වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




රටට දැයට හිත ඇති මිනිසෙක්, අපේ කමට පණ දුන් මිනිසෙක්...

රටට දැයට හිත ඇති මිනිසෙක්, අපේ කමට පණ දුන් මිනිසෙක්...

ජනපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට ජයපතා කලාකරුවෝ පෙළගැසෙති

මේ සුදුසුකම් තියෙන්නේ වෙන කාටද?

අජිත් ලොකුගේ

අපි තෝරා ගන්න හදන්නේ රටක ජනාධිපතිවරයෙක්. නැතිව පළාත් සභා හෝ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නෙවෙයි. ඉතින් ඔහු ජාතික තලයේ දේශපාලනඥයෙක් වෙන්න ඕනෑ.

සියලු ජාතීින්ගේ විශ්වාසය දිනා ගත් නායකයෙක් වෙන්න ඕනෑ. ජාත්‍යන්තරය වෙත යා හැකි නායකයෙක් වෙන්න ඕනෑ. ඒ වගේම ඔහුට හොඳ ආකර්ෂණයක්, එඩිතරකමක්, පෞරුෂයක්, ඉවසීමක්, දුරදක්නා නුවණක් තියෙන්න ඕනෑ.

මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා සිටින අපේක්ෂකයන් දහනව දෙනා අතරෙන් අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැර කාටද ඔය සුදුසුකම් තියෙන්නේ? අපේ දරුවන් වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන් රටක් තියෙන්න ඕනෑ. ජනපතිතුමන් පසුගිය දස වසර තුළ අපට, අපේ කියා රටක් උරුම කර දෙන්න දිවි හිමියෙන් කැප වූ නායකයෙක්.

අපි පිටරටවල ගිහින් තියෙනවා. කවදාද මේ වගේ රටක් අපට උරුම වෙන්නේ කියලා අපි හීල්ලුවා. අද ඒ සිහිනය සැබෑවක් බවට පත් වෙමින් තිබෙනවා.

ෆේස්බුක්, වෙබ් අඩවි හරහා බොරු පුවත් මැව්වට ගම්වල ඉන්න මිනිසුන්ගේ ආකර්ෂණය තියෙන්නේ ජනාධිපතිතුමන්ට. ජනවාරි 08 වැනිදා ඡන්ද පොළට යන්න කලින් ඔබ ඔබේ දරුවාගේ මුහුණ බලා ඡන්දය දාන්න යන්න. ඒ මුහුණේ නිවැරදි තීන්දුව සටහන් වී තිබේවි. සුබ අනාගතයක්.

එතුමා අපට ආඩම්බරයක්

විශ්ව කොඩිකාර

අතිගරු ජනාධිපතිතුමා ගැන අපට ආඩම්බරයි. කුරිරු යුද්ධය නිමා කළේ එතුමා කොන්ද පණ තියෙන නායකයකු හින්දා.

එතුමා විදෙස් බලපෑම්වලට යට වුණේ නෑ.

කලාකරුවන් වෙනුවෙන් එතුමා ගොඩක් දේවල් කරලා තියෙනවා. ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මේ පිං බිම ඔහු අපට දිනවලා දීලා තියෙනවා.

මම පොඩි කලාකරුවෙක් හැටියට ප්‍රාර්ථනා කරනවා මේ 08 වැනිදා ජනපතිවරණයෙන් එතුමන්ට විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන්න කියලා.

ජයග්‍රහණය නියතයි

නාලන් මෙන්ඩිස්

2005 වසරේ ඉඳන් අපි එතුමා එක්ක හිටියා. මේ වතාවෙත් අපි එතුමා සමඟයි. මෙය අතිශය තීරණාත්මක මැතිවරණයක්. ඒ ජයග්‍රහණය පිළිබඳ නෙවෙයි. කිසිදා එක් කළ නොහැකි අශුද්ධ සන්ධානයක් එකට එකතු වී රට විනාශ මුඛයට ගෙන යන වැඩ පිළිවෙලක් දියත් වෙලා තියෙනවා. ඒත් ජයග්‍රහණය නියතයි.

