වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




ග්‍රැහැම්බෙල් හා ලුමියර් එකතු කරමු

ග්‍රැහැම්බෙල් හා ලුමියර් එකතු කරමු

ශ්‍රී ලාංකේය චිත්‍රපට කර්මාන්තයෙහි ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස සැලකෙන ජාතික චිත්‍රපට සංස්ථාවට ඊයේට එනම් ජනවාරි 21 වැනිදාට හරියටම අවුරුදු හතළිස් තුන සැපිරිණ. එය ආරම්භ කරන ලද්දේ 1972 වසරේ ජනවාරි 21 වැනිදාය. මුල්ම සිංහල කතානාද චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුව තිරගත කොට වසර විසි පහක් සපිරුණේ එදිනය. ඒ අනුව මුල්ම සිංහල කතානාද චිත්‍රපටය මෙන්ම චිත්‍රපට සංස්ථාවේ ද උපන් දිනය සැමරෙන්නේ එකම දිනකය. එබැවින් අමුතුවෙන් සාද දෙකක් පැවැත් විය යුතු නැත. 1972 වසරේදී චිත්‍රපට කර්මාන්තය අරඹයා සංස්ථාවක් පිහිටු වන්නේ ජාතික නමින් නොව රාජ්‍ය නමින්ය. එය ද ඕපපාතික බිහිවීමක් නොවේ. 1963 වසරේදී මෙරට රජය මඟින් පත් කරන ලද මුල්ම චිත්‍රපට කොමිසම වූ 'ජෝතියසේන වික්‍රමසිංහ' කමිටු වාර්තාවේ නිර්දේශ පරිදි චිත්‍රපට සංස්ථාව පිහිටුවනු ලැබීමට වසර නවයක් ගත විය. ඒ වන තෙක් මෙරට සිනමා කර්මාන්තය පැවතියේ සීමාසහිත සිලෝන් තියටර්ස්, සීමාසහිත සිනමාස් හා සීමාසහිත සිලෝන් එන්ටර්ටේන්ට්මන්ට් යන සමාගම් ත්‍රිත්වයෙහි පාලනයට යටත්වය.

මේ අතරින් වඩාත් ක්‍රියාත්මක වූයේ මුල් සමාගම් දෙකය. චිත්‍රපට නිෂ්පාදනයෙහි, ප්‍රදර්ශනයෙහි, බෙදා හැරීමෙහි මෙන්ම ආනයනයෙහි ද ආධිපත්‍ය පැවතුණේ ඔවුන් යටතේය. එබැවින් මේ කත්‍යාධිකාරයට එරෙහිව ස්වාධීන නිෂ්පාදකවරුන් ද නළු නිළියන් ද කාර්මික ශිල්පීන් ද බොහෝ දෙනෙකු එක පෙරමුණකට එක් වූහ. චිත්‍රපට කර්මාන්තය රාජ්‍ය ඒකාධිකාරයට නතු කිරීමට එරෙහිව වෙඩි මුරයක් පත්තු කළේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා පමණකි. මිය යන තෙක්ම ගාමිණී ෆොන්සේකා සිය මතය වෙනස් කළේ නැත. එබැවින් ඩොමී ජයවර්ධන, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, එල්. එම්. පෙරේරා, ජී. ඩී. එල්. පෙරේරා, ස්ටැන්ලි පෙරේරා, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න ආදී බෙහෝ දෙනෙක් චිත්‍රපට සංස්ථාවක් බිහි විය යුතු යැයි තර්ක කළහ.

