වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




කොච්චර බිව්වත් ගාණට සිංදුව කිව්වා

කොච්චර බිව්වත් ගාණට සිංදුව කිව්වා

රසිකයෝ හූ කියනකම් ක්ෂේත්‍රයේ ඉන්නයි මම හිතුවේ

එයත් තලවිල ආවා මමත් තලවිල ආවා - අන්තිමට දෙන්නා සෙට් වුණා

ශාන්ත සෙබස්තියන් සොරොව් කටට උඩින් කෙඳි කෙඳි විදියට පෙරෙන ළා රතු ඉර එළිය අලුත්කඩේ පුරා තෙරපෙනවා. එතකොටම කඩි ගුලක් වගේ මිනිස්සුත් ඇවිස්සෙන්න ගන්නවා. හුඟ දෙනෙක් කළු කෝට් පොරෝ ගත්ත අද්වකත්ලගේ පස්සෙන් වැටෙනවා. ඇඟමෑලි කඩ කඩ හැමදාමත් උදේ මං ජනෙල් දැල් කවුළුවෙන් ඒ දිහෑ බලන් ඉන්නවා. ඉන් පස්සේ අඩියට දෙකට ඇඳෙන් පැනලා දනිපනිියෙ ඇඳගෙන හූවක දුරින් තියෙන අපේ ශාන්ත සෙබස්තියන් ඉස්කෝලෙට දුවනවා.

එතකොට අමු නාගරික. අපේම යාළුවෝ හුඟ දෙනෙක් මං වගේ කලිසම් කොටේම ඇඳන් එතැනට ඇවිත් ඉන්නවා. ඒ. එච්. එම්. ෆවුසිත් ඒ කලේ එහෙම හිටියා. එයා මගේ පන්තියේ යාළුවෙක්.

ඉතින් මගේ අම්මා බෞද්ධ. තාත්තා බර්ගර්. මට ජෝන්ස් කෑල්ල එන්නේ අන්න එහෙම. පවුලටම හිටියේ එකම එක අක්කණ්ඩියි මමයි විතරමයි. ස්ථිර රස්සාවක් නැති වුණත් තාත්තා අපිට හොඳට උගන්වන්න දහදුක් වින්ඳා. ‘උඹ අහවල් දේ කරපන්’ කියන්න අදහසක් තාත්තාට තිබ්බේ නැහැ. ඒත් මං ඉගෙන ගෙන රස්සාවක් කරයි කියලා එයා හිතන් ඉන්නැතියි කියලා මට දැන් හිතෙනවා. මං සින්දු කියනවට නම් තාත්තා පෙන්නුවෙම අකැමැත්තක්.

මං ඕලෙවල් වෙනතුරුම ඉගෙන ගත්තේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලේ. ඉස්කෝලෙදි ඇනුවල් කොන්සර්ට්වලදී එහෙම මටත් සින්දුවක් දෙකක් කියන්න ලැබෙනවා. එතකොට මං කිව්වෙම වොලී බැස්ටියන්ගේ සින්දු. ඒත් මම එඩී – රුක්මණී, සී. ටී. වගේ අයගෙ සින්දුවලටත් හුඟක් ආස කෙරුවා. එතකොට මං හිටියේ අටේ පන්තියේ. මගේ මාමා කෙනෙක් වොලී බැස්ටියන්ගේ අට දෙනාගේ වාදන කණ්ඩායමේ හිටියා. මං එයාට දවසක් ‘මටත් ආසයි සින්දු කියන්න’ කියලා බයිලා ගීත රහ වැටුණු මම මාමාට කිව්වා.

ඒ කාලේ අද වගේ මහ ලොකු සංගීත ප්‍රසංග නෑ. කානිවල් ෂෝ කියන ඒවා තිබුණේ මහ සැණකෙළි ඇතුළේ. මාමලට ඒ වගේ වැඩ එනවා. මාමත් මගේ පෙරැත්ත කිරිල්ල මතක තියන් ඉඳලා දවසක මාව වොලී බැස්ටියන්ට මුණගැස්සුවා. එදා ඉඳන් මමත් ඔය කෝරස් කියන්න වගේ වොලී බැස්ටියන්ලාගේ කාණ්ඩෙට එකතු වෙනවා. වොලීගේ ගම ගිංතොට. හරිම හිත හොඳ මනුස්සයෙක්. එයා තරුණ අයට අත දුන්නා.

අපි ඔක්කොමලා එකම වාහනේකින් තමයි කානිවල්වලට ගියේ. ඒත් වොලී වැඩ කළේ පොලීසියනේ. සමහර වෙලාවලට එයාට නිවාඩු ගන්න බැරි වෙනවා. මං එතැන හිටිය පුංචිම කොලුව. ඇහිපිල්ලම් නොගහ මං පිටිපස්සට වෙලා බැස්ටියන් අංකල්ගේ හපන්කම් බලා ඉන්නවා. වොලී තමයි සත්‍ය සිදුවීම් ගායනයේ නිර්මාතෘ. හැට ගණන්වලදී බණ්ඩාරවෙල ‘දෝව’ ගමේදී බස් එකක් පෙරළුණා. ‘දෝවේ අඳෙීනාව’ කියලා වොලී සින්දුවක් ලියලා කිව්වේ ඒකෙන්. බණ්ඩා නගරයට ඒම තමයි වොලී ‘යමන් බණ්ඩො වෙසක් බලන්ඩ’ කියලා කළේ. ඊළඟට එයා ‘ඝණ්ඨා නාදේ අවට ඇසෙන්නේ’ කියන්නේ 1958 නුවර පෙරහැරේ අලි කුලප්පු වෙච්ච සිද්ධිය. වොලී එක්ක සින්දු කියද්දි ඒ කාලේ මට දවසට රුපියල් තුනක් හම්බ වෙනවා. ඒක ඉතින් ඒ කාලේ මට තුන්සීයක් වගේ තමයි.

ඒත් මං ගායනේ රස්සාව කර ගත්තෙත් නැහැ. ඉස්කෝලට ආයුබෝවන් කිව්ව මං දවාලට කරන්න රස්සාවකුත් අලුත්කඩෙන්ම හොයා ගත්තා. නීතිඥවරයෙක් ළඟ ලිපිකාර වැඩේටයි මුලින්ම මං ගියේ. ඊළඟට නීති උපදේශක ආයතනයකත් වැඩ කළා. ලඝු ලේඛකයෙක් විදියට මං ලංකා බැංකුවට බැඳුණේ 1963. එදා ඉඳන් අලුත්කඩේ කඳු ගැටේට පිට්ටු බම්බුවක් වගේ මහ උසට පෙනිච්ච බැංකු ගොඩනැගිල්ලට මං උදේ හවා නැග්ගා. ඒත් උදේට මට අඩියට දෙකට වැඩට එන්න වැඩිකල් ඉඩ ලැබුණේ නෑ. ආයතනයෙන් මාව රට වටේ වැඩට යෙදෙව්වා. අම්පාරේ, අනුරාධපුරේ, වැල්ලවත්ත, මීගමුව කොල්ලුපිටිය, කළුතර එහෙම මං වැඩ කෙරුවා. මං තිස් පස් අවුරුද්දක බැංකු රස්සාවට ආයුබෝවන් කිව්වේ මෑතකදී. ඒ අතරතුර සිදුවීම් නම් බොහොමයි.

නොවැරදීම තලවිල දේවස්ථානේ මංගල්ලෙට යන පුරුද්ද මම කොල්ල කාලෙදිත් තිබුණා. අපි පවුල් පිටින් ගිහින් දවස් ගණන් එහෙ කූඩාරම් ගහගෙන ඉන්නවා. එහෙම මංගල්ලේ කාලෙකදි තමයි මං මුලින්ම එයාව දැක්කේ. අපි වගේම ඒ කට්ටියත් පවුල් පිටින් තලවිලට ඇවිත් හිටියේ හලාවත ඉඳන්. ඔය විදියට ඇති වෙච්ච අපේ ප්‍රේම සම්බන්දෙ උඩ අපි විවාහ වුණේ හැටේ දශකයේදී. අපේ විවාහ දවසේ ඇමැති ෆෙස්ටස් පෙරේරා, අනුර බණ්ඩාරනායක මහත්වරුත් ඇවිත් හිටියා මට මතකයි. අපිට පුත්තු දෙන්නෙකුයි දූරු දෙන්නෙකුයි ලැබුණා. පුතාල දෙන්නම දැන් අවුරුදු විසි ගාණක ඉඳන්ම ඉන්නේ ප්‍රංශෙ. එයාල ලංකාවට ආව කාලෙකදි මගේ සින්දු ටික පරෙස්සම් කරලා බලා කියා ගනීවි.