නිවැරදි තීන්දුවක් ගත යුතු මොහොතක්

සරත් දික්කුඹුර

අතිගරු ජනාධිපතිතුමා 2005 දී බලය ඉල්ලුවේ තිස් වසරක සාපලත් යුද්ධය ඉවර කරන්න. එතුමා ඒක කළා. 2010 දී නැවත ජනතාව අතරට ඇවිත් අවුරුදු තිහක් පස්සට ගිය රට සංවර්ධනය කළා.

විවිධ දේශීය, විදේශීය කුමන්ත්‍රණ පරාජය කරමින් 2010 මැතිවරණයේදී එතුමා ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද ලක්ෂ දහඅටකින්. 2015 දී නැවත එතුමා අපෙන් වරම් ඉල්ලන්නේ මේ රටේ ක්‍රියාත්මක වූ සංවර්ධන වැඩ පිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යන්න.

ජාත්‍යන්තර බලවේග හරහා මතුවෙමින් තිබෙන උපක්‍රමවලට හසු නොවී මේ තීරණාත්මක මොහොතේ අපි නිවැරදි තීන්දුවක් ගත යුතුයි. රට ආපස්සට හරවන්න කිසිදු බලවේගයකට ඉඩ නොදිය යුතුයි.

මේ වෙලාවේ අපි මානුෂික වෙන්න ඕනෑ

අනූෂා දමයන්ති

‘දැයට හිතැති කලාකරවෝ’, ‘තුන්කල් දැක්ම’, ‘හෙළ බල කලා සංසදය’ කියන සංවිධාන තුනේම මම සාමාජිකාවක්. ඔවුන් සමඟ රට වටා තිබෙන රැස්වීම්වලට මම යනවා. කලාකරුවන් පක්ෂ, පාට, ආගම් බේද තිබිය යුතු නෑ.

හැමෝම අපට ආදරය කරන්නේ පක්ෂ බේදයකින් තොරව. ඒත් ඇයි අපි අද මේ දේශපාලන වේදිකාවල නැගලා අපේ මතය ප්‍රකාශ කරන්නේ. අපේ රටට තිබෙන ආදරයට. අපේ රට රැක ගත්තු, ඒ රට සංවර්ධනය කළ නායකත්වය රැක ගත යුතු නිසා.

රට රැක ගන්න හොඳ නායකත්වයක් තියෙන්න ඕනෑ. යුද්ධයෙන් පසු ගෙවුණ මේ වසර පහ තුළ මේ රටේ ඇති කළ සංවර්ධනය විශ්මිතයි. රට තිරසාර සංවර්ධනයක් කරා යන්න අවුරුදු පහක් මදි. ඊට වඩා කාලයක් ලබා දෙන්න ඕනෑ.

මේ වෙලාවේ අපි මානුෂික වෙන්න ඕනෑ. අපේ රටට ආ මේ විදේශීය බලවේග පරාජය කරන්න අපි ජනපතිතුමාට ශක්තිය දෙන්න ඕනෑ. නැතිනම් ඒක මේ රට බේරා ගන්න ජීවිත පූජා කළ, අත් පා අහිමි කරගත් අපේ රණවිරුවන්ට පවා කරන නින්දාවක්.

ඒ අඳුරු අතීතය අමතක කළ යුතු නෑ

කුමාර වඳුරැස්ස

අපිට ඒ අඳුරු අතීතය අමතක කරන්න බැහැ. යුද්ධය නිසා අවුරුදු තිහක් තිස්සේ අපි හොදටම බැට කෑවා. මිනිස් ජීවිත, දේපළ දහස් ගණන් විනාශ වුණා. මේ රට තිබුණේ සොහොන් පිටියක් වගේ.

ඒ යටගියාව අපි අමතක කළ යුතු නැති වුවත් ඒ ත්ත්ත්වයට වැටෙන්න ආයෙත් අපට බෑ. අද අපි ලස්සනට ජීවත් වෙනවා. අපේ දරු දැරියෝ නිදහසේ මේ රටේ හැම තැනකම සැරිසරනවා.

මහින්ද රාජපක්ෂ ජනපති වීම මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටම රැකවරණයක්. මොකද එතුමා එඩිතර, කශේරුකාවක් තියෙන අවංක නායකයෙක්.