එදා සංස්ථාවක් පිහිටුවීමට වෙහෙස වී වැඩ කළ අය අතරින් අද ද ජීවත්ව සිටිනුයේ රෝයි ද සිල්වා හා සුමනා අමරසිංහ පමණි. බහුතර සිනමා ශිල්පීන්ගේ මතයට ගරු කළ එවකට අග්‍රාමාත්‍ය ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් රාජ්‍ය චිත්‍රපට සංස්ථාවක් පිහිටුවනු ලැබුවාය. පරිපාලකයෙකු මෙන්ම සිනමා කර්මාන්තය පිළිබඳ පුළුල් අවබෝධයක් තිබූ ඩී. බී. නිහාල්සිංහයන්ට සංස්ථා ඉතිහාසයේ ස්වර්ණමය යුගය බිහි කරන්නට පුළුවන් විය. ඒ සඳහා වඩාත්ම බලපෑවේ ඔහුගේ අයෝමය පාලනයයි. චිත්‍රපට සංස්ථාව පිහිට වූ යුගය සහ වර්තමානය යනු අහසට පොළොව මෙන් වෙනස් වූ කාලයකි. කලකට ඉහත දී සමාගම් විසින් ද පසුව සංස්ථාව විසින් ද පාලනය කරන ලද එහි යතුර වර්තමානයේ ඇත්තේ ප්‍රේක්ෂකයා අතය.

එමෙන්ම චිත්‍රපට සංස්ථාව යනු රෝහලක්, පොදු ප්‍රවාහන සේවාවක් වැනි නිතර දෙවේලේ සාමාන්‍ය මහජනයා යන එන තැනක් නොවේ. එසේ වුව ද අදටත් චිත්‍රපට සංස්ථාවේ බලධාරීන් කවුදැයි යන්න පිළිබඳව මහජනතාවගේ ඇත්තේ දැඩි විමසිල්ලකි. එයට හේතු වී ඇත්තේ චිත්‍රපට ගැන තඹ දොයිතුවක හෝ උනන්දුවක් නැත්තෙකු පවා එහි ඇති තරු ගුණය ගැනත් ඒ වටා ඇති ඕපාදූප ගැනත් විමසීමට ඇති ආසාවයි. චිත්‍රපට සංස්ථාව බිහිවුණ යුගයේ සිනමා රසිකයන් එය දුටුවාට වඩා වර්තමාන පරම්පරාව එය දකින ආකාරය වෙනස්ය. පසුගිය වකවානුවේ චිත්‍රපට සංස්ථාව කවර විපර්යාසයකට ලක් වුව ද සිනමාව නූතන ලෝකයේ අත්විඳින ස්ථානය කවරෙක්දැයි නිශ්චිත ලෙස අවබෝධ කර ගැනීමට අසමත්ව ඇත. මෙම ලිපි මාලාවෙහි මා වරින් වර පෙන්වා දෙනු ලබන්නේ ලාංකේය චිත්‍රපට කර්මාන්තය නිරපරාදේ අපතේ හරින මුදල අති විශාල බවය. එදා සිනමා හලකට පමණක් සීමා වී තිබූ චිත්‍රපටය වර්තමානයේදී අහෝසි වී ඇත. කොටින්ම කිවහොත් ලෝක ප්‍රවණතාව අනුව නම් චිත්‍රපට යන වචනය පවා යල්පැන ගිය එකකි.

