වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ

ගායන ශිල්පියෙක් හා ශිල්පිනියක් තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය

නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ

ප්‍රවීණ ගායන ශිල්පී මහාචාර්ය සනත් නන්දසිරි

නව වසරේ ‘මතක ගී පොත’ විශේෂාංගය සැරසෙන්නේ නැවුම් ආකාරයෙනි. මෙතෙක් ‘මතක ගී පොත’ මඟින් තම අතීතය ගෙනහැර පෑ ගී පද රචකයන් වෙනුවට අද සිට තම අතීතය ගෙනහැර පාන්නේ ගායක, ගායිකාවෝය. ඒ අනුව ඔබ හමුවට පළමුව පැමිණෙන්නේ ප්‍රවීණ ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි ය.

එකල මා පාසල් ගියේ අපේ ගම වූ ගොතටුව විද්‍යාලයට හා දෙමටගොඩ ශාන්ත මැතිව් විදුහලට ය. එහි යන කාලයේ තබ්ලාවට පෙම්බැන්ඳ මම තබ්ලාව පිළිබඳ උගැන්මට බොරැල්ල වයි. එම්. බී. ශාලාවට ගියෙමි. එහිදී වාද්‍ය විශාරද ඩී. ආර්. පීරිස්. ගුරුතුමා යටතේ තබ්ලාව හැදෑරූ මට ඔහුගේ හොඳම ශිෂ්‍යයා වන්නට වරම් ලැබිණි. මා නිතර පිවිසෙන බොරැල්ල වයි. එම්. බී. ශාලාවේ තිබුණේ තබ්ලා පන්තියක් පමණක් නොවේ. ගායන පන්තියක් ද එහි පැවැත්වුණු අතර එහි ගුරුතුමා වූයේ ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ය. ගුරුතුමාගෙන් මා තබ්ලා ඉගෙන ගනිද්දී, ගායන පන්තියෙන් ඇසෙන මියුරු රාගවල ස්වරය අසා සිටින්නට මම දැඩි කැමැත්තක් දැක්වීමි. අභ්‍යාසවල නියැළෙන ළමුන්ගේ මෙන්ම අමරදේවයන්ගේ මියුරු ස්වරය ද ඈතට ගලාගෙන ගියේ අපේ හදවත් සුවපත් කරමිනි.

මගේ ගුරුතුමා හා අමරදේවයන් අතර වූයේ අපූරු මිතුදමකි. ඒ මිතුදම කෙතරම් ද යත් අමරදේවයන්ගේ විවිධ නිර්මාණවලට තබ්ලාව වැයුවේ ඔහුය. අද මෙන් එකල තබ්ලා ශිල්පීන් බහුල නොවූ අතර ඒ එක් දිනෙක මට මුහුණ දෙන්නට සිදුවූයේ නොසිතූ විරූ අත්දැකීමකටය. හදිසියේම අපගේ පන්තියට පැමිණි අමරදේවයන්ට මගේ ගුරුතුමා අපූරු යෝජනාවක් කළේය.

‘ඔන්න අමරදේව මට වැඩ තියෙන දවසට කතා කරගන්න අපූරු කොලු ගැටයෙක් ඉන්නවා. මිනිහා හරි හපනා තබ්ලා වයන්න’.

අවුරුදු දහසයක කොලු ගැටයෙක් වූ මා පුදුමයට පත් කරමින් කියූ ඒ කියුම නිසා අමරදේවයන් ඇසුරු කිරීමේ භාග්‍යය මට හිමි විය. ඉන්පසු ඔහු තම ගායන පන්තියේ තබ්ලා වැයීමට මා සහභාගි කරගත්තේ ය. එමෙන්ම ඔහු සහභාගි වන ප්‍රසංගවලට ද තබ්ලාව වැයීම සඳහා මා සහභාගි කර ගැනීමට තරම් අමරදේවයන් නිහතමානී අයෙක් විය. මේ ආකාරයෙන් මගේ ගුරුදේවයන් නොමැති අවස්ථාවල විවිධ නිර්මාණ සඳහා අමරදේවයන් මා සහභාගි කරගත් අයුරු සිහිපත් කරන මේ ගීතයට මම බෙහෙවින් පි‍්‍රය කරමි.

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ රූබර
ස්වර්ණමාලියේ //

උනා නීල වර්ණ වරළ
දෑලේ මල් ගැවසි ලියේ
නගා ඉන්ද්‍රචාප දෙබැම
ඇසින් විදුලි මවන ලියේ
වනා ළමැඳ කිණිහිරි පෙති
රත්න තිලක පැලැඳි ලියේ
සිනා සිසී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ //

අතේ ගිගිරි නාද සළඹ
නුරා හසින් හඬනලියේ
කරේ පද්ම කැකුළු මාල
හංස තුඩින් පිපෙන ලියේ
කනේ තෝඩු මිණිගන රන්
මූණ ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ//

බාල චන්ද්‍ර පටු නළලත
අලක පඬුන් රඟන ලියේ
ආලවඩන දන්ත කැකුළු
කුණ්ඩ සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණ දාම
තාල හඬට සැලෙන ලියේ
කෝළ නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ//