වෙන කෙනෙක් රට බාර ගත්තොත් මේ රට ආයේ අඳුරු යුගයකට යන බව ස්ථිරයි. සංවර්ධන කටයුතු අඩාල වී රට ආපස්සට යන එකත් අපට වළක්වන්න බෑ. ඒ නිසා අපි නැවතත් මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපති බවට පත් කර ගත යුතුයි.

මඟ හොඳට තියේ නම්...

කුමාරි මුණසිංහ

මේ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මැතිඳුන් දිනවන්න ඕනෑ. මේ ඔහු ගැන නෙවේ, අප ගැන සිතා බලා ගත් තීරණයක්. අම්මා, තාත්තා අපට ජීවය දුන්නට අපේ ජීවිතය රැඳිලා තියෙන්නේ ජනාධිපතිතුමන් අතේ.

අපි මව්පියන්ට දක්වන ගෞරවය ඇත්තෙන්ම එතුමන්ටත් හිමි විය යුතුයි. ඒ නිසා බුද්ධිමත්ව හිතලා මෙවර ඔබේ ඡන්දය පාවිච්චි කරන්න. 08 වැනිදා පාන්දරම ගිහින් බුලත් කොලේ ඉදිරියේ කතිරය ගහලා ජනපතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරන්න.

කවුරුත් ගැන නෙවෙයි, තමුන් ගැන හිතලා. මේ වෙලාවේ මෙන්න මේ පැරැණි කවිය මට මතක් වෙනවා.

‘මග හොඳට තියේ නම්

යන්න දෑසත් පෙනේ නම්

කිම බැඳිවල යන්නේ

මං මුලාවූවන් සේ’

ජාතික කොඩියට පණ දුන් නායකයා

රොජර් සෙනෙවිරත්න

ඇයි අපි ජනාධිපතිතුමන් දිනවන්නේ. හේතු කිහිපයක් තියෙනවා. මූලිකම හේතුව තමයි රටට, ජාතික කොඩියට පණ දුන්න එක. ජාතික කොඩියට පණ දුන් නායකයා සදාකාලිකයි.

එතුමා මේ යුද්ධය දිනුවේ, රට සංවර්ධනය කළේ ජාත්‍යන්තර බලවේගවලට සෘජුව රටට අත පොවන්න ඉඩ නොතබා. අපි එතුමා එක්ක එකට හිට ගත්තේ ඒ නිසයි.

ඒක වලක්වන්න කාටවත් බැහැ. අපේ දරු මුණුපුරන්ට නොබෙදුණු රටක් උරුම කර දීමේ වගකීම එතුමා බාර ගත්තා. ඒක ඉෂ්ට කළා.

මොණරවිල කැප්පෙටිපොල, කුඩාපොල හාමුදුරුවෝ, සුමංගල හාමුදුරුවෝ, කෝකුඹුරේ රටේරාල, වීර පුරන් අප්පු වගේ විරුවන් අතරට අපේ ජනපතිතුමන්ගේ නාමයත් එක්වීම කිසිවකුට වැළැක්විය නොහැකියි.

එළාර රජු මේ රට අවුරුදු 44 ක් පාලනය කළා. ජනාධිපතිතුමා අවුරුදු 45 ක්වත් මේ රට පාලනය කළ යුතුයි.

තීරණාත්මක මැතිවරණයක්

ගාමිණී ජයලත්

2015 ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවාසී සැමට ඉතාමත් තීරණාත්මක මැතිවරණයක්. එය රටේ අනාගතය තීන්දු කරන ඡන්දයක්. 2005 දී බලයට පත් වූ ජනාධිපතිතුමා 2009 දී ඉතා සාර්ථකව යුද්ධය නිමා කළා.

නැවත 2010 දී එතුමා බලය ඉල්ලුවා මේ රට සංවර්ධනය කරන්න. මහා මාර්ග අලුත්වැඩියා කළා. අධිවේගී මාර්ග හැදුවා. වරාය, ගුවන් තොටුපල හැදුවා.

වසර තිහක් අතපසු වූ සංවර්ධන කටයුතු වසර තුනහමාරකින් නිම කරන්නට එතුමා පියවර ගත්තා. ආසියාවේ ආශ්චර්ය කරා යන මේ ගමන නවතාලන්න මෙදා ජනපතිවරණයට අශුද්ධ සන්ධානයක් එකතු වී සිටින බව අපි හැමෝම දන්නවා. එදා බුලට් එකෙන් ප්‍රභාකරන්ට කරන්න බැරි වූ දේ අද බැලට් එකෙන් කරන්නට ඔවුන් උත්සාහ ගන්නවා.

