වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත්ම ටෙලි නාට්‍ය පටන් ගන්න තිබියදී තාරකා වාසලමුදලි අතුරුදන් වෙලා

අලුත්ම ටෙලි නාට්‍ය පටන් ගන්න තිබියදී තාරකා වාසලමුදලි අතුරුදන් වෙලා

පොතකින් පුවත්පතකින් දෙන හැඟීම පාඨකයන්ට වෙන කිසිම මාධ්‍යයකින් දෙන්න බෑ

මාධ්‍ය ජීවිතය පටන් ගත්තේ රුහුණු සේවයෙන්

හැමදාම ඇලුම් කළේ ලිවීමේ කලාවට

එය හරවත් වූ සංවාදයකි. නිවේදිකාවගේ චතුරත්වය හා සංවාදාත්මක ස්වරූපයත්, එයටම නොදෙවැනි වූ ඇයගේ සුන්දරත්වයත් සුනේත්‍රා රාහුබද්ධ මහත්මියට වස්තු බීජයක් විය. ඇය තම සාකච්ඡාව අතරතුර නිවේදිකාවගේ කතා කරන නිලුපුල් දෙනෙත් දෙස මොහොතක් බලා සිටියේ සුනේත්‍රා සෙයමින් සිටි නිළිය ඇය නොවේදැයි සිතමිනි.

ඇය නිෂ්පාදනය කළ ‘පිපි පියුම්’ කතාවට වස්තු බීජය වූ නිකිනි මේ සාකච්ඡාවට එක් වූ නිවේදිකාවම වීම පුදුමාකාර අහඹු සිදුවීක් විය. ඇත්තටම ඔයාව තමයි මම මෙච්චර කාලයක් හෙව්වේ. මගේ ඊළඟ නාට්‍යයේ මේන් රෝල් එක ඔයා කරන්න ඕනේ . . .’ මේ ඇරැයුමත් සමඟම නිවේදිකාව නිරුත්තර වූයේ තමා කිසි දිනක නොසිතූ ක්ෂේත්‍රයකට පිවිසීමේ බිය සිිතේ ගුලි කරගෙනය. ‘ඔය වැඩේට අපේ වැඩ සටහන් අධ්‍යක්ෂ නලීන් කරුණාරත්න මහත්තයා අවසර දෙන එකක් නැහැ. ඊටත් චන්දන අයියා මොකක් කියයි ද දන්නෙ නැහැ.’ මේ අයුරින් ඇය පැවසුවේ තමාට ලැබුණු ආරාධනයේ සිත් නොතලා ඈත්වීමේ අදහසිනි. එහෙත් සුනේත්‍රා එයින් නතර නොවීය. ඇය ස්වර්ණවාහිනි ආයතනයෙනුත්, චන්දනගෙනුත් අවසර ගත්තේ ටෙලි නාට්‍ය සඳහා තෝරා ගත් නිළිය වෙනස් කිරීමට ඇති අකැමැත්ත නිසාමය.

දැන් සියල්ල සූදානම්ය. එහෙත් පුදුමයකි. නාට්‍ය සඳහා පැමිණීමට පොරොන්දු වූ නිවේදිකාව මුහුරත් උළෙල දිනට පෙර අතුරුදන්ය. සුනේත්‍රාට දෙලොව රත් වුණි. ඇයගේ දුරකතනය විසංධිය. අවසාන මොහොතේ වුණු මේ සිද්ධියත් සමඟ නාට්‍යයේ වැඩ සියල්ලටම තිත තබන්නට සිදු වී තිබුණි. යාන්තමින් මුහුරත් උළෙල දිනයට පෙර රාත්‍රියේ නිළියගේ දුරකතනය නැවත සම්බන්ධ කර ගත්තේ පුදුමාකාර වාසනාවකිනි. සුනේත්‍රා යාන්තමින් නැවතත් නාට්‍ය ගැන බලාපොරොත්තු තැබුවාය.

සුපුරුදු ලෙසින් මුහුරත් උළෙල ආරම්භ විය. සාරංග, බිමල් ඇතුළු තවත් නළු නිළියන් රැසක් රංගන දායකත්වය දුන් මේ නාට්‍යයේ සියලුම දෙනා පැමිණ තිබුණි. එහෙත් ප්‍රධාන චරිතය සඳහා තෝරා ගත් නිළිය නම් තවමත් එහි නොවීය. නැවතත් සුනේත්‍රා මුහුණ දුන්නේ දැඩි අපහසුම මොහොතකටයි. උත්සවයේ වැඩ සුපුරුදු ලෙසින් පොල්තෙල් පහන් දල්වා ආරම්භ වූයේ සැමගේ සිත් කුතුහලයෙන් පුරවාලමිනි. උත්සවය අවසන් වෙන්නට මොහොතක් තිබියදී ප්‍රධාන නිළිය උත්සවයට පැමිණියේ සියලු දෙනා මවිතයෙන් මවිතයට පත් කරමිනි.

කවුරුත් එදා මවිත කළ ඒ හැඩකාර නිළිය පසුගිය දිනක මට අහම්බෙන් මුණ ගැසුණාය. ඇය තමයි තාරකා. . . තාරකා වාසලමුදලිආරච්චි කිව්වම රටම දන්න මේ නිළිය කවුරුත් දන්නේ දක්ෂ නිවේදිකාවක් ලෙසිනි. සුන්දර සිනාවකින් මුව සරසා ගත් මේ දක්ෂ නිවේදිකාව දැන් නම් ඔබේ ආලින්දයේදී හමු වෙන්නේ වෙනත්ම ක්ෂේත්‍රයකින්. රූපවාහිනියේ නිවේදනයෙන් ඈත් වුණු මේ දක්ෂ මාධ්‍යවේදිනිය ඔබව අමතන්නේ පන්හිඳෙන්. ඒ තමයි කවුරුත් කැමැති නවකතා ගත් කතුවරියක් ලෙසිනි.

ගණඳුර වැටුණු රාත්‍රියක . . . අටවක සඳ පායන අහස් කුසේ දීප්තිමත්ව බැබලෙන මේ පුංචි තාරකාව අද ‘සරසවියේ’ පත්තිරු අතර පායන්නේ ඒ සුන්දරත්වය ගැන පවසන්නට.

ඉතින් තාරකා කියන්නකෝ . . . මොකක් මේ අකුරු දෙකේ කතාව. ස්වර්ණවාහිනියේ ජනප්‍රිය නිවේදිකාවක් වුණු ඔයා මොකක්ද දැන් කරන්නේ?

මගේ මාධ්‍ය ජීවිතය පටන් ගත්තේ රුහුණු සේවයෙන්. ඒ කාලේ පටන්ම මම හැමදාම ඇළුම් කළේ ලිවීමේ කලාවට. පසුව තමයි එච්. ඩී. ප්‍රේමරත්න මහත්තයාගේ ආරාධනයකින් ස්වර්ණවාහිනියට සම්බන්ධ වුණේ. ඒ වෙන කොටත් මගේ මුල්ම නවකතාව ‘අන්දර මණ්ඩිය’ නවකතාව ලියලා තිබුණේ. ඊට පස්සේ දෙහි, මැටි වගේ මගේ නවකතා රාශියක්ම නිකුත් වුණා. මේ සෑම කතාවක්ම ජනප්‍රිය නවකතා බවට පත් වුණේ නොසිතපු ලෙසින්.

ඒ වගේම මට ටෙලි නාට්‍ය කිහිපයකටම එකතු වීමට අවස්ථාවත් ලැබුණා. එහෙත් මම ස්වර්ණවාහිනියේ පූර්ණකාලීනව වැඩ කරපු නිසා ලිවීමේ කලාවේ නිර්මාණාත්මක යමක් කිරීමේ තිබුණු අවස්ථාව අඩු වුණා. ඒ නිසා මම හිතුවා කලබලකාරී ජීවන රටාවෙන් මිදිලා හොඳ නවකතාවක් ලියන්න. එහිදී මම ඒ සඳහා යොදන නම ඉතාම සරල, පහසු එකක් යොදා ගත්තේ මුලින් කියපු කලබලකාරීත්වයෙන් මිදෙන්නට යොදා ගැනීමත්, අකුරු දෙකේ නම් යෙදීම මතක තියා ගැනීමටත් පහසුයි කියලා මම හිතුවා. ඒ කෙටි නම්වල අමුතු ලස්සනක්, ආකර්ෂණයක් තියෙනවා. ඒ වගේම ඒ නම්වලට පාඨක ප්‍රතිචාරත් තියෙනවා.

අපි ලියන කතාවල වෙනසක්. ආකර්ෂණයක් වගේම අලුත් දෙයක් තිබීම පාඨකයන් දිනා ගැනීමට තිබිය යුතුමයි. මගේ මේ නිර්මාණය හරහා සිදු කළේ ඒ දේ කිරීමයි.

මුද්‍රණ කලාව අභිබවමින් විද්යුත් මාධ්‍ය ප්‍රබල වෙන කාලයක ඔබ විද්යුත් කලාවෙන් ඈත් වෙනවා. මේ වෙනස මොකක්ද?

තාක්ෂණික පැත්තෙන් කොයි තරම් හපන්කම් කරන්න පුළුවන් වුණත්, විද්යුත් මාධ්‍ය ඉදිරියෙන් සිටිනවා කියලා අපට හිතුණත්, පොතකින්, පුවත්පතකින් දෙන හැඟීම පාඨකයන්ට කිසිම මාධ්‍යකින් ලබා දෙන්න බැහැ. ඉරිදා නිකුත්වන පුවත්පත් අතට ගන්න පාඨකයාට දැනෙන හැඟීම, නැවුම් සුවඳ, ටී. වී. එකක් බලලා ලබන්න බෑ. ඒ වගේම නවකතාවක් අරගෙන කියවනකොට පිටුවල තියෙන නැවුම් සුවඳ, පොත කියවන කොට පාඨකයාට දැනෙන හැඟීම වෙන කිසිම මාධ්‍යයකින් දෙන්න බැහැ. ඒ නිසා තාක්ෂණය කොයි තරම් ඉදිරියෙන් හිටියත් මුද්‍රිත කලාවට එය අභියෝගයක් නොවෙයි.

හැබැයි අලුත් විදිහකට ලෝකයත් සමඟ වෙනස් වෙන්න ඕනෑ. හොඳ අර්ථවත්, නැවුම්, සොඳුරු දේ එකතු කරමින් අපේ ලිවීමේ නිර්මාණාත්මක හැඩය වෙනස් කළ යුතුයි. අපේ නිර්මාණ ඒකාකාරී වීම තුළ තමයි පාඨකයා සැම විටම අපෙන් ඈත් වෙන්නේ. අපිට තාක්ෂණයෙන් වුණත් මුද්‍රණ කලාවට උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එය හරියට පාවිච්චි කළොත් කිසිම දවසක මෙය අභියෝගයක් නම් වෙන්නේ නැති බවට මට සහතිකයි.

ඔය කියන ගුණාංග ඔබේ නිර්මාණ සඳහා යොදාගෙන තියෙන්නේ කොයි ආකාරයට ද?

මගේ සෑම පොතකම කවරයේ නිමාව ගැන වඩාත් සැලකිලිමත්ව සිතනවා. අන්තර්ගතය, පොතේ නිමාව, මටසිළිටි බව යන සියලු දේ එයට එකතු කරන්න නව තාක්ෂණයෙන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම කතා වස්තු බීජය අන්තර්ගතය පවා අලුත් වීම වැදගත්.

‘කළු’ කියන ඔබේ නවකතාව . . .

එහි හැඩය හා භාෂාව තරමක් වෙනස්. එම කතාවේ තිබෙන්නේ මානසික රෝගයකට ලක් වුණු තරුණියක් වටා ගෙතුණු කතාවත්. එහි ඇයට සමාජයෙන් මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න හා පවුල් ජීවිතේ මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කරනවා. එය පවුලක් වටා ගෙතුණු කතාවක් සහ සමාජ ප්‍රශ්නයක් ගැන ගැඹුරින් විමසා බලනවා.

මෙවර නිකුත් කළ ‘ඇස්’ නවකතාව ගැන කතා කළොත් . . .?

එය ටිකක් වෙනස්ම ආරක ජාතික මට්ටමටත් වඩා ඔබ්බට ගිය, ජාත්‍යන්තර මට්ටමේ කතාවක්. ලෝකය ආරක්ෂා කළ යුතුයි කියන අලුත්ම තේමාවකින් ඉදිරිපත් කළ කතාවක් ලෙස හැඩය හා අන්තර්ගතය වෙනස්ම මානයකින් ඉදිරිපත් කරනවා.

තාරකා ලිවීමට යොමුවීමට පෙර ජනතාව හඳුනා ගත්තේ නිවේදිකාවක් විදිහටනේ. ඒ ක්ෂේත්‍රයේ ලැබුණු අත්දැකීම් සිදුවීම් ගැන කතා කරමු?

මගේ මාධ්‍ය ජීවිතේ අවුරුදු 14 කාලය තුළ අපූරු සිදුවීම් රාශියක්ම තියනවා. හෙලිදරව්ව වැනි වැඩසටහන් ඔස්සේ ලංකාවේ අති දුