වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල යුවතියකගේ පෙම් කතාව සිනමාවට නැඟු ඉන්දියානු සිනමාකරු

සිංහල යුවතියකගේ පෙම් කතාව සිනමාවට නැඟු ඉන්දියානු සිනමාකරු

කේ.බාලචන්දර් - 1930-2014

නැටුම් ගුරුවරයා බලා සිටියේ තම පන්තියට පැමිණි අලුත් සිසුවිය දෙසය.ඇය ජාතියෙන් දෙමළ නොවූවාය.එයට පෙර ප්‍රේමය නිසා බිඳුණු සිත් ඇතිව සිටි තරුණ ගුරුවරයා ගේ සිත දිනා ගන්නට මේ සිසුවිය සමත් වන්නීය. ඇය පැමිණ සිටියේ ලංකාවෙනි.ජාතියෙන් සිංහලය.ඇය ලියන අකුරු කිසිවක් ඔහු නොදනියි. 1986 වසරේ එවකට මදුරාසිය කේන්ද්‍ර කොට ගෙන තිර ගත වුන මෙම දෙමළ භාෂිත චිත්‍රපටය ආදායම් අතින් අතින් ඉතා ඉහල සාර්ථක එකක් විය.එමෙන්ම විචාරකයන්ගේ නොමද ප්‍රශංසාවට ද භාජනය විය.

එය නමින් පුන්නගයි මන්නන් විය. දෙමළ ත්‍රස්තවාදය හිස ඔසවා එද්දී සිංහල දෙමළ පේ‍්‍රම වෘතාන්තයක් පාදක කරමින් දෙමළ චිත්‍රපටයක් තැනූ සිනමාකරුවා ගැනය. ඔහු කේ.බාලචන්දර්ය.කේ.යනු කයිලාසම් ය.දකුණු ඉන්දියානු සිනමාකරුවන් අතර මහා සිනමාකරුවකු වන කේ.බාලචන්දර්ට සමහරු පවසන්නේ කේ.බී. යනුවෙනි.කේ.බාලචන්දර් පිළිබඳව ලියැවිය යුත්තේ ඇයි? ඔහු අපේ සිනමා කලාපයේ සිටි දැවැන්තම සිනමාකරුවකු හේතුවෙනි.ඔහු ගේ මුල්ම සිනමා නිර්මාණය 1965 වසෙර් තිර ගත වන නෙර්කුම්ලි නම් විය.එතැන් පටන් 2006 වසරේ සිය අවසන් චිත්‍රපටය අධ්‍යක්ෂ පොයි නමින් නම්කළේය. ඒ ඔහුගේ හැත්තෑ හය වන චිත්‍රපටයයි.එහෙත් තිරනාටක රචකයෙකු නිෂ්පාදකයෙකු හැටියට ඔහුගේ සමස්ත චිත්‍රපට සංඛ්‍යා ව සියය ඉක්ම වූයේය.

දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනි කාන්ත් මෙන්ම තෙළිඟු සිනමාවේ මෙගා නළු චිරන්ජීවි සිනමාවට හඳුන්වා දීමේ ගෞරවය හිමි වනුයේ ඔහුටය.ළමා නළුවකු ව සිනමාවට පිවිසි කමල් හසන් යෞවනයෙකුව මහා නළුවකු කිරීමේ ගෞරවය හිමිවනුයේ ද ඔහුටය.එපමනක් නොව නාගේෂ්,සරිතා, ප්‍රකාශ්රාජ්,විවේක්.ජය ප්‍රදා මෙන්ම ලංකාවේ උපන් සුජාතා දකුණු ඉන්දියාවට තිළිණ කිරිමේ ගෞරවය හිමි වනුයේ ද බාලචන්දර්ටය.අද බොලිවුඩ් සිනමාවට නැතුවම බැරි ගෝවේ ප්‍රන්තයේ අසිරිය ඉන්දියා සිනමාවට හඳුන්වා දීමේ මහා ගෞරවය ද බාලචන්දර් දිනා ගනියි. එයට හේතු වනුයේ ඔහු හින්දි බසින් නිර්මාණය කරන ලද ඒක් දූජේ කේලියේ අධි සාර්ථක වීමත් සමග බොහෝ බොලිවුඩ් සිනමාකරුවන් ගෝවේ වෙත ඇදී එන්නට පටන්ගත් හෙයිනි. ඉන්දියානු සිනමා ඉතිහාසයම සාක්කි දෙන කරුණකි. එපමනක් ද නොවේ .දීර්ඝ කාලයක් මුළුල්ලේ රළු නාට්‍ය ස්වරූපයෙන් පැවැති තමිල්නාඩු සිනමාවට තේමාවන් අතින් මෙන්ම නිර්මාණාත්මක අතින් ද නව මුහුණුවරක් දීමෙන් ද නව සිනමා පරම්පරාවකට ගුරුවරයකු වෙමින් ද බාලචන්දර් කළ මෙහෙය ඉමහත්ය.

