වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සුනිල් ටී. අදටත් මා වෙනුවෙන් බොහෝ උපකාර කරනවා

සුනිල් ටී. අදටත් මා වෙනුවෙන් බොහෝ උපකාර කරනවා

- සෝනියා දිසා

අලුත් අවුරුද්දේ සෝනියා නැවත සිනමාවට

උසාවියෙන් ගේ දුන්නත් ‘සහෝදරයා’ යන්නේ නෑ

ඒ කාලයේ මම මාලිනීට නපුරුකම් කළා

සුන්දර රූ සපුවකට හිමිකම් කී මේරි ෆි‍්‍රලිෂියා සැම ඉරු දිනකම උදෑසන පල්ලියට ගියේ තම මිතුරියන් ද පිරිවරාගෙනය. එක් දිනක් මේ අයුරින් පල්ලියට යන විට ඇය අසලින් නැවැත් වූ ජීප් රථයෙන් බැස ආ මහත්තයෙක් ආරාධනා කළේ රංගනයට. ‘මට බෑ’ දෙවරක් නොසිතාම මේරි පැවසුවා. ‘ආ . . . ඒකට කමක් නැහැ. ඔයා චිත්‍රපටයක් රූගත කරනවා බලන්න කැමැති නම් මෙතනට එන්න’ කියලා ඔහු ඇය අත කාඩ්පතක් තැබුවා. ඇන්තනි සී. පෙරේරා. එහි නම සඳහන් වුණා.

මේරි ෆි‍්‍රලිෂියාට කොහොම වුණත් ඇගේ යෙහෙළියන්ට නම් ඕනෑ වුණ චිත්‍රපටයක් රූපගත කරන හැටි බලන්න. ඔන්න ඉතිං ඊළඟ ඉරිදා කට්ටියම පල්ලියේ දේව මෙහෙයට යන ගමන කට් කළේ ෂූටින් බලන්න යන්න. එදා එතැන සිදු කළේ චණ්ඩියා චිත්‍රපටය රූගත කිරීමයි. ‘මෙන්න අපි හොයපු ගැහැනු ළමයා හමු වුණා’. ඒ විදියට මේරි චණ්ඩියා චිත්‍රපටයේ රංගනයට දායක වුණා. වයින් වීදුරුවක් අතැතිව මහා නළු ගාමිණී ෆොන්සේකා සමඟින් සමාජ ශාලාවක් තුළට යන දර්ශනයකින් එය ආරම්භ කෙරුණා. කොහොම හරි වෙනදා පල්ලියට ගිහින් එනවාට වඩා රෑ වුණු මේරි අම්මාගෙන් හොඳටම ගුටිත් කෑවා.

චණ්ඩියා චිත්‍රපටයේ මේරිගේ රංගනය දුටු රැලෙක්ස් රණසිංහ ඇයගේ ඡායාරූපයකින් විසිතුර පුවත්පතේ මුල් පිටුව සැරසුවා. එය දුටු තිිස්ස අබේසේකරයන් මේරි සොයාගෙන ඇයගේ ගෙදරට ගියේ තම සිනමා නිර්මාණයක් වූ කණාමැදිරියෝ සඳහා ඇයට රංගනයට ආරාධනා කරන්නයි. මෙතැනදි තිස්ස අබේසේකරයන් ඇයගේ නම වෙනස් කරන්න තීරණය කරනවා. ගණ බලලා එහෙම මේරිට තවත් අලුතෙත් නමක් ලැබුණා. සෝනියා දිසා. එදා තිරයේ දඟකාරම පෙම්වතිය.

‘ඇත්තටම ඔව්. මට ලැබුණෙම ඒ වගේ චරිත. සෝනියා කියන නම තමයි රිදී තිරයෙන් මට වාසනාව ගෙනාවේ. ඔහොම හොඳ ද චිත්‍රපටයේදී මම ප්‍රධාන නිළිය ලෙසින් රංගනයට එක් වුණා. ඔබ දුටු දා, කොහොමද වැඩේ, හරි මග, මීමැස්සෝ, සූරයන්ගෙත් සූරයා, ප්‍රවේශම් වන්න, පරාවළලු, ජනක සහ මංජු, හිඟන කොල්ලා, වතුර කරත්තය, තුෂාරා වැනි චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවකට දායක වුණා. තුෂාරා චිත්‍රපටය නිසා මට සමහරු මහසෝනියා කියලත් කිව්වා’.

රිදී තිරය වාසනාව ගෙනාවත් අද ඔබ රිදී තිරයෙන් ඈත් වෙලා?