එහෙත් එයට ඇති ආදරය නිසාම අපි එයට චිත්‍රපටය යැයි තවමත් පවසමු. එදා යුගයේ චිත්‍රපටයේ සම්පූර්ණ වැය ශීර්ෂය උපයා ගත්තේ සිනමාහලෙන් පමණි. එමෙන්ම සිනමාවේ සියලු බලතල පැවරුණේ ද අදාළ බලධාරීන්ට පමණි. එහෙත් අද වෙළෙඳපොළ පුළුල්ව ඇත්තේය. ලංකාවේ හැර ලෝකයේ හැම රටකම මේ අලුත් වෙළෙඳපොළ යහමින් අවබෝධ කරගෙන ඇත. කලකට ඉහත කොළඹ රාජකාරියට පැමිණෙන්නෙකු ආපසු යන්නට දුම්රිය නැතහොත් බස් රිය පැමිණෙන තුරු කල්මැරීම සඳහා තෝරා ගත්තේ සිනමාහලය. එහෙත් අද සිනමාහලකට ගොඩ වනවාට වඩා අතරමඟ කොහේ හෝ පැත්තක වාඩි වී චිත්‍රපටයක් නැරඹීමේ අවස්ථාව ඔහු සතුව ඇත්තේය. මගතොට යන එන විට එදිනෙදා බස් රථයක හෝ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවාවක තමන්ගේ පාඩුවේ පැත්තකට වී හෑන්ඩ් ෆෝන් එක හරහා චිත්‍රපට පමණක් නොව කලින්දා මඟ හැරුණු ටෙලි නාට්‍ය පවා නරඹන සංඛ්‍යාව කොතරම්දැයි නිකමටවත් ඔබ සිතුවාදැයි මා දන්නේ නැත. මෙම සයිබර් අවකාශය තුළ ලෝකය පුරා එක මොහොතක සැරිසරන සිනමා කෘති කොපමණක් දැයි අපට යම්තම්වත් සිතෙන්නේ නැත.

මේ සියල්ල මුදල්ය. චිත්‍රපට සංස්ථාව පිහිටුවීමෙන් පසු හා එයට පෙර ද චිත්‍රපට නිෂ්පාදකයන් ද ශිල්පීන් ද, නළු නිළියන් ද එකිනෙකා මත යැපෙමින් කෙසේ හෝ ආරක්ෂා වීම සඳහා විවිධ ක්‍රියා මාර්ග ගත්හ. කර්මාන්තයෙහි අර්බුදයක් ඇති වූ කළ ආයෝජකයෝ බහුතරය වෙනත් ආදායම් මාර්ග සොයා ගියහ. එහෙත් සෙස්සෝ එහිම නියැලුණහ. ඔවුන් කිසිවෙකු හෝ ප්‍රේක්ෂකයන් ගැන සිතුවේ නැත. තමා හදන චිත්‍රපටය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බව නිෂ්පාදකයෝ සිතූහ. තමාගේ සිනමාහලට නොපැමිණ ප්‍රේක්ෂකයා කුමක් කරන්නද දැයි සිනමාහල් හිමියෝ තර්ක කළහ. වර්තමානයේ ප්‍රේක්ෂකයා නම් තිත්තයාට ද වාරයක් පැමිණ ඇත. සිනමාව සොයා ප්‍රේක්ෂකයා යන යුගය නිමා කොට ප්‍රේක්ෂකයා සොයා සිනමාව එන යුගය ළඟා වූයේ කිසිවෙකුත් නොසිතූ පරිද්දෙනි. පසුගිය වසරේ අග භාගයේදී මම පෞද්ගලික සමීක්ෂණයක් කළෙමි. තම තමන්ගේ රුචි අරුචිකම් පිළිබඳ තොරතුරු පිළිබඳ ප්‍රශ්නාවලියක් ඇතුළත් සමරු පොතක් ඔස්සේ කැමැතිම චිත්‍රපටය, කැමැතිම ගායකයා, කැමැතිම ගායිකාව, කැමැතිම නළුවා, කැමැතිම නිළිය, කැමැතිම ගීතය ආදී වූ කරුණු ගණනාවක් වයස දහතුන දාහතරේ කාණ්ඩයන්ගෙන් යුත් පිරිසකගෙන් මම සෙයාබැලීමි. ඒ සියල්ලම සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්නා කොළඹ පාසල්වල සිටින මැද පාන්තික දරුවන්ය.