මං ජාතික ගුවන් විදුලියේ පරීක්ෂණයට ඉදිරිපත් වෙලා බයිලා ගායකයෙක් විදියට සමත් වුණේ වොලී ‘ඝණ්ඨා නාදේ’ කියන්න ගත්ත කාලේ. මගේ මංගල ගුවන් විදුලි වැඩසටහන කෙරුණෙත් ඒ 1958 අවුරුද්දෙමයි. මං දෙහිවල – කවුඩානේ අදටත් පදිංචි වෙලා ඉන්න ගේ ගත්තේ 1960 දී පර්චස් එකක් රුපියල් හත්සිය පනහ ගාණේ. ඒ කලේ මෙහෙ වැඩිය ගෙවල් නෑ, කැලේ.

වොලී බැස්ටියන් එතකොට පොලිස් සාජන්ට්. එයාට පොලීසියේ වැඩ නිසා යන්න බැරි වෙන ෂෝවලට සමහර වෙලාවට යැව්වේ මාව. මගේ දක්ෂතාවන් හඳුනා ගත්ත නිසා ද කොහෙද වොලී මට සින්දුත් හදා දුන්නා. මමත් ටික ටික තනියෙන් මගේම සින්දු කියන්න ගත්තා. එතැනින් පටන් ගත්ත ගමනේදී මමත් හිතුවේම වොලී වගේ සත්‍ය සිදුවීම්වලින්ම ගීත කියන්න. සුළි සුළං, පොඩි විජේ, ආසයි බයයි, කන්දේ හැපුණ මහ වනන්තරේ, මරු සිරා, ප්‍රේමවතී මනම්පේරි වගේ මගේ හුඟක් ගීත සිදුවීම්වලට අත්තිවාරම වැටිච්ච හිත කකියවන සිද්ධි තියෙනවා. ගීතය තුළින්වත් සත්‍ය මතක් කර දිය යුතුයි කියලා මං හිතුවා.

ප්‍රේමවතී වෙඩි කාලා වලේ ඉඳන් මරණ වේදනාවෙන් කරාබු දෙක ගලවල ඇලඩින්ට දෙන එක. ඇගේ අම්මා ගැන මතක් කරන එක. මේවා හරි සංවේදී කාරණා. මටත් ඒ ගීතේ කියද්දී මේ සිද්ධි මැවිලා පෙනිලා තියෙනවා.

මගේ සුළි සුළං, පොඩි විජේ, ආසයි බයයි වගේ ගීතවල පද රචනා බී. ජේ. එදිරිසිංහගේ. ප්‍රේමවතී මනම්පේරි ගීතේ ලිව්වේ ඇන්ටන් අයිසෙක්. ඒ මගේ මිත්‍රයෙක්. එයා අන්තරා වුණා මේ ළඟදී. සීගිරි ගිරි ශිඛරය, මට කම් නෑ සුදු සින්දුත් ලිව්වේ ඇන්ටන්මයි.

කන්තෝරුව කන්තෝරුව ජේ. ඩී. සුමනපාලගේ පද රචනාවක්. කන්දේ හැපුණ මහ වනන්තරේ, මරු සිරා සින්දුවල ගී පදත් මගේ. සින්දු පන්සීයකට වඩා මං කියලා තියෙනවා. එයින් හුඟාක්ම ඒවා සත්‍ය සිදුවීම්.

මිල්ටන් මල්ලවාරච්චි උඩහමුල්ලේ ගෙදර ඉඳන් නිතර නිතර අපේ දෙහිවල ගෙදරට ඇවිත් ගිහින් තියෙනවා. ගෙදරදි අපි කට්ටිය එකතු වුණාම කළේම කාඩ් සෙල්ලම්. මිල්ටන් හැම අවුරුද්දකම වගේ එයාගේ අම්ම වෙනුවෙන් ලොකු දානයක් දුන්නා. එදාට මිල්ටන් අපේ පවුලේ හැමෝටමත් එන්න කියනවා. සමහරදාට මිල්ටන්ල එද්දි රනිල් පුතාවත් අපේ ගෙදර එක්කර ගෙන එනවා. එතකොට රනිල් හරි පුංචියි. අපේ පොඩි ළමයි දුවලා ගිහින් රනිල්ව වඩාගන්නව මට මතකයි.

මං සංගීත ප්‍රසංගවලට රට වටේ විතරක් නෙවෙයි, ලෝකෙ වටේත් ගිය කෙනෙක්. ඉතාලියෙ, ප්‍රංශෙ, කැනඩා, ජපානෙ, කොරියා, ලෙබනන්, සයිප්‍රස්, ඩුබායි, අබුඩාබි, කුවේට්, කටාර් ඉතින් තව කොහෙ කෙහෙද? ඒත් රැකියාවෙන් නිවාඩු අරගෙනයි ගියේ. හැබැයි ඇමෙරිකාවට ගිය ගමනෙදි නම් මට රසිකයො එන්න දුන්නෙ තුන් මාසෙකට පස්සේ. ඒ මාස ගණනම මට බැංකු රස්සාවෙන් නෝපේ යන්නයි වුණේ. ලංකාවෙ ඇතුළේ මං නොගිය අස්සක් මුල්ලක් නැහැ. හැත්තෑවේ දශකයේ ප්‍රසංගවල මගේ මිනි ගවුම සින්දුවට තිබුණේ පුදුමාකාර ඉල්ලුමක්. රටේ හැම ගම්මානයකින්මත් මට ලැබිච්ච ප්‍රතිචාර ඉහළයි.

ගායන ලෝකෙදි මට ගොඩක් මිත්‍රයොත් මුණ ගැහුණා. ජෝතිපාල එක දිගට බිව්වා. මිල්ටන් පෙරේරා බීල බීල කන්නේ නෑ. කාපන් කිව්වොත් කේන්ති යනවා. ෂෙල්ටන් පෙරේරාත් එහෙමයි. ජෝති බීගත්තහම වැඩිපුර කිව්වෙම කුණුහරුප තමයි. ඒ වුණාට පුදුම හිත හොඳ මිනිහෙක්. ඒ කවුරුවත් සල්ලි පස්සේ එලවපු අය නෙවෙයි. අනෙක එහෙම කියන මමත් නොබිව්ව මිනිහෙකුත් නෙවෙයි. සමහර වෙලාවට ගම් ඇතුළට යද්දී මං බඩු අරන් වාහනේට දාගෙන ගියේ. ඒත් කොච්චර වුණත් ප්‍රසංගයක් තියෙනවා නම් මං ඒ වැඩේ කළේ ගාණකට. මං කොච්චර බිව්වත් හොඳට සින්දුව කියනවා. එතකොට කෝටි ගාණක් මිනිස්සු මට අත්පොළසන් දීලා තියෙනවා. ඒ කාලේ සමහරු ඇන්ටන් ජෝන්ස් එනවද අහල තමයි සංගීත ප්‍රසංගවලට ආවේ. මම එන්නේ නැහැයි කිව්වොත් සමහරු සංගීතේ බලන්න ආවෙත් නැහැ.

දැන් මගේ වමතයි වම් පයයි වාරු මදි. අවුරුදු හය හතක ඉඳන් මං ඉන්නේ එක්තැන්ව. ඒක හදිසි අනතුරකින් පස්සේ තමයි මෙහෙම වුනේ. ඒත් එදා ප්‍රසංගවලට මාව නැතිවම බැරි වෙච්ච හුඟ දෙනකුට අද ඇන්ටන් ජෝන්ස් කියල කෙනෙක් ඉන්නවද නැති ද කියල වගේ වගක් නෑ. දැන් එක්තැන් නිසා මගේ හිතටත් දුකයි. මෙහෙම ඉඳීම හරිම අමාරු දෙයක්. ඒත් මොනවා කරන්නද? ජීවිතේ හැටි ඔහොම තමයි. රසිකයො හූ කියන කල්ම ක්ෂේත්‍රයේ රැඳී ඉන්නයි මමත් ඒ කලේ හිතුවෙ . . .’
 

මං

ඇන්ටන් ජෝන්ස්