 

ගේය පද – මහගම සේකර

සංගීතය – ඩබ්ලිව්. ඩී. අමරදේව

ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව

මේ ගීතයේ තනුව නිර්මාණය කර ඇත්තේ අමරදේවයන් දැඩි සේ පි‍්‍රය කරන කිර්වානි රාගය ආශ්‍රයෙන් බව පෙනෙයි. එතුමා මීට පෙර ගැයූ ‘පීදේ මිහිරි සුවඳ මල්’ ගීතයත් නිර්මාණය වී ඇත්තේ කිර්වානි රාගයෙන්මය. මේ රාගය පරිහරණය කළ පළමු සංගීතවේදියා අමරදේවයන් බව මගේ හැඟීමය. මේ රාගය දක්‍ෂිණ භාරතීය රාගයක් වුවත්, මේ ගීතයේ බෞද්ධ පරිසරය, බෞද්ධ හැඟීම්, භක්ති රසය උද්දීපනය වන අයුරින් ස්වර සංකලනය සිදුකර ඇති අයුරු කදිමය. ගැයුමත් එසේමය. බෞද්ධ හැඟීම් උද්දීපනය වන අයුරින් ගැයෙන මේ ගීතය ඔහුගේ හඬටම ආවේනික වූ ගීතයක් යැයි හැඟේ.

මේ ගීතය අසනා සෑම අවස්ථාවකම මගේ මතකයට පිවිසෙන තවත් කාරණයක් තිබේ. එනම් සංගීතය උගැන්මට ඉන්දියාවට ගොස් පැමිණි එක් නිවාඩුවක දී අමරදේවයන් මා මුණ ගැසීමට කොළොන්නාවේ පිහිටි අපගේ නිවෙසට පැමිණි අයුරුය. ඒ චිත්‍රපටයක ගීතයක් ගැයීමට ආරාධනා කිරීම සඳහාය. මා තබ්ලා වැයීමට පමණක් නොව ගී ගැයීමට ද හපනෙකු බව එතුමා දැන සිටියේය. ඒ වනවිට විසිඑක්වන වියේ පසු වූ මම අමරදේවයන් කළ මේ යෝජනාව හිස් මුදුනින් පිළිගතිමි.

ඒ ගීතය ගැයීමේ අවස්ථාව මා ලද්දේ ‘සැඩොල් කඳුළු’ චිත්‍රපටය සඳහාය. හෙන්රි ජයසේනයන් ලියූ ‘තෙරක් නැති ආශා.....’ නම් ඒ ගීතය මම හැකි උපරිමයෙන් ගැයීමි. මේ ගීතය මගේ පළමු චිත්‍රපට ගීතය මෙන්ම අමරදේවයන්ගේ සංගීතයට ගැයූ පළමු ගීතය ද වන්නේය.

මහගමසේකරයන් ගේ ඇසුරට මා මුලින්ම යොමු වූයේ ‘සිහින ලොවක්’ චිත්‍රපටය නිසාය. ඔහු රචනා කළ ‘මෙගොඩ ගොඩින් අපි යනවෝ’ කියන ගීතය ගයන්නට මට ආරාධනා ලැබුණු අතර ඒ ගීතය ගයා අවසානයේ ඒ අසා සිටි ඔහු “බොහොම අගෙයි. බොහොම අගෙයි” යනුවෙන් මගේ පිටට තට්ටුවක් දැමූ අයුරු මට අද මෙන් මතකය. ඒ නිසා මේ අතීතය ගෙනහැර පාන අමරදේවයන්ගේ ‘ඔබේ නමින් සෑය බඳිමි” ගීතය මම සැමදා පි‍්‍රය කරමි.

අපේ ගීත කෝකිලාව හා නිළි රැජන රුක්මණී දේවියගේ මියුරු ස්වරයෙන් ගැයෙන මේ ගීතය ද මගේ සිත් ගත් ගී අතර වෙයි.

සැප නෑ අහෝ මේ ලෝකයේ
සැප නෑ අහෝ මේ ලෝ.....
ජීවන නෞකාවේ භව සාගරේ
සැප නෑ අහෝ මේ ලෝකයේ
සැප නෑ අහෝ මේ ලෝ.....

හැලෙනා කඳුළු ආලෙ නිසා වූ
කිමපල ජීවිතේ සැපත නිමා වූ
ලෝ ජන සැනසේ ලබනා වූ මේ
සිහිනයකි සැප ජීවිතේ
සැප නෑ අහෝ මේ ලෝකයේ

රූපේ සැපෙන් පාලා පාලා
ඇවිලේ හෘදයේ සෝ ගිනි ජාලා
ඇයි ද අහෝ මේ කඳුළු ජලාසේ
මැව්වේ අපගේ ජීවිතයේ
සැප නෑ අහෝ මේ ලෝකයේ

 