මේ වයස වූ කලී ජීවිතයේ අලුත් වීරයන් සොයා යන වයසයි. එමෙන්ම ඔවුන් සිනමාව පමණක් නොව වර්තමාන පරිගණක මෙවලම් පිළිබඳ අතිශය උනන්දු සහගතය. මගේ සමීක්ෂණයේ ප්‍රතිඵලය මා විශ්වාස කළ කරුණුමය. ඔවුන් කිසිවකු හෝ තමන්ගේ කැමතිම චිත්‍රපටයට කිසිම සිංහල චිත්‍රපටයක් ඇතුළත් කර තිබුණේ නැත. ඔවුන් ලෝකයේ අතිශය ජනප්‍රිය නවීන චිත්‍රපට තෝරාගෙන තිබිණ. අපේ නළු නිළියන් තෝරාගෙන තිබුණේ ද නැත. ඉඳහිට එකෙකු දෙන්නෙකු පමණක් නව පරපුරේ ගායක ගායිකාවක් නම් කොට තිබුණි. බහුතරය කිසිදාක සිනමාහලකට ගොඩ වී නැත. එහෙත් ඔවුන් හොඳම සිනමාලෝලීන්ය. ඔවුන් පුදනු ලබන වීරයන් එම වයස් කාණ්ඩයේදී අප විසින් පුදනු ලැබූ වීරයන් නොවේ. මෙයට වසර තිස් ගණනකට පෙර මෙම ප්‍රශ්න පෙළ මගෙන් විමසුවා නම් චිත්‍රපටය කොයි හැටි වෙතත් අනෙක් ප්‍රශ්නවලදී දෙන පිළිතුර වූයේ ගාමිණී, මාලිනී, විජය, ජෝති වැනි පිළිතුරුය. එදත් අදත් පිළිතුරු අතර සමාන වූ එකම පිළිතුර අකැමැතිම දවස පිළිබඳවය. එනම් මවුපියන්, ගුරුවරුන් හමුවන දවසය.

මීළඟට එළඹෙන පරම්පරාව ලෝකය දකින්නේ අප ජීවත් වන ලෝකයට වඩා පුළුල් පාරාසයකය. සයිබර් අවකාශය සිනමාව නැමැති මාධ්‍යයෙහි විශාලතම වෙළෙදපොළ ලෙස තීරණය කරන්නට පසුගිය වකවානුවේදී හෝ චිත්‍රපට බලධාරීන්ට හැකි වූයේ නැත. කොළඹ නගරයේ ඇතැම් හොඳ සිනමා ශාලා පවා චිත්‍රපට පෙන්වනවාට වඩා කැඳ විකුණා ගැනීමට යොදා ගත්තා නම් ඊට වඩා වර්තමානයේ ආදායමක් උපයා ගත හැක. වසර හතළිස් තුනක් වනවිට චිත්‍රපට සංස්ථාව විසින් අවබෝධ කරගත යුතු කාරණය නම් නූතන පරම්පරවේ සිනමා සංස්කෘතියයි. ඇලෙක්සැන්ඩර් ග්‍රහැම්බෙල් දුරකථනය සොයා ගත්තේ කතා කරන්නට පමණි. ලූමියර් සහෝදරවරු චලන චිත්‍රය සොයා ගන්නේ අඳුරු රූප ශාලාවක පෙන්වන්නටය. ලුමියර් සොයා ගත් චලන චිත්‍රය ග්‍රැහැම්බෙල්ගේ දුරකථනයකින් නරඹනු ඇතැයි ඔවුන් දෙදෙනාම එදා සිතුවේ නැත. කොටින්ම මාකෝනි ගුවන් විදුලිය සොයා ගැනීමේදීවත් ජෝන් ලෝගි බෙයාඩි ටෙලිවිෂනය සොයා ගැනීමේදීවත් මේ සියල්ලම එකක් වනු ඇතැයි සිතා සිටියේ නැත. 1972 දී චිත්‍රපට සංස්ථා පනත ගෙන ඒමේ දී එය දේශීය කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා යැයි පවසමින් එහි සභාපතිවරයා වෙත දැඩි බලතල ලබා දුන්නේය.