මසාල දෙමළ සිනමාව පිළිබඳ එතෙක් පැවැති ආකල්ප වලින් වෙනස් ව ලෝකයේ සෙසු රටවල සිනමා රසිකයන්ට අමුතුවෙන් සිතන්නට අවස්ථාව ලබා දුන්නේ බාලචන්දර්ය.හැත්තෑව දශකයේ ලොව පුරා අලුත් ආකල්ප වලින් පීදුන සිනමාව දකුණු ඉන්දියාවට හදුන්වා දුන් මහා සිනමාකරුවා ඔහුය.එකී කර්තවයේ දී ඔහු ඉන්දියානු සිනමාවේ ජාතික සම්මාන නවයකට ද ෆිල්ම් ෆෙයාර් සම්මාන 13 ක් ද උරුම කර ගත්තේය.එමෙන්ම ඉන්දියානු පුරවැසියකුට ලැබිය හැකි ඉහළම රාජ්‍ය ගෞරවය වන පද්ම ශී‍්‍ර සම්මානය ද ඉන්දියානු සිනමාකරුවකුට පිදෙන ඉහළම සම්මානය වන දාදා සහාබ් පාල්කේ සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවේය.

කේ.බාලචන්දර් 1930 වසරේ ජූලි නව වැනි දින උපත ලබන්නේ තමිල්නාඩුවේ තන්ජූර් නගරයේ බ්‍රාහ්මන පවුලකය.එවකට තමිල්නාඩු නමින් ප්‍රාන්තයක් නොවූ අතර සමස්ත ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනයට යටත් ව තිබිණ.තන්ජූර් යනු තමිල්නාඩු කලාවන්ගේ ද ඉතිහාසයේ ද සංස්කෘතියේ ද තෝතැන්නක් බඳු නගරයකි.ළමා වියේදීම සිනමාවට නාට්‍ය හිත යොමු කරන බාලචන්දර් ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට ඔහුගේ මාපියන් සමත් විය.මේ නිසාම දෙමළෙන් මෙන්ම ඉංගී‍්‍රසියෙන් ද කටයුතු කරන්නට බාලචන්දර්ට හැකි විය.ඔහු සිනමාවට ඇදී එන්නට පටන් ගන්නේ එ දවස දෙමළ සිනමාවේ වීරයා වන ත්‍යාගරාජ් භගවතාර් ලෝලියකු වූ නිසා බැව් වරක් බාලචන්දර් පවසා තිබිණ. අන්නාමල විශ්ව විද්‍යාලයෙන් සත්ව විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගන්නා ඔහු කලක් සිය ගම් ප්‍රදේශයේම ගුරුවරයකු ලෙස රැකියාවේ නිරත විය.එහෙත් සිය අභිලාෂයන් මුදුන් පත්වා ගන්නට නම් ගම හැරදා කිලෝමීටර් තුන් සිය ගණනකට එපිට ඇති මදුරාසියට පැමිණිය යුතු වග ඔහු වටහා ගත්තේය.

පාසලේ නාට්‍ය කණ්ඩායම් පුරුදු කරන ඔහු අනතුරුව මදුරාසියේ එකවුන්ටන් ජනරාල් කන්තෝරුවේ ලිපිකරු රැකියාවකට පැමිනෙන්නේ එහෙයිනි.නාට්‍යයට සිනමාවට ඇලුම් කරන ඔහු වැනිම පිරිසක් ඔහුට මුණ ගැසෙන්නේ එහිදීය.ඔහු නාට්‍යකරුවකු ලෙස කල එළි බසින්නේ මේ ගමනත් සමගය. මදුරාසියේ යුනයිටඩ් ඇමේචර් ආටිස්ට් නම් නාට්‍ය කණ්ඩායම ගොඩ නැගෙනුයේ ආණ්ඩුවේ කන්තෝරු වල සේවය කරන කලාකාමී ගැටවරයකුගේ එකතුවෙනි.බාලචන්දර් මදුරාසි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයකු වනවා පමනක් නොව එහි ජනපි‍්‍රයම නාට්‍ය රචකයා ද වන්නට ගත වන්නේ ටික කාලයකි.