යම් හෙයකින් ඒ අශුද්ධ සන්ධානය බලයට ආවොත් අවුරුදු හැටකින් රට ආපස්සට යන බව ඒකාන්තයි. ඒ නිසා සියලු ජනතාව නිවැරදිව, බුද්ධිමත්ව තමන්ගේ තීරණය ගත යුතුයි. වැරදුණොත් වැරදුණාම තමා.

විශ්ව ශක්තිය ඇති නායකයෙක්

නිල්මිණි තෙන්නකෝන්

මම කලාකාරියක්. පාටක්, පක්ෂයක්, ආගමක්, ජාතියක් නෑ කලාකරුවාට. ඔහු පොදු වස්තුවක්. මම හැම වෙලේම ඉන්නේ ඒ මතයේ. නමුත් මේ මහ පොළොවේ පය ගසා ඉන්න කෙනෙක් විදිහට මට දේශපාලනයෙන් තොරව ජීවිතය ගැන කතා කරන්න බෑ. බහ තෝරන වියේ පටන්ම අපේ ගෙදර මම දැක්කේ දේශපාලන පසුබිමක්.

ඊට හේතුව මගේ තාත්තා ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීම. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙක්. මම පාසලේ 06 වැනි පන්තියේ විතර ඉගෙනුම ලබන කාලේ මේ සිද්ධිය වුණේ. කොළ පාට ඇඳ ගත්ත, කොළ තොප්පි දාගත්ත පිරිසක් ඇවිත් අපට පහර දුන්නා. මගේ පියාගේ ඔළුව පැළුවා.

අපි ඇඳ යට රිංගලා හැංගුණා. මගේ අයියත් දේශපාලනය කළා. එයාගේ කකුල් දෙකම කඩලා දැම්මා. ඔහු මොරටුව නගර සභාවේ නාගරික මංත්‍රීවරයකුව සිටියා.

ඉතින් අපේ පවුල මේ දේශපාලනය නිසා අනන්තවත් බැට කාලා තියෙනවා. එහෙම කටුක, අමිහිරි දේශපාලන පසුබිමක් තිබිලත් අද මම ජනපතිතුමාට සහාය දක්වන්නේ එතුමා අවංක, එඩිතර නායකයෙක් නිසයි. ඒ වගේම එතුමා විශ්ව ශක්තිය ඇති නායකයෙක්. මේ යුද්ධය එතුමා විසින්ම නිම කරන බව වෙන්නැති ඉතිහාසයේ ලියැ වී තිබුණේ.

පිවිතුරු, නිවහල් හෙටක් වෙනුවෙන්

ජානක වික්‍රමසිංහ

මම පොළොන්නරුවෙන්, පුලතිසි පුරයෙන් බිහි වූ කලාකරුවෙක්. ඔය හැමෝටම වඩා යුද්ධයෙන් පීඩාවට පත්වුණ ගායකයෙක් මම. අපේ අක්කලා, නංගිලා, නැන්දලා බංකර්වල හැංගිලා ජීවත් වුණ විදිහ මට තාම මතකයි.

මම ආදරේ කළේ මේ රටට ආදරය කළ දේශප්‍රේමියකුට. අපි එතුමාව 2005 දී බලයට පත් කළා. දිනූ දේශය සංවර්ධනය වෙනුවෙන් ජනපතිතුමන් විශාල මෙහෙවරක් කළා. අද සැබෑ සාමය තියෙනවා. යහ පාලනය සහ පිවිතුරු හෙටක් වෙනුවෙන් අපි අත්වැල් බැඳගන්න ඕනෑ.

යහ පාලනය තැල්ලක් නම් ඒ තැල්ල බඳින්න බෙල්ලක් තියන්න එපායැ. රටක් නැතිව කෙහේද යහ පාලනයක් තියෙන්නේ. අද ඔය විපක්ෂයේ ඉඳගෙන යහ පාලනය ගැන කතා කරන උදවිය එදා හිටියේ හැංගිලානේ. දැන්නේ ඔය චණ්ඩි වගේ කෑ ගහන්නේ. ඔය සුන්දර වචන ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් ජනාධිපතිතුමන්ට විතරයි.