ගේය පද – හර්බට් එම්. සෙනෙවිරත්ත

සංගීතය – එස්. එස්. වේදා

ගායනය – රුක්මණී දේවි

ජිංජූති රාගයේ ඡායාව රැඳී ඇති බව පෙනෙන්නට තිබෙන මේ ගීතයේ රාගධාරී පසුබිම මා වටහා ගත්තේ පසු කලෙක රාගධාරී සංගීතය හැදෑරීමෙනි. කොහොම නමුදු රුක්මණී දේවිය ගැයූ මේ ගීතයෙන් කුඩාකල මගේ රස මනස අවදි කළ බව නොරහසකි. වයස දහයක් තරම් වූ කුඩා කාලයේ අප නිවෙසේ තිබූ වෑර්ලස් එකෙන් මේ ගීතය රස විඳි අයුරු මට මතකය. ස්වදේශීය සේවයෙන් නිතර ප්‍රචාරය වන මේ ගීතය ඇසෙන කුමන මොහොතක හෝ වෑර්ලස් එක ළඟට දුවගෙන ඒමට මම පුරුදු වී සිටියෙමි. ඒ ගීතය අසන සෑම මොහොතකම විශේෂයෙන්ම එහි වරින්වර ඇසෙන තබ්ලා හඬට මම ඕනෑකමෙන් ඇහුම්කන් දුනිමි. ඊට මා කෙතරම් ඇලුම් කළේ ද යත් තබ්ලා වාදනය උගැන්මට මගේ සිත පෙලඹූයේ ද ඒ ගීතයමය.

එතරම් මා ආදරය කළ ඇයව කුඩාකල දක්නට ලැබුණු අවස්ථාවක් මට මේ වෙලාවේ සිහිපත් වෙයි. ඒ අපේ අක්කාගේ පාසල වූ මරදාන ශාන්ත ලෝරන්ස් විද්‍යාලයෙන් පැවැත් වුණු චන්ද්‍රලේඛා ගුණ සැමරුම් උත්සවයේ දීය. මේ උත්සවය පැවැත් වූයේ බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේය. එකල කුඩා කොලු ගැටයෙකු වූ මම ද අක්කලා සමඟ ඒ උත්සවය සහභාගි වීමි. ඒ වනවිටත් නිළි රැජනක ලෙස අභිසෙස් ලැබ සිටි ඕ සුරංගනාවක සේ සැරැසී බියුකේට් රථයෙන් බැස්සාය. පළමුවරට ඇයව මා දුටුවේ එලෙසිනි. ගීත කෝකිලාවක බඳු වූ රුක්මණී දේවියගේ මියුරු ස්වරයට මෙලෙස මා කෙතරම් පි‍්‍රය කළ ද, කලෙක දී ඇය සමඟ මිතුරු විය හැකි වගක් වේ යැයි මම සිහිනෙනුදු නොසිතීමි. එහෙත් එම අවස්ථාව උදාවූයේ අහම්බයෙනි.

ඒ කහවත්ත ප්‍රදේශයේ තිබුණු සංගීත ප්‍රසංගයක් සඳහා සහභාගි වූ දිනයකි. රුක්මණී දේවිය ද එහි ගියේ මගේ මෝටර් රථයෙනි. තවත් කිහිප දෙනෙක් මේ ප්‍රසංගය සඳහා රථයේ ගමන් කළ බව මට මතකය. එදින අපි බොහෝ දේ කතාබහ කළෙමු. එහිදී කුඩාකල පටන් පි‍්‍රය කළ මේ ගීතය පිළිබඳ ද විමසන්නට මම අමතක නොකළෙමි.

‘ඔය ගීතයේ තබ්ලාව වයන්නේ පොඩි අමරදාස කියන සංගීත ශිල්පියා’

ඇය තවදුරටත් පැවසුවාය. කහවත්තට යනවිට අවට වූයේ හීන් පොද වැස්සකි. කුඩය ඉහළා ඇයව ඒ යටින් නියමිත ස්ථානයට රැගෙන යන්නට ද මට අවස්ථාව උදා වූයේ ඉබේමය.

පළමුවර ඇයවත්, දෙවනුව මල්කාන්තිවත් මම ඒ ස්ථානයට රැගෙන ගියෙමි. එතැනින් ඇරැඹුණු අපේ මිතුදම දිගු කාලයක් පුරා පැවැතිණි. ඇය නිතර අපගේ නිවෙසට ආවා ගියාය.

මේ අතීතය සිහිපත් වනවිට ගීතය පිළිබඳ ද යමක් කිව යුතුමය. හින්දි ගීතයක් ආශ්‍රයෙන් ලියැවුණු මේ ගීතයේ සංගීතයත්, ගැයුමත්, පදත් අපූරු යැයි මම සිතමි. හින්දි ගීතයට වඩා මේ ගීතය සුන්දර බව එකල සිටි බොහෝ දෙනා කියූ කියුමකි. ඊට පසුව කොපමණ ගීත බිහි වුණත් ඒ සියල්ලටම වඩා මේ ගීතයේ තනුවට, ගායනයට මෙන්ම ගී පදවලට ද මම බෙහෙවින් පි‍්‍රය කරමි.