මේ අවදියේ ඔවුන් ගේ බොහෝ නිර්මාණ ලියැවුනේ ඉංගී‍්‍රසියෙනි.එහෙත් අද මෙන් එදාත් මදුරාසි ඉංගී‍්‍රසි සීමා වන්නේ එක් පැළැන්තියකටය.එම ඉංගී‍්‍රසි පිටපත් රාශියක්ම බාලචන්දර් අතින් සරළ දෙමළ බසට පරිවර්තනය වූයේය.දෙමළ සිනමාවේ අතිශය ජනපි‍්‍රය නළු නිළියන් අතරට පැමිණෙන නාගේෂ්,සව්කර් ජානකී, මේජර් සුන්දර්රාජන් ආදින් ද මේ නාට්‍ය කණ්ඩායමේ එකල සාමාජිකයන් විය.පසුකලක චිත්‍රපට බවට පරිවර්තනය වන සර්වර් සුන්දරම්,නීර්කුයිල්, වැනි නිර්මාණ බාලචන්දර් අතින් රචනා වී නාට්‍ය බවට මුලින් එළි දකින්නේ එම අවදියේය.ඔහුගේ නාට්‍ය දකින සුපිරි සිනමා නළු එම්.ජී.රාමචන්ද්‍රන් ඔහු රඟපාන දෛව තායි චිත්‍රපටයේ දෙබස් රචනය බාලචන්දරට බාර දුන්නේය.

1964 වසර බාලචන්දර්ගේ ජීවිතයේ තීරණාත්මක වසරක් වනුයේ එම්.ජී.ආර් දෙබස් රචනය සඳහා බාලචන්දර්ට අවස්ථාව ලබා දෙන්නේ එම වසරේ නිසා පමණක් නොවේ.එම වසරේදීම මදුරාසියේ සුපතළ සිනමා සමාගමක් වන ඒ.වී.එම් සමාගම් අධිපති ඒ.වී.මෙය්යප්පන් සිය නවතම චිත්‍රපටය නිර්මානය සඳහා තෝරා ගනුයේ බාලචන්දර් ගේ නාට්‍යයක් වන සර්වර් සුන්දරම්ය.නාගේෂ් වේදිකාවේ දී මෙන්ම චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතය රඟපෑවේය.චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ කි‍්‍රෂ්ණන් සහ පන්ජු යන ජනපි‍්‍රිය සිනමා කරුවන් දෙදෙනාය.

සිනමා නළුවකු වීමේ අභිලාෂයෙන් නගරයට එන වේටර් වරයෙකු වටා ගෙතුන මේ චිත්‍රපටය එම වසරේ හොඳම දෙමළ චිත්‍රපටයට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය ද දිනා ගත්තේය.1965 වසරේ දී සිය මුල්ම චිත්‍රපටය නීර්කුමිල් නමින් එළි දක්වන්නට බාලචන්දර්ට හැකි විය.නාගේෂ්,සෞකර් ජානකී ඇතුළු සිය නාට්‍යය කණ්ඩායමේ නළු නිළියන් රැසක් එයට දායක වූ අතර චිත්‍රපටය ඉතා ඉහලින් විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වුවා පමණක් නොව වාණිජ අතින් ද සාර්ථක විය.1967 වසරේ දී ඔහු විසින් සිය නාට්‍යයක් වන බාමා විජයන් සිනමාවට නැංවීය.එය කෙතරම් සාර්ථක වීද යත් පසුව තෙළිඟු බසින් ද අනතුරුව හින්දි බසින් ද ප්‍රතිනිර්මාණය විය.