මගේ මහත්තයා කරුගේ අසනීප තත්ත්වය සමඟින් මට සිනමාවෙන් දුරස් වෙන්න සිදු වුණා. කරු නැති වෙලා දැන් අවුරුදු පහක්. ඒ කාලයේ සිනමාවෙන් මා ඉපයූ සියලු සේසතම ගෝල්ඩන් කී වංචාවට හසු වී මට අහිමි වෙන විට ඕස්ට්‍රෙලියාවේ වෙසෙන මගේ දුව සහ පුතා ළඟට යන්න සිදු වුණා. දැනට ලංකාවේ මට ඉතිරිව තියෙන එකම සේසත කොම්පඤ්ඤ වීදියේ පිහිටි මගේ නිවෙසයි. නව සමසමාජ පක්ෂයේ නායකයෙක් එය බලෙන් අයිති කරගන සිටීමට විරුද්ධව මම නීතිමය ක්‍රියා මාර්ග ගත්තා. ඒ ගේ මගේ. සැබෑ හිමිකරු මම. ඒ නිසා අදාළ නඩුවේ තීන්දුවට අනුව මට ඒ ගේ ලැබුණා. ඒ වුණත් තවමත් මට ගෙදර වෙනුවෙන් සටන් කරන්න සිදු වෙලා.

ඇයි ඒ?

මට නඩුවෙන් ජය හිමි වුණත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලඥයා මගේ ගෙදරින් යන්නේ නැහැ. නිවාස දෙපාර්තමේන්තුව විසින් දෙවතාවක්ම දැනුම් දීලා තියෙන්නේ. ඒ වුණත් ඔහු මගේ ගෙදර මට දෙන්නේ නැහැ. නඩුව දිනලා දැන් මාස තුනක් විතර ගත වෙලා. මට කනගාටුයි ඔහු මෙහෙම කරන එකට. මම අදාළ දේශපාලඥයාට නෙවෙයි මේ ගෙදර දුන්නේ. ඔහුගේ පක්ෂයේ වෙනත් අයෙකුට. මගේ තියෙන හිතවත්කමට පක්ෂ කාර්යාලය වෙනුවෙන් මම ගෙදර දුන්නේ මාසික කුලියවත් අරගෙන නෙවෙයි. දැන් පක්ෂය කැඩිලා ගිහිින් එහි ඉතිරිව සිටින අදාළ පුද්ගලයා මගේ ගෙදර බලෙන් පදිංචි වෙලා ඉන්නේ.

මම චණ්ඩියා චිත්‍රපටයට යන්න එළියට බැස්සේ මේ ගෙදරින්. මම සිනමාව තුළ දියුණු වුණේ මේ ගෙදර පදිංචි වෙලා සිටි කාලයේදීයි. මම දියුණු වුණු ගෙදරින්මයි මම ආයෙමත් නැඟිටින්න ඕනෑ. එතැනින් තමයි මම ඔළුව උස්සන්න ඕනෑ.

දැන් ඔබට ආයෙමත් රංගනයට අවස්ථාව ලැබුණොත්?

මම අවුරුදු දහයකින් විතර රඟපෑවේ නැහැ. ඒ වුණත් රංගනයට තියෙන ආදරය නම් චුට්ටක්වත් අඩු වෙලා නැහැ. ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලයේදිත් ලංකාවේ චිත්‍රපට ටෙලි නාට්‍ය එකක්වත් මඟහරින්නේ නැතුව බැලුවා. මම රඟපාන්න හරිම ආසාවෙන් ඉන්නේ. එදා රංගනයන් මගේ හිතට අදටත් සතුට ගෙන එනවා. අපි වයසට ගියත් අපේ හිත වයසට යන්නේ නැහැනේ. එදා රංගනය ගැන වූ ඇල්ම, ධෛර්යය අදටත් ඒ විදියටම හිතේ තියනවා. මම මිය යන තෙක්ම සිනමාවට ආදරය කරනවා.

එදා රංගනයන් ගැන අද මොකද හිතන්නේ?

සමහර ඒවා නම් මතක් වෙනකොට ලැජ්ජත් හිතෙනවා. මට වැඩිපුරම ලැබුණේ නපුරු චරිත තමයි. ඒක වෙනස් වුණේ ජීවන ගංගා චිත්‍රපටයෙන්. එහි මට බොහොම දුක් විඳින අම්මා කෙනෙකුගේ චරිතයක් ලැබුණා. ජනක සහ මංජු චිත්‍රපටයේ රංගනයත් කැපී පෙනෙන එකක් වුණා.

ඒ කාලයේ සහෝදර රංගන ශිල්පිනියන්?

මම ගොඩක්ම රඟපෑවේ මාලිනී ෆොන්සේකා සමඟයි. ඒ කාලයේ මම චිත්‍රපට චරිතවලදී මාලිනීට ගොඩක් දුෂ්ටකම් කළා. ඇය මට සිනමාවෙන් හමු වූ හොඳම මිතුරියක්. සහෝදරියක්.

