වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




දැනට රෞද්‍ර චරිත රඟපෑවත් ඉදිරියේදී හොඳ චරිත රඟපානවා

දැනට රෞද්‍ර චරිත රඟපෑවත් ඉදිරියේදී හොඳ චරිත රඟපානවා

ගල්ගමුවේ රොහාන් රාජපක්ෂ

සිනමාවේ තරුවක වෙන්න සිහින මවන බොහෝ දෙනා ඒ සිහිනය සැබෑ කර ගන්නේ දුෂ්කර ගමනකිනි. එවැනි අපහසු දුෂ්කර ගමනක් ආපු මේ ආධුනික නළුවාගේ කතාව ගැන අප ඔබට කියන්නේ ඒ කතාව ඒ තරම්ම ආදර්ශවත් නිසයි. රොහාන් රාජපක්ෂ ගල්ගමුවේ මහ තෝරවැව උපන් තරුණයෙක්. රඟපෑමට තිබූ ආසාව නිසාම ඔහු අගනුවරට එන්නේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයෙන්.

රොහාන් තම සැබෑ වූ ජීවිත අත්දැකීම් ‘සරසවිය’ට හෙළි කළේ මහත් ආඩම්බරයෙන්.

‘මට පුංචි කාලේ පටන් රඟපෑම ගැන හීනයක් තිබුණා. නමුත් දුප්පත් අපට ඒ අවස්ථාව කවදා ලැබෙයි ද කියලා හිතන්න බැරි තරම්. මම පාසල් අධ්‍යාපනය අවසන් කරලා වඩු වැඩ කරන්න පටන් ගත්තේ ඒ තිබුණු සියලුම බලාපොරොත්තු අතහැරලා. එහෙම ඉන්න කොට තමයි ‘සිරස සුපස්ටාර්’ පටන් ගත්තේ. මම රඟපෑමට මගක් හොයාන්න ඕනෑ නිසා ඒකට අයැදුම් කළා. තරඟ වට දෙකකට ගියා. නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ. මට කාලයක් යද්දී සද්ධාසූරිය මංගල බණ්ඩාර මහත්තයාගේ පාඨමාලාවක් හැදෑරීමට ලිපියක් ලැබුණේ ඒ වැඩසටහනට ගිය නිසයි. එම පාඨමාලවේදී නාට්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් හඳුනා ගන්න හැකි වුණා.

මම මුලින්ම රඟපෑ නාට්‍ය තමයි ‘ජේසු ක්‍රිස්තු යුග පෙරළිය’. ඉන් පසුව ‘පාරාවලලු’ නාට්‍යය. මේ නාට්‍ය දෙකේ රඟපෑම සාර්ථක නිසාම ටෙලි නාට්‍ය කිහිපයක රඟපාන්න ලැබුණා. කළු අරලිය, ස්නේහා, දස්කොන්ගේ චරිතය මට ලැබුණා. ඒ වගේම ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටයේත් අවස්ථාවක් උදා වුණා. තවත් මම රඟපෑ නාට්‍ය කිහිපයක්ම ඉදිරියේදී තිරගතවීමට නියමිතයි. කැළුම් පාලිත මහීරත්නගේ දේවිය සුගලා නාට්‍ය ඉදිරියේදී තිරගතවීමට නියමිත ජනප්‍රිය නාට්‍යයක්. මේ සෑම නාට්‍යයකම මට ලැබුණේ රෞද්‍ර චරිත. රාජ සෙබළුන්ගේ චරිත, සොරුන්ගේ චරිත තමයි වැඩිපුරම රඟපෑවේ. නමුත් ඉදිරියේදී මට හොඳ චරිතයක් ලැබෙයි කියලා හිතනවා.

රංගන දිවියේ දිගු ගමනක් යන්නට පෙරුම් පුරන රොහාන් රාජපක්ෂට සරසවියේ උණුසුම් සුබපැතුම් පිරිනමන අතර පාඨක ඔබටත් ඔහුට සුබපැතිය හැකියි. ඔහුගේ ලිපිනය,

රොහාන් රාජපක්ෂ, 10/4, මූකලංගමුව, සීදූව. දුරකතන අංකය – 077-2097410


සම්මාන රැසකින් පිදුම් ලබයි

ආනන්ද එස් විජේසිංහ ගේ ‘දෙව්ලොව යනකං’, ‘පුරවර සහෝදරී’, අහසින් යන උන්’ යන වේදිකා නාට්‍යවල රංගන දායකත්වය සපයමින් චමින්ද කුමාර පසුගිය දා ශ්‍රී ලංකා අභිමානී දේශ කීර්ති දේශ බන්දු කළා භූෂණ, ජ්‍යෝතිර් විද්‍යා විශාරද ගුප්ත විද්‍යා විශ්ව ශක්ති කීර්ති ගෞරව උපහාර සම්මානයෙන් පිදුම් ලැබීය.