බාලචන්දර් සිය සිනමා ජිවිතයේ නිර්මාණය කරන ලද චිත්‍රපට කිසිවක් ඒකාකාරි නොවුයේය.ඒ සියල්ල විවිධ විෂයන් යටතේ නිර්මාණය වූ ඒවාය.ඔහු බොහෝ විට නිර්මාණය කරන ලද චිත්‍රපට කේන්ද්‍ර කොට ගත්තේ කාන්තාවන්ය.එමෙන්ම කවර ආකාරයේ තේමාවක් වුව ද ඔහු එය සිනමාවට නැංවීමට දෙවරක් සිතන්නේ නැත.සිනමා කෘතියෙන් ලැබෙන තාවකාලික ගෞරවයට වඩා තම සිතැඟි පරිදි දැනෙන පරිදි චිත්‍රපට නිර්මාණය කරන්නට ඔහු අවංක වූයේය.එබැවින් ඔහුගේ චිත්‍රපට ඇතැම් විටෙක හාසොත්පාදක කතාවකි.සමහරවිට එය ඉතා දරුණු දේශපාලන විචාරයකි.නැතහොත් සරළ පේ‍්‍රම කතාවකි.ඔහුගේ තන්නීර් තන්නීර් චිත්‍රපටය පාදක කර ගත්තේ තමිල්නාඩුවේ ගම්මානයක ජල ප්‍රශ්ණය පිළිබදවය.එමගින් ඔහු තමිල්නාඩු දේශපාලකයන්ගේ සායම් යැව්වේ සිනමාවට බොරු වීරයන් කැඳවා ගෙන නොවේ.තන්නීර් තන්නීර් චිත්‍රපටය බාලචන්දර් ගේ පමනක් නොව දෙමළ සිනමාවේ ද වැදගත් චිත්‍රපටයක් ලෙස සළකනු ලබයි.ඔහු ගේ අරන්ග්‍රේත්‍රම් චිත්‍රපටය විෂය කොට ගත්තේ දැවැදි ප්‍රශ්ණයක් මත ගණිකාවක් බවට පත් වන බ්‍රාහ්මණ යුවතියක් පිළිබද කතාවකි.

හැත්තෑව දශකයේ දී බාලචන්දර්ගේ සිනමාව ඉන්දියාවේ සෙසු ප්‍රාන්ත සිනමාකරුවන්ට ද මහත් බලපෑමක් ඇති කරන්නට සමත් වූයේය.එක් අතකින් ඔහුගේ සිනමාව වාණිජමය අතින් සාර්ථක වීම එහිලා විශාල හේතුවක් විය.ඔහු චිත්‍රපට නිර්මාණය කරන ලද්දේ හිස් පුටු වලට නොවීම එහිලා කැපී පෙනෙන කරුණක් විය.ඔහු සිනමාවට හදුන්වා දුන් කමල්හසන් මෙන්ම රජිනිකාන්ත් ද දෙමළ සිනමාවේ සුපිරි තරු බවට පත්වීම වැදගත් කරුණක් විය. ඔහු කමල්හසන් ප්‍රධාන චරිතයට භාවිතා කරමින් චිත්‍රපට තිස් හතක් නිර්මාණය කළේය.මෙයින් ඇතැම් චිත්‍රපටයක් ඔහුගේ නිෂ්පාදනය යටතේ වෙනත් අධ්‍යක්ෂවරුන් විසින් නිර්මාණය කරන ලද ඒවාය.ඔහුගේ නිෂ්පාදනයක් යටතේ මනිරත්නම් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් වූයේ රෝජාය.ඒ.ආර්.රහුමාන් සිනමාවට හදුන්වා දෙන ලද්දේ එමගිනි.රෝජා ඉන්දියානු සිනමා ඉතිහාසයේ ඉතා ඉහළ ආදායම් වාර්තා තබන්නට සමත් වූ චිත්‍රපටයක් විය.

කේ.බාලචන්දර් හින්දි චිත්‍රපට කරණයට පිවිසෙනුයේ රාජේශ් ඛන්නා සහ මුම්ටාස් ප්‍රධාන චරිත රඟපෑ අයිනා චිත්‍රපටය නිර්මාණය කිරීමෙනි.එහෙත් ඔහුගේ වඩාත්ම ජනපි‍්‍රිය හින්දි චිත්‍රපටය වනුයේ ඒක් දූජේ කේලියේ චිත්‍රපටයයි.එය ඉන්දියානු සිනමාවේ විලාසිතාවක් බවට පත් වූයේය. මෙවර ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල සමයේ මට හමුවූ පැරණි ගෝවේ වාසින් කිහිප දෙනෙක්ම ඒක් දූජේ කේලියේ සමග ගෝවේ ඇති වූ විපර්යාසය කියා පෑවේය.එයින් පසු විවිධ ඉන්දියානුවන් නිවාඩු ගත කරන්නට ගෝවේ වෙත පැමිණි අයුරුත් ප්‍රාන්තය වෙනස් වූ අයුරුත් ඔවුන් කදිමට කියා පෑවේය.

බාලචන්දර් තරම් වර්තමාන දකුණු ඉන්දියානු සිනමාවට බලපෑම් කරන ලද තවත් සිනමාකරුවකු සොයා ගත නොහැකි තරම්යැයි බොහෝ සිනමා විචාරකයන්ගේ මතයයි. පසුකලක භාරතීරාජා,බාලු මහේන්ද්‍රරන්, මනිරත්නම් වැනි සිනමාකරුවන් දෙමළ සිනමාවේ හැඩතළ වෙනස් කළ ද ඔවුන් සඳහා මග පෑදුවේ බාලචන්දර් බැව් නොරහසකි. ඔවුන් ට සැබැවින්ම තිබුනේ බාලචන්දර් අතින් ලබා ගත් යශ්ටිය රැගෙන දුවන්නටය.එයට පෙර පරම්පරාවේ වාසන්,එල්.වී.ප්‍රසාද් වැනි චිත්‍රපට නිෂ්පාදකවරුන් දකුණු ඉන්දියානු සිනමාව සමස්ත ඉන්දියානු සිනමාව මධ්‍යයෙහි ලකුණු කළ ද එය නූතන සිනමා භාවිතයට යොමු කරන ලද්දේ බාලචන්දර් අතින් වීම වැදගත්ය.එමෙන්ම දෙමළ සිනමාව සමාජ කතිකාවක් කරා රැගෙන යන්නට සමත්වූයේ ද ඔහු ගේ සිනමාව හරහාය.සුපිරි තරු නිර්මාණය කළ ද තරු මත නොයැපී තමන් වෙනුවෙන්ම සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාවක් තනන්නට තරම් බාලචන්දර් සමත් විය.ඒ අතින් දකුණු ඉන්දියානු සිනමාවේ දී ඔහු සිනමාවේදී ශී‍්‍රධර් ද අබිබවා ගියේය. 1981 වසරේ දී බාලචන්දර් තමාගේම කවිතාලයා නිෂ්පාදන සමාගම ආරම්භ කළේය.එමගින් අතිශය ජනපි‍්‍රය චිත්‍රපට රාශියක් පමණක් නොව ටෙලි නාට්‍ය රැසක් ද කවිතාලයා සමාගම මගින් නිර්මාණය විය.

බාලචන්දර් විවාහ වූයේ 1956 වසරෙ දීය.ඒ රාජම් බාලචන්දර් සමගය.ඔවුන්ගේ එකම දියනිය පුෂ්පා කවිතාලයා සමාගම මෙහෙයවන්නීය.ඔහු ගේ පුතුන් දෙදෙනාගෙන් බාලයා ප්‍රසන්න ඉන්දියානු බැංකුවක ඉහලම තනතුරක් හොබවන්නෙකි.ඔවුන්ගේ වැඩිමහල් පුත් ව්‍යපාරිකයකුවූ බාලකයිලාසම් පසුගිය අගොස්තුවේදී නිව්මෝනියාවෙන් මිය ගියේය. 82 හැවිරිදි බාලචන්දර් ජීවිත කාලය පුරා දිනා ගත් සියළු දේට වඩා එම මරණයෙන් වේදනාවක් විඳීන්නට ඇත.

1986 වසරේ දී කොළඹ රීගල් සිනමාහලේ පවත්වනු ලැබූ ඉන්දියානු සිනමා දැක්ම ගැටවරයන් වූ අපට සිනමාව පිළිබඳ අලුතෙන් සිතන්නට පෙළඹ වූ අවස්ථාවක් විය.එහි ප්‍රදර්ශණය කරන ලද තන්නීර් තන්නීර් මා කෙරෙහි කෙතරම් බලපෑමක් කළා ද කිව හොත් බාලචන්දර් නිර්මාණය කරන ලද බොහෝ චිත්‍රපට සොයා නරඹන්නට තරම් එය බලවත් විය.අනතුරුව ඔහුගේ නරඹන්නට ලැබුනේ සින්දු භෛරවි නම් චිත්‍රපටයයි.ඔහු තැනූ හැම චිත්‍රපටයක්ම විශිෂ්ට නැත.එහෙත් ඔහු ඉන්දියානු සිනමාව කෙරෙහි ඇති කළ බලපෑම එමගින් අවතක්සේරු කළ නොහැක.චිත්‍රපට 76 න් අවම වශයෙන් පනහක් හෝ සිනමා නිර්මාණයන් ලෙස ඉතා අපූරු අත්දැකීම් ගෙන ආවේය. එපමණක් නොව ඒ සියළු චිත්‍රපට අතර ඉන්දියානු සමාජය දකින්නට ඔහු ගත් ප්‍රයත්නය විශිෂ්ට ලෙස සටහන්ව තිබිණ.