මහා වීරයෙක් වගේ එතුමා යුද්ධයට මුහුණ දුන්නා. වසර දෙදහසකට පස්සෙත් අපි විජේබාහු, පරාක්‍රමබාහු රජවරුන් ගැන කතා කරනවා. දුටුගැමුණු රජු රට එක්සේසත් කළ හැටි ගැන සිහිපත් කරනවා. ඉතින් ජනපතිතුමන්ගේ යුද ජයග්‍රහණය අවුරුදු පහකින් මිනිසුන්ට අමතක වෙනවාද?

කලාකරුවන්ට ළෙන්ගතු නායකයෙක්

මනෝජ් පීරිස්

ජනාධිපතිතුමා කියන්නේ මේ රටට, ජාතියට වගේම කලාකරුවන්ටත් ළෙන්ගතු, ආදරණීය නායකයෙක්. එතුමන් ගැන මගේ හිතේ නොමැකෙන සේ සටහන් වූ අවස්ථා තුනක් තිබෙනවා.

2006 දී මට අසනීප වුණ අවස්ථාවේ මට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබලා දීලා ඕනෑම රටකට ප්‍රතිකාර ගන්න යවන්න පවා සූදානම් වුණා. එදා මට ලොකු ශක්තියක් වුණේ මගේ ජනාධිපතිතුමන්. මහාචාර්ය සනත් නන්දසිරි අසනීප වූ වෙලාවේ කාටත් කලින් කොළඹ ජාතික රෝහලට එතුමන් ආපු අවස්ථාව මගේ මතකයෙන් කිසිදා බැහැර වෙන්නේ නෑ.

කලාකරුවන්ට එතුමා කළ දේ බොහොමයි. අද මට මේ විදිහට වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ලැබී තියෙන්නේ එතුමන් නිසයි. මගේ ජීවිතේ තිබෙන තුරු එය අමතක වන්නේ නෑ.

චමල් රාජපක්ෂ මහත්මයාගේ පුතාගේ ‘හෝම් කමිං’ එක තිබුණේ මැදමුලන. එදා ඒ මංගල උත්සවයට ආපු එතුමා ගමේ ඉන්න මිනිස්සුන්ට නම් කියලා කතා කළේ කෑම කන්න. එතුමා මුල අමතක කළ නායකයෙක් නෙවෙයි. ඒ එතුමා ගැන මගේ මතකයේ ගෞරවනීය හැඟීමක් ජනිත කළ තෙවැනි අවස්ථාව.

එඩිතර, දූරදර්ශී නායකයෙක්

දමිත් ෆොන්සේකා

රටේ ප්‍රශ්නවලට තිරසාර විසඳුම් ගෙනා නායකයා තමයි අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්. එතුමා ඕනෑම ප්‍රශ්නයකට කන්දීලා, දෙපාර්ශවයම විමසලා තනි තීරණයක් ගන්නවා. ඒක හරියටම හරි. සොල්දාදුවෝ හමුදාව හැරදාලා ගියා එදා තිබුණ වාතාවරණය නිසා.

වෙන කරන්න දෙයක් තිබුණෙත් නෑ. දහස් ගණන් සෙබළුන්, නිලධාරින් නිරපරාදේ මිය ගියා. හමුදාවේ හිටපු බුද්ධි අංශ නායකයෝ මගේ හොඳ මිත්‍රයෝ. අද ඉහළම නිලතල දරන උදවිය මම අඳුර ගත්තේ කර්නල්ලා, මේජර්ලා කාලේ. ඒ නිසා හමුදාවේ ඇතුළාන්තය මම හොඳට දන්නවා. කොටින්ම මම යුද පෙරමුණට පවා ගිය කෙනෙක්. යුද්දෙන් පසුව අතිගරු ජනාධිපතිතුමන් ඒ විජයග්‍රහණය තමන් විතරක් සතු කර ගත්තේ නෑ. හමුදා නිලධාරින් ඇතුළු සියලුම රණවිරුවන්ට ඒ ගරුත්වය ලබා දුන්නා.

අද හමුදා සේවයේ නියැලි අය හොඳ ජීවිතයක් ගත කරනවා. ගෞරවනීය ජීවිතයක්. අද ප්‍රාදේශීය මට්ටමේ ඉඳලා මුළු රටේම හොඳ පරිපාලනයක් තියෙනවා. යුද්ධය අවසන් කර අවුරුදු තුන හමාරක් වගේ කාලයකින් මේ තරම් සීඝ්‍ර සංවර්ධනයක්, පරිපාලන ව්‍යුහයක් ඇති කරන්න ජනපතිතුමන්ට හැකි වුණේ එතුමා එඩිතර, දූරදර්ශී නායකයෙක් නිසයි.

කලා කෙත අස්වනු මංගල්‍යය

ඩග්ලස් සිරිවර්ධන

මහින්ද චින්තනය - ලොව දිනන මඟ’ මැතිවරණ ප්‍රකාශනයේ මෙවර කලා ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශාල ඉඩක් වෙන්කර තිබෙනවා. එය නම් කර තිබෙන්නේ ‘කලා කෙත අස්වනු මංගල්‍යය’ කියලයි. එහි සඳහන් සුවිශේෂ කරුණු කිහිපයක් මෙහි සඳහන් කිරීම වැදගත්.

* තරුණ ව්‍යවසායකත්වයට අත හිත දීමක් වශයෙන් වයස අවුරුදු 18 - 35 අතර තරුණ, තරුණියන් උදෙසාම වෙන් වූ තරුණ බැංකු ක්‍රමයක් ආරම්භ කිරීම. ඒ යටතේ ව්‍යවසායකත්වයට අධ්‍යාපනයට හා වෘත්තීය පුහුණුවට ලක්ෂ 10 දක්වා අඩු පොලී ණය පහසුකම් ලබාදීම.

* තරුණ සංගීත ශිල්පීන්, වේදිකා නාට්‍යය ශිල්පීන්, සිනමාකරුවන්ගේ නව නිර්මාණ එළි දැක්වීමට එම බැංකුව හරහා රුපියල් මිලියනයක ණය මුදලක් ලබාදීම.

* කලාත්මක චිත්‍රපට පෙන්වීම සඳහා පස්වන මණ්ඩලය ද තරුණ සිනමාවේදීන්ගේ නිර්මාණ සඳහා නවතම ප්‍රදර්ශන මණ්ඩලයක් ද ස්ථාපිත කිරීම.

* සියලුම රංග ශාලා සහ සිනමා ශාලා නිසි ප්‍රමිතිකරණයට ලක් කිරීම.

* ටවර් හෝල් රඟහල පදනම ආශ්‍රිතව ශ්‍රී ලාංකේය නාට්‍යය කලාවේ ප්‍රවර්ධනය උදෙසා ජාත්‍යන්තර නාට්‍යය මධ්‍යස්ථානයක් ඇති කිරීම.

* සෑම පළාතකටම එක් රංග කලා පරිශ්‍රය බැගින් ඉදි කිරීම.

* කෙටි කතා, කවි පොත් සඳහා ඇති ඉල්ලුම පහත වැටී ඇති බැවින් එවැනි සාහිත්‍ය පත පොත මුද්‍රණය ඉහළ නැංවීම සඳහා මුදුණ කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයන්ට නිශ්චිත බදු මුදලක් ලබා දීම.

කලාව සහ සාහිත්‍යය වෙනුවෙන් මෙබඳු විශාල වැඩ කොටසක් ‘කලා කෙත අස්වනු මංගල්‍යයට’ ඇතුළත්. වෙනත් කිසිදු රජයක් හෝ රාජ්‍ය නායකයකු කලාවේ උන්නතිය තකා මෙවැනි සාධනීය පියවර අරගෙන නැහැ. ජනාධිපතිතුමන්ගේ විජයග්‍රහණයත් සමඟ අපේ කලා ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇතිවන වග ඒකාන්තයි.

සුරක්ෂිත රටක්, සුබ අනාගතයක්
 

නිරෝෂන් ඉලේපෙරුම

අපේ කලාකරුවන්ට නිදහසේ තමන්ගේ කලා කටයුතු කර ගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කරලා දුන්නේ අතිගරු ජනාධිපතිතුමා. ඒ නිසා නිදහස් රටක යහපත් නිර්මාණ කරන්නට අද අපට හැකියාව ලැබී තියෙනවා.

එතුමාගේ ගමන් මඟට ශක්තියක්, ධෛර්යක් වන්නට අපි මෙවරත් ඉදිරිපත් වුණා විවේචනාත්මකව. මා සාමාජිකත්වය දරන ‘ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ ජාතික සංවිධානය’ රට පුරා ප්‍රාසාංගික රැළි මාලාවක් පවත්වමින් එතුමන්ගේ ජය තහවුරු කිරීමේ කාර්යයට සම්බන්ධව සිටින්නේ විශාල කැපවීමකින්.

සුරක්ෂිත රටක්, සුබ අනාගතයක් වෙනුවෙනුයි අපේ ඒ දායකත්වය.

පොදු අරමුණක් වෙනුවෙන්

සමන් ද සිල්වා

මම එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා 2010 දී මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට උදවු කරන්න ආවේ ඇත්තටම එතුමා අවංක, එඩිතර නායකයෙක් බව මට හැඟුණු නිසයි.

ඒ වෙනකොට මම ජාතික කලා සංසදයේ සභාපති සහ කැඳවුම්කරු. එකම ධජයක් යටතේ මම ඒ කලාකරුවන් සියල්ල රදවාගෙන හිටියා. ඒත් අද ජනාධිපතිතුමන් වටා ඉන්න කලාකරුවෝ සංගම්, සන්ධාන පහකට බෙදිලා.

සාමුහික අරමුණු වෙනුවට සමහර අයගේ තියෙන්නේ පෞද්ගලික න්‍යාය පත්‍ර. ඇතැම් කලාකරුවන්ගේ නොමනා ක්‍රියා නිසයි එහෙම වුණේ. මේ අවස්ථාවේ මම යෝජනා කරන්නේ සියලුම කලාකරුවන් අත්වැල් බැඳගෙන පොදු අරමුණක් වෙත යා යුතුයි කියන එක.

ජගත් සමුළු ඇමතූ ගැමියා

කුමාර කරුණානන්ද

දුකට හඬන මිනිසුන්ගේ කඳුළ හඳුනාගන්නට පුළුවන්, ඒ කඳුළ වෙනුවෙන් කඳුළක් හෙළන්නට පුළුවන්, ඔවුන් වෙනුවෙන් හඬක් නගන්නට පුළුවන් ජනතා නායකයෙන් බිහි වුණා දකුණෙන්. ගැමි සුවඳ හද දරා, ගමේ වෙල් එළියේ ඇවිද ගිය මේ අභීත නායකයා ජගත් සමුළු අමතන්නට පය නැගුවේ උපන් මාතෘ භූමිය වෙනුවෙන්.

මෙරට පාලනය කළ බොහෝ නායක, නායිකාවන් සීත කාමරවල සිට සැළසුම් න්‍යාය පත්‍රයක් සෑදුවේ පොදු ජන හදවත ගැහෙනා රිද්මය නොහඳුනමින්.

කශේරුකාව කෙළින් තබාගත් මේ නායකයා සෝල්හයිම්ලාගේ සටන් විරාම ගිවිසුම්වලට හෝ සුනාමි සහන මණ්ඩල ගිවිසුම්වලට යට නොවී දේශානුරාගයෙන් කිසිවකුට බිය නොවී රටේ නිදහස, ස්වාධිපත්‍යය, උරුමය සියලු ජනතාවට ලබා දුන්නා.

මාවිල්මාරු සොරොව්ව විවර වුණා වගේ දකුණෙන් උතුරට ගලා යන දයාව, කරුණාව, මිනිසත්කම, මුව පිරි සිනාව අපට නවතාලිය හැකිද? එසේම අපගේ ඒකීයභාවය වෙනුවෙන්, මතු පරපුරේ අනාගතය වෙනුවෙන් දිවි පිදූ සිංහල, දමිළ, මුස්ලිම් රණවිරුවන්ට සිවිල් ජනතාවට ද්‍රෝහි විය හැකිද? එසේ නම් අපට අන් නායකයකු කුමකටද? මහින්ද රාජපක්ෂ මැතිඳුන් හැර. අප ඔබට සදා ණයගැතියි.