එතකොට පෙම්වතිය වුණේ?

එදා රිදී තිරයේදී ගාමිණී, විජය, ටෝනි, ජෝ, ලයනල් දැරණියගල වැනි රංගන ශිල්පීන්ට පෙම්වතිය වුණා. ඔවුන් සමඟින් වූ රංගනයන් විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. එදා හරිම සහයෝගයෙන් අපි වැඩ කළා. සුහදව කතා කළා. ඒ නිසාම එදා ඒ රංගනයන් ඉතාමත් සාර්ථක වුණා.

කාලයෙන් කාලයට ගොඩක් අය වෙනස් වෙන කාලයේ එදා මිතුරුකම් අදටත් තියෙනවාද?

ඒ ගැන නම් විශේෂයෙන් කියන්න ඕනෑ. සිනමාවේ මගේ මිතුරිය මාලිනී අදටත් ලංකාවට ආ බව දැනගත් විගස කතා කරනවා. එදා ඇය සමඟ ඇති වූ ඒ සහෝදරකම අදටත් ඒ විදියටම තියෙනවා. ඒ විතරක් නෙවෙයි ශ්‍රියානි, ගීතා, රවීන්ද්‍ර, ජීවන්, ෂෙරීන් කුමාරතුංග මේ හැමෝම මම ගැන හොයලා බලනවා. සුනිල් ටීත් මාත් චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය කළා. ඔහුත් අද මා වෙනුවෙන් බොහෝ උපකාර කරනවා. යමක් කමක් තියෙන කාලයේ ඉන්න මිතුරන්ට වඩා කිසිවක් නැති වූ කාලයේ ළඟින් සිටින මිතුරු මිතුරියන් තමයි ගොඩක් වටින්නේ. මට මොන දේ නැති වුණත් මේ වගේ මිතුරු මිතුරියන් පිරිසක් ලබන්න වාසනාවන්ත වුණ එක ගැන ලොකු සතුටක් හිතේ තියෙනවා. ඒ වගේම මම මේ හැමෝටම මගේ හද පිරි කෘතවේදිත්වය පුද කර සිටිනවා.

එදා ඔබ සාර්ථක වූ චිත්‍රපට නිෂ්පාදිකාවක්. දැන් ආයෙමත් ඒ ගැනත් හිතන්න කාලය ඇවිත්?

මම සිනමාවේ සාර්ථක රංගන ශිල්පිනියක් වගේම චිත්‍රපට නිෂ්පාදිකාවකුත් වෙන්න ලැබුණා. මේ දක්වා මම මගේ එකම අරමුණ බවට පත් වෙලා තිබුණේ මගේ ගෙදර. මීට පෙර කිහිප වතාවක්ම ලංකාවට ඇවිත් ආපසු ගියත් මේ සැරේ මම ආවේ ලොකු ජයක් හිමිකර ගෙන. ඉදිරියට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සඳහා ආරාධනා ලැබුණොත් රඟපානවා.

ඒ වගේම නිෂ්පාදනය ගැනත් හිතලා බලන්න ඕනෑ.

ඔබ ලංකාවේ පදිංචි වෙනවාට දුව සහ පුතා අකමැති ඇති?

ඒ දෙන්නාටම ඕනෑ මාව එයාලා ළඟින්ම තියා ගන්න. ඒ වුණත් මගේ ස්ථිර පදිංචිය තියෙන්නේ ලංකාවේ. මට ඕස්ට්‍රේලියාවේ දේශගුණය ගැළපෙන්නේ නැහැ. ඒ දෙන්නාම දැන් ඒක තේරුම් අරගෙන ඉන්නේ.

මුහුණ දුන් සිදුවීම් සමඟින් ආපසු හැරිලා බලන කොට මොන වගේ හැඟීමක් ද දැනෙන්නේ?

මම කාටවත් වැරදි කරලා නැහැ. මං මට පුළුවන් හැමෝටම උදව් කරන එකයි කළේ්. කොම්පඤ්ඤවීදියේ ගෙදර වුණත් මම දුන්නේ හිතවත්කමට. ඒ වුණත් මගේ ගෙදර වෙනුවෙන් මට නඩුත් කියන්න වුණා. මම නිවැරදි නිසා මට වැරදුණේ නැහැ. කවුරු වුණත් වැරදි කළේ නැත්නම් වරදින්නේ නැහැ. මට දැන් ආයෙමත් නැගිටින්න පුළුවන්. ඒ වගේම මගේ හිත හරිම ශක්තිමත්. ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න ශක්තිය, ධෛර්යය මට තියෙනවා. ඉදිරි කාලය සැහැල්ලුවෙන් ගත කරන්නයි මම ප්‍රාර්ථනා කරන්නේ.