වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




මැස්සා නහයෙ තියන් නිවුස් කිව්වා

මැස්සා නහයෙ තියන් නිවුස් කිව්වා

නිශාදී රුවන්මලී

රූපවාහිනී මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවෘත්ති වාර්තාකරණය තරමක අසීරු වගකීමක් ඇති කටයුත්තක්. ඇතැම් විට සජීවී ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී ලබන අත්දැකීම් ප්‍රවෘත්ති නිෂ්පාදිකාවකට හෝ නිෂ්පාදකයකුට අලුත්ම, වෙනස්ම, අභියෝගාත්මක අත්දැකීමක්....... මෙවැනි අත්දැකීමක් ලැබූ නිෂ්පාදිකාවක්, ප්‍රවෘත්ති නිවේදිකාවක් අපට මියුරු සවනේ සංවාද සටහනට එක්කර ගැනීමට හැකි වුණා. ඇය ප්‍රවෘත්ති වාර්තාකරණයේ දක්‍ෂ නිෂ්පාදිකාවක් මෙන්ම නිවේදිකාවක්. නිශාදී රුවන්මලී.

* මේ නම කියූ පමණින්ම ඔබට ජාතික රූපවාහිනියේ මැවෙන ඇයගේ රුව සිතේ ඇදෙනවා ඇති. ඉතිං නිශාදී ඔබ දැන් තරමක වගකීමක් දරණා ප්‍රධාන නිෂ්පාදිකවක්. ඒ වගේම නිවේදිකාව. මාධ්‍ය ජීවිතයේ දිගු ගමනක් ආපු ඔබගේ ජීවිත අත්දැකීමකින්ම අපේ පිළිසඳර පටන් ගමුද?

දැන් මම අවුරුදු දහයක් ජාතික රූපවාහිනියේ නිෂ්පාදිකාවක් හා නිවේදිකාවක්. ඒ කාලය තුළ දවසින් දවස මම ලැබූ අත්දැකීම් සිදුවීම් අති විශාලයි. ඒ සෑම එකම මගේ මාධ්‍ය ජීවිතයට සමීපයි. ඒ සිදුවීම් අතුරින් මට අමතක නොවන සිදුවීමක් වන්නේ දැනට අවුරුදු දහයකට පෙර සිදු වූ එම සිද්ධිය මගේ ජීවිතයට අමතක නොවන අත්දැකීමක්. මම හිතන්නේ එය මට වගේම මාධ්‍ය ක්‍ෂේත්‍රයේ සෑම කෙනෙකුටම අමුතුම අත්දැකීමක්. මට ඒ සිදුවීම විශේෂ වුණේ මාධ්‍යවේදියෙක් නිසයි. ඇතැම් සිදුවීම් ඉතාම සංවේදී හදවත කම්පා කරවන ඇස් කඳුළින් තෙමනා සිද්ධි.

එහෙත් මට තිරය ඉදිරියේ හඬා වැටෙන්න බැහැ. පේ‍්‍රක්‍ෂකයාව අඬවන්නත් බැහැ. අපේ හැඟීම් සමඟ ප්‍රේක්‍ෂකයාට හොඳින්ම ග්‍රහණය වෙන සේ ඉදිරිපත් කිරීම තමයි අපට කළ හැකි දේ. ඒ වගේම මම මාධ්‍යවේදිනියක් ලෙස ලැබූ අත්දැකීමක් තමයි රත්නපුරයේ දී ගංවතුර ගැලීමක් වාර්තා කිරීම. ඇත්තටම අපි මාධ්‍ය කණ්ඩායමක් රත්නපුරේ ගියේ ගංවතුර වාර්තා කරන්න නෙවෙයි. රත්නපුර ප්‍රදේශයේ විශාල ජලාශයක සොරොව්වක් ඇරීමෙන් එකම පවුලේ අම්මයි, දුවයි, ආච්චියි තුන්දෙනකු මිය ගිය සිද්ධිය වාර්තා කරන්න. මමයි, කැමරා ශිල්පියායි, සහාය නිෂ්පාදකයයි, රියදුරු මහතයි අපි කණ්ඩායම එදා දහවල් රත්නපුරයට යද්දී යන්තම් වැස්ස.