එහෙත් ඒ වන විටත් ලංකාවේ නැතත් ලෝකය පුරා ටෙලි විෂනය නමින් යන්ත්‍රයක් ක්‍රියාත්මක වන වගත් එය කවදාක හෝ දවසක මෙරටට පැමිණෙනු ඇතැයි යන සිතුවිලි මාත්‍රයක්වත් එහි ඇතුළත්ව තිබුණේ නෑ. එය හරහා ආරක්‍ෂා වුණේ එවකට පැවැති සිනමාවමය. එයින් පසු ලෝකය වෙනස් වන විට සිනමාව ද වෙනස් විය යුතු යැයි විශ්වාස කළ, සිනමා සංස්කෘතිය යනු කෙස් පැලෙන තර්ක සහිත සම්මන්ත්‍රණ නොවේ යැයි ඇදහූ බලධාරියකු පසුව සිටියා නම් ඒ සිටියේ තිස්ස අබේසේකරයන් පමණි. වඩා දියුණු සිනමාශාලා මෙන්ම අලුත් පරපුරේ සිනමාකරුවෝ කිහිපදෙනෙක් ගෙන එන්නට තිස්ස අබේසේකරයන්ගේ ව්‍යායාමය නිසා හැකි විය. එහෙත් එයින් පසුව යළිත් චිත්‍රපට සංස්ථාව හදන චිත්‍රපට බෙදා හැරීම පමණක් සිය ප්‍රධාන රාජකාරිය කොට ගත්තේය. එහි යාවත්කාලීන වීම හෝ ඊළඟ නූතන වෙළඳපොළ හෝ එහි අවධානයට යොමු වූයේ නැත. සිනමා ශාලා නැතිනම් අන්තර් ජාලය පුරා චිත්‍රපට පෙන්විය හැකි යැයි ඔවුන් දැන සිටියේ නැත. පසුගිය වසරේ කොළඹ පැවැති ජාත්‍යන්තර සිනමා උළෙල සමඟ නිසි ආකාරයෙන් සම්බන්ධ වූයේ නම් චිත්‍රපට සංස්ථාව හරහා දේශීය චිත්‍රපට කර්මාන්තයට අලුත් ඉසව්වක් සොයා ගැනීමට හැකිව තිබුණි.

අවම වශයෙන් චිත්‍රපට කර්මාන්තයෙහි බලධාරියා හැටියට චිත්‍රපට සංස්ථාව යනු අනාගත පරම්පරාවට විසල් මාවතක් සකස් කළ යුතු ආයතනයකි. ලංකාවේ පවතින සිනමාශාලා ඉක්මණින් ඩිජිටල්කරණය විය යුතුය. එය එසේ විය යුත්තේ චිත්‍රපට පිටපත් පිරිවැය අඩුකරන්නටවත් සිනමාහල යාවත්කාලීන කළා යැයි කියන්නට හෝ නොවේ. මුදල් ගෙවා චිත්‍රපට නරඹන ප්‍රේක්‍ෂකයාට, වඩා සුපැහැදිලි රූප පද්ධතියක් ගෙන ආ යුතු බැවිනි. වඩා හොඳ ප්‍රක්ෂේපණයක් දිය හැක්කේ 2ම් හෝ 4ම් යනුවෙන් ඔවුන් තර්ක කරද්දී 5ම් ටෙලිවිෂනයද ලෝක වෙළෙඳපොළට අවතීර්ණ වූ වග පසුගිය වසරේ සනාථ විය. ඉඳින් එහෙත් අප තවමත් බ්ලූ රේ ග්‍රැමෆෝන් යන්ත්‍රවල දමා ක්‍රියාත්මක කිරීමට සැරසේ. අප මේ ටික පවසන්නේ චිත්‍රපට සංස්ථාව සමඟ අමනාපයක් නිසා නොව එයට අපේ ඇති ළැදියාව නිසාමය. එය වඩා දියුණු සහ යාවත්කාලීන වන ආයතනයක් වනු දැක්ම අපේ කැමැත්තයි. එබැවින් දේශීය චිත්‍රපට කර්මාන්තය වෙනුවෙන් චිත්‍රපට සංස්ථාවට සුබ උපන් දිනයක් වේවායි අපි පතමු.