වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




මං පුංචි වෙළෙන්දා

මං පුංචි වෙළෙන්දා

වේදිකාවක් අසල පුංචි වෙළෙන්දා එහෙමත් නැතිනම් රුවන් ශ්‍රීලාල් කැරකි කැරකි ඉන්නවා. පුංචි කිව්වට එයා දැන් ලොකු ළමයෙක්. ඉස්සර පුංචියට පුංචියේ හිටිය ඔහු මයික්‍රෆෝනය අතට අරගෙන විස්කම්පාමින් පුංචි වෙළෙන්දා සිංදුව ගායනා කළ හැටි අදටත් අපිට මතකයි. ඒකනේ ඔහුට අපි අදටත් පුංචි වෙළෙන්දා කියන්නේ.

ඉතින් රුවන් මෙහෙම ඉන්න කොට සමහර අය ඔහුත් එක්ක බොහොම සුහදශීලීව හිනා වෙවී යනවා. ඔවුන්ගෙන් ඇතැම් කෙනෙකු පොඩ්ඩක් ඉදිරියට ගිහිල්ලා රුවන් දිහා බලාගෙන කල්පනා කරනවා.

මිනිස්සුන්ට මාව මතකයි. ඒත් කවුද කියලා හරියටම නිච්චියක් නැහැ.

රුවන් ළඟ හිටපු අයකුට කිව්වා.

ඩොක්ටර් (රුවන් දැන් වෛද්‍යවරයකු හින්දා සමහර මිත්‍රයින් ඔහුට අමතන්නේ එහෙමයි) අද සිංදු කියනවද?

ඒක තමයි බැලුවේ. ආරාධනා කළොත් කියනවා. ගොඩක් දෙනා මගේ රූපෙන් අඳුනන්නේ නැහැනේ. අද නම් මං සිංදු කියන්න නෙවෙයි මේ උත්සවයට සහභාගී වෙන්නයි ආවේ.

පුංචි වෙළෙන්දා නිහතමානීව කිව්වා.

කොහොම හරි උත්සව සභාවට ආරාධනා කළ රුවන්ගේ යාළුවා රුවන්ව ස්ටේජ් එකට කැඳවාගෙන ගියේ බලෙන් වගේ. රුවනුත් සිංදු කියන්න පටන් ගත්තා. මෙන්න බොලේ උත්සව සභාවේ හිටපු ඔක්කෝම වගේ දැන් රුවන්ව වට කරගෙන. ඔහුට ස්ටේජ් එකෙන් බහින්නෙම දෙන්නේ නැතිලු. අන්තිමේ ප්‍රමාද වෙනවා කියලා රුවන් සිංදු කියන එක නවත්තලා.