඳු ගෙන එන්නේ කාන්තාරයක සිරියක්.

ලංකාවේම කෙනෙකුට වුවත් කලාතුරකින් දකින්නට ලැබෙන මේ ස්ථානය මටත් රූගත කිරීම් සඳහා යොදා ගන්න අවස්ථාව ලැබුණා. ඒ චිත්‍රාල් සෝමපාලගේ නදී ගංගා තරණයේ ගීතය රූගත කිරීම් වෙනුවෙන්. ලංකාව වටාම මුහුදු වෙරළ තිබුණත් මේ සුන්දරත්වය එතැනටම සුවිශේෂ වූ අපූරු සුන්දරත්වයක්.

සීගිරිය

ප්‍රෞඩ ඉතිහාසයකට නෑකම් කියන අපේ සිංහල දේශයේ පාරම්පරික උරුමයක් ලෙසින් ලෝක ප්‍රසිද්ධ වූ සීගිරියත් මා දුටු සුන්දරතම දර්ශනතල අතුරින් එකක්.

අපේ රටට අනන්‍යවූ ඓතිහාසික සලකුණක් ලෙසින් සුවිශේෂ වූ සීගිරිය පර්වතය දෙස කුමන කෝණයකින් බැලුවත් දකින්නට ලැබෙන්නේ විවිධ වූ සුන්දරත්වයක්.

ලෝක ප්‍රසිද්ධ වූ පුදුමයක් ලෙසද ප්‍රකට වන සීගිරියේ අපූරුතම සුන්දරත්වය මා දුටුවේ ගුවනේ සිට කළ රූ ගැන්වීමකදීයි. එහි සිට කිලෝමීටර් පහක් හයක් යන තෙක්ම ඒ සුන්දරත්වය අත් විඳින්නට හැකියි. එක් දිනක වැහිබර කාලගුණ තත්ත්වයකදී හෙලිකොප්ටරක සිට රූගත කළ එම දර්ශනය මගේ කලා ජීවිතයේ අමතක නොවන සිදුවීමක්.

රූගත කිරීම් කරමින් සිටියදී වැස්ස සමඟ එක්වරම පැමිණි මීදුමකින් සීගිරිය වැසී ගියා. එම තත්ත්වය තුරන් වෙන තෙක් අපට උඩු ගුවනේ රැඳී සිටින්නට සිදු වුණා. පසුව කෙමෙන් කෙමෙන් යළිත් සීගිරි බලකොටුව මතු වන විටදී එහි චමත්කාරය මගේ කැමරාවේ අපූරු ලෙසින් සටහන් වුණා.

ශ්‍රී පාදය

වලාකුළු අතරින් ශ්‍රී පාදය බලා ගොස් එහිදි දුටු දර්ශනයත් මගේ ජීවිතයේ මා දුටු සුන්දරම දසුන් අතරට එක් වෙනවා. එක් පසෙකින් සප්ත කන්‍යා කඳු වැටියත්.

අනෙක් පසින් ලෝකාන්තය පෙනෙන අයුරුත් ලොවම මවිත කරවන දසුනක්. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පනස් වැනි සංවත්සරය වෙනුවෙන් එය උඩුගුවනේ සිට මම රූගත කළා.

අපේ රටේ වුණත් හැමෝටම දකින්නට නොලැබෙන මේ දසුන රූගත කරන්නට මට අවස්ථාව ලැබීම මා ලද භාග්‍යයක්. වලාකුළු අතරින් ශ්‍රී පාදයේ සුන්දරත්වය දකිනවිටම මටත් නොදැනීම මගේ ඇස් දෙකට කඳුළු නැගුණා.

ලංකාවේ තෙවැනි ස්ථානයට උසම කඳු මුදුන වූ ශ්‍රී පාදය බෞද්්ධ බැතිමතුන්ගේ මෙන්ම හින්දු, ඉස්ලාම් බැතිමතුන්ගේත් වන්දනාවට පාත්‍ර වූ පුදබිමක්. එහි පරිසර සුන්දරත්වයත් ඔවුන් විඳින්නේ අප්‍රමාණ වූ භක්තියකින්. එහි සිට නරඹන්න ලැබෙන ඉර සේවයත් සුන්දරතම දසුන් අතරින් එකක්.