අපි රත්නපුර පොලිසියට ගිහින් ඒ සිද්ධියේ තොරතුරු රැස්කර ගනිද්දි සවස් වුණා. සවස් වෙද්දි එකපාරටම රත්නපුර නගරය ගංවතුරෙන් යට වුණා හිතා ගන්න බැරි විදිහට. රත්නපුර පොලිසිය තියෙන්නේ නගරයේ තරමක් උසින්. දැන් වතුර ටික ටික වැඩිවෙනවා. විදුලියත් නැහැ. අපිට කොළඹට එන්නත් බැහැ. ටික ටික රෑ වුණා. ඒ අතර දී අපට දැනගන්න ලැබෙනවා රත්නපුරයේ කන්දක් නාය ගිහින් කියලා. ඇත්තටම මම හික්කඩුවෙ උපන් කෙනෙක්. මෙවැනි අත්දැකීමක් තිබුණේම නැහැ. එදා රාත්‍රියේ මේ සිද්ධිය සජීවී ලෙසින් රූපවාහිනියේ ඉදිරිපත් කරන්න මට සිද්ධ වුණා. මේ නුහුරු අත්දැකීමත් සමඟ රාත්‍රිය ගෙවලා පසුදින මම කොළඹ පැමිණියා. එදින එම නාළිකාවේ විශේෂ ආරාධිත වැඩසටහනට එක් වුණේ මම. එහිදී මම ලබපු අත්දැකීම විස්තර කරන්න හැකි වුණා. ප්‍රවෘත්ති නිෂ්පාදිකාවක් ලෙසින් ලබපු ඒ අත්දැකීම මාධ්‍ය ක්‍ෂේත්‍රයේ මට පන්නරයක් ලබා දුන්නා.

* ඔබ මාධ්‍ය ක්‍ෂේත්‍රයට එක් වුණේ විශ්වවිද්‍යාලයෙන්. ඒ ගමන් මඟ ගැන කොහොමද?

අපේ ගම හික්කඩුවේ. පවුලේ හය දෙනයි. මම තමයි පවුලේ බඩපිස්සි. මුලින්ම පාසල් ගියේ හික්කඩුවේ මහ මායා බාලිකාවට. ඉන්පසුව සුමංගල මැදි විදුහලට. එම විද්‍යාලයෙන් නර්තන විෂය හැදෑරීමට මම හොරණ ශ්‍රී පාලියට ඇතුළත් වුණා. එහිදී තමයි කැලණිය විශ්වවිද්‍යාලයට වරම් ලැබුවේ. එහිදී මම ප්‍රධාන විෂය වශයෙන් කළේ නර්තනය. අවසාන වසරේ දී ජන සංනිවේදන විශේෂවේදී උපාධිය හැදෑරීමට අවස්ථාව උදාවුණා.

විශ්වවිද්‍යාල උපාධිය අවසන් වෙනවාත් සමඟම මට අවස්ථාවක් ලැබෙනවා ගුවන් විදුලියේ සහන නිවේදිකාවක් ලෙස සේවය කරන්න. මේ ආකාරයට වසර කිහිපයක් සේවය කරන අතර තමයි මට රූපවාහානියට යන්න අවස්ථාව ලැබෙන්නේ. මුලින්ම මම පෞද්ගලික නාළිකාවක ප්‍රවෘත්ති නිෂ්පාදිකාවක් ලෙසින් සේවයට එක් වුණේ. ඒ කාලය අතර තමයි මට ජාතික රූපවාහියට එක් වෙන්න අවස්ථාව උදා වෙන්නේ. 2004 පටන් ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිෂ්පාදිකාවක් හා ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නියක් ලෙසට අවුරුදු දහයක් අඛණ්ඩව මම දැන් සේවය කරනවා.

* ඔබ මේ තරම් කාලයක් ප්‍රවත්ති ඉදිරිපත් කරද්දි විකාශන මැදිරියේදීත් අමතක නොවන සිද්ධි ඇතිනේ....?

මම ජාතික රූපවාහිනියට එක් වෙලා අවුරුදු දෙකකට විතර පස්සේ අපූරු සිද්ධියක් වුණා. මම ප්‍රවෘත්ති කියන්න පටන් ගනිද්දි මගේ මේසෙ උඩ මැස්සෙක් ඉන්නවා. ඒත් මම ඒක වැඩිය ගණන් ගත්තේ නැහැ. වැඩේ පටන් ගත්තා. විදුලි එළිය දාලා ටික වෙලාවක් ගියාට පස්සේ මේ මැස්සා මගේ මූණ ඉස්සරහා කැරකෙනවා. දැන් ප්‍රවෘත්ති පටන් අරගෙන. මට හිතාගන්න බැහැ කරන්නේ මොකක්ද කියලා. මැස්සා ටික ටික මූණ ළඟටම කිට්ටු වෙලා මගේ නහය උඩ වහලා. මොනවා කරන්නද ඉවසාගෙන මගේ වැඩේ කරගෙන ගියා. නිවුස් බ්‍රේක් එකකදී තමයි මැස්සාව එළෙව්වේ.

* ඔබ කාන්තාවක් ලෙස මාධ්‍ය ක්‍ෂේත්‍රය දකින්නේ කොයි ආකාරයටද?

ප්‍රවෘත්ති වාර්තාකරණය හා ඉදිරිපත් කිරීම තරමක අභියෝගයක් තමයි. ඒ අභියෝගය කාන්තා පාර්ශවය ලෙස හොඳින් මුහුණ දීලා පිරිමි සමඟ කරට කර ඒ වෘත්තියේ නියැළෙනවා. දක්‍ෂ කාන්තාවකට තමුන්ගේ පවුලේ කටයුතු හා තමාගේ වෘත්තියේ කටයුතු දෙක සමබරව පවත්වාගෙන යෑමේ හැකියාව තිබුණොත් එය ඒ තරම් අසීරු කටයුත්තක් වෙන්නෙ නැහැ. ඒ වගේම ක්‍ෂේත්‍රයේ ඉහළටම යා හැකියි.

* නිශාදී ඔබ මේ ක්‍ෂේත්‍රයට එක්වන වර්තමාන නවක පරපුර දකින්නේ කොයි ආකාරයටද?

ක්‍ෂේත්‍රයට එක්වන සෑම කෙනෙකුම දක්‍ෂයි. ඔවුන් මාධ්‍ය ක්‍ෂේත්‍රයට එක්වන්නට පෙර පිටතින් දකිනවාට වඩා මෙහි බැරෑරුම් කටයුත්තක් තිබෙනවා. ඔවුන් ප්‍රවෘත්ති කියනා සමහර ප්‍රතිරූපවලට ආසයි. ඒ වගේම ප්‍රවෘත්ති කියන්න කැමැතියි. ආසාව වගේම ඒ පිළිබඳ මහා දැනුමක් සහ කැපවීමක් තිබීම අනිවාර්යයි. ක්‍ෂේත්‍රයට එනවිට ආසාව පමණක් තිබීම මදි. එයට භාෂාව හැසිරවීමට හොඳ පුහුණුවක්, හඬක් තිබිය යුතුයි. ඒ දේවල් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ජනපි‍්‍රය වීමට මේ ක්‍ෂේත්‍රයට පැමිණීම සාර්ථක නැහැ. ජනපි‍්‍රය වීමට විවිධ දේ තිබෙනවා. නමුත් ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමට හැකියාව තිබිය යුතුයි. පසුකාලීනව ජනපි‍්‍රයත්වය ගොඩ නැගෙයි. ප්‍රවෘත්ති නිවේදිකාවක් හෝ නිවේදකයකු වීමට නම් ජනපි‍්‍රයත්වය කියන කාරණය පසුවට තියලා ගුණාත්මකව සාර්ථක ලෙස ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නියක් විය යුතුයි.

* නිශාදී ඔබ විවාහ වෙන්නෙත් ඔබේ ක්‍ෂේත්‍රයේම කෙනෙකු සමඟ. ඒ ගැන කියමුද?

ඔව්, මම විවාහ වුණේ රංග බණ්ඩාරනායක සමඟ. ඔහු ජාතික රූපවාහිනියේ නාට්‍ය නිෂ්පාදකවරයෙක්. දැන් ඔහුගේ භවාන්තර නාට්‍යය විකාශය වෙනවා. අපිට දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. දුවට අවුරුදු පහයි. එයා ලීඩ්න් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබනවා. ඇය භවාන්තර නාට්‍යයෙත් රඟපානවා. පුතාට අවුරුද්දයි. ඔය විදිහට තමයි අපේ පවුල් කුඩුම්බිය සකස් වෙලා තියෙන්නේ.

* නිශාදී ඔබට සුබ පැතීමට ඔබගේ දුරකථන අංකය අපගේ පාඨකයන්ට කියන්න

011-2501050 (ප්‍රවෘත්ති අංශය ජාතික රූපවාහිනිය)