වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සුරංගනා කතාවකටත් වඩා ලස්සන චිත්‍රපටයක් In to the Woods

සුරංගනා කතාවකටත් වඩා ලස්සන චිත්‍රපටයක් In to the Woods

මේ ලොව සුරංගනා කතාවක රස නොවිඳි අයෙකු නොමැති තරම්ය. රතු හැට්ටකාරිය, මායා බෝංචි වැල සහ ජැක්, හිම කුමරිය, පිනෝකියෝ ඒ කතාවන්හි වීර චරිත ලෙසින් අදටත් ජීවමාන වෙති. පසුගිය කාලයේ මෙම සුරංගනා චරිත බොහොමයක් අපට රීදි තිරයෙන් හමු විය. Snow White and the Huntsman, Mirror Mirror, Jack the Giant Slayer, Beauty and the Beast, Maleficent වැනි චිත්‍රපට රිදී තිරයේ දිගහැරෙන්නට වූයේ ලොකු කුඩා සියල්ලන්ම සුරංගනා ලොව වෙත කැඳවා ගනිමිනි.

ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා කතාවන්ද කතාන්දර ලොව රස මැවූ අපූරු කතාන්දර පෙළකි. ජේකබ් සහ විල්හේම් ග්‍රිම් දෙසොහොයුරන් විසින් 19 වන සියවසේදී නිර්මාණය කෙරුණු ඒ සුරංගනා කතාන්දර අදටත් ජීවමාන වේ. එදාමෙදා තුර මෙම කතාන්දර ආභාෂයකර ගනිමින් නිර්මාණය වූ චිත්‍රපට, නාට්‍ය හා රූපවාහිනි කතා මාලා ප්‍රමාණයද අතිමහත්ය. මේ එවැනි තවත් අමෙරිකානු සංගීතමය සුරංගනා කතාවක ඇරඹුමයි.

පසුගිය 25 වැනිදා සිට ලොවපුරා තිරගතවීම ආරම්භ කළ  Into the Woods මෙම නිර්මාණ ගොන්නට එක්වන නවතම නිර්මාණයයි.

බේකර් සහ ඔහුගේ බිරිඳ දරුවන් නොමැතිවීමේ දුකින් කල්ගෙවන්නෝ වෙති. මේ යුවළට දරුවන් නොමැතිවීමට හේතුව වී ඇත්තේ නපුරු මන්තරකාරියකගේ සාපයකි. මෙම දරුණු සාපය බිඳීමට නම් දෙදෙනාම වනයට ගොස් ඊට ඇවැසි සියලු දේ සොයා ගත යුතු වෙයි. එය රූප පෙළක් ලෙසින් දිග හැරෙන්නේ  Into the Woods තුළිනි.

Into the Woods චිත්‍රපටය ග්‍රිම් සුරංගනා කතා පවතින ලෝකය මත දිගහරින්නකි. මෙහි ප්‍රධාන වන බේකර් පවුලේ කතාව සමගින් තවත් කතාන්දර හතරක් මිශ්‍ර කර තිබේ. රතු හැට්ටකාරී, සින්ඩරෙල්ලා, ජැක් ළමා ලොව එදා මෙදාතුර යුග යුග ගණන් රජ කරනා සුරංගනා චරිතයන් වේ. මේ සියලුම දෙනා මේ වනය තුළදී බේකර් යුවළට හමු වෙති. ඒ අනුව මීට පෙර රිදි තිරයේ ජීවමාන වූ Little Red Riding Hood, Jack And the Beanstalk, Rapanzel, Cindarella ඇතුළු කතාන්දර කිහිපයකම ප්‍රධාන චරිත  Into the Woods සමගින් ඔබ හමුවට පැමිණෙයි. සංගීතමය සුරංගනා චිත්‍රපටයක් වන මෙය අවසානයේදී ප්‍රාර්ථනාවන් ගෙන් ඇති විය හැකි නරක ප්‍රතිඵල සේම යුතුකම් හා වගකීම් ගැන කියාදෙන වැදගත් චිත්‍රපටයක් ලෙසින් නිමාවට පත් වෙයි.

Into the Woods චිත්‍රපටය Memoris of a Geisha, Pirates of the Caribbean on Stranger Tide වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ රොබ් මාර්ෂල්ගේ නවතම සිනමා නිර්මාණය යි. ඔහු මීට පෙර නිර්මාණය කළ Chicago සංගීතමය චිත්‍රපටය 2002 වසරේදී හොඳම සංගීතමය චිත්‍රපටය ලෙසින් ඔස්කාර් සම්මානයටද පාත්‍ර විය. රොබ් මාර්ෂල්ගේ මෙම නව නිර්මාණයේ මෙරිල් ස්ට්‍රීප් නපුරු මන්තරකාරීයගේ චරිතයට පණ පොවද්දී, ජේම්ස් කෝඩ්න් බේකර් ලෙසින්ද එමිලි බ්ලන්ට් බේකර් බිරිඳ ලෙසින්ද ඇනා කෙන්ඩ්‍රික් සින්ඩරෙල්ලා ලෙසින්ද ලයිලා ක්‍රෝව්ෆෝර්ඩ් රතු හැට්ටකාරිය ලෙසින්ද ඩැනියෙල් හට්ල්ස්ටෝන් රපුන්සෙල් ලෙසින්ද, ජොනී ඩෙප් වෘකයා ලෙසින්ද මෙහි චරිත නිරූපණය කරති.

මිනිත්තු 124ක කාලයක් පුරා දිවෙන මෙම අපූරු සුරංගනා කතාව නිර්මාණය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් වැය වී තිබේ. Into the Woods ඉදිරිපත් කිරීම වෝල්ට් ඩිස්නි සමාගම විසිනි. ජේම්ස් ලපේන් රචනා කළ මෙහි ස්ටෙපන් සොන්ඩ්හෙයිම් සංගීත අධ්‍යක්ෂණය කර ඇත.

පසුගිය වසරේ නිර්මාණය වූ මෙම සංගීතමය චිත්‍රපටය මීට පෙර දහස්වරක් කියවූ කතාන්දර අතරේ සුවිශේෂ වන බවට ලකුණු පහළ වී තිබේ. ඉතාම සිත්ගන්නා සුළු ලෙසින් නිර්මාණය කළ මෙම කතාන්දරය අර්ථාන්විත සහ සංකීර්ණ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ඇස්, කන්, මොළය සහ හදවත අතරට පැමිණි කතාවක් ලෙසින් විචාරකයන් හඳුන්වා දී තිබේ. බොහොම බිය ජනක වූ මන්තරකාරිය කම කාර්යය නිසි අයුරින් ඉටු කරන බවත් ඒ දක්ෂතාවයට වෙනුවෙන් ඇය ඔස්කාර් සම්මානයට පාත්‍රවනු ඇති බවටත් විශ්වාස පළ වී ඇත.

ලබන 11 වැනිදා පවත්වන්නට නියමිත ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ  Into the Woods හි රංගනය වෙනුවෙන් මෙරිල් ස්ට්‍රීප් හොඳම සහය නිළිය ලෙසින් නාමයෝජනා වී සිටිය දී බේකර් බිරිඳගේ රංගනය වෙනුවෙන් එමිලි බ්ලන්ට් සංගීතමය හෝ හාස්‍යමය චිත්‍රපට අංශය යටතේ හොඳම නිළිය සම්මානය වෙනුවෙන් නාම යෝජනා වී සිටියි. ඊට අමතරව හොඳම සංගීතමය හෝ හාස්‍යමය චිත්‍රපට අතරට  Into the Woods චිත්‍රපටයත් නාම යෝජනා වී ඇත. එදා සුරංගනා කතා අද නව තාලයෙන් ගෙන මෙම චිත්‍රපටය අලුත් අවුරුද්දේ ඔබට අගනා සිනමා තෑග්ගක් වනු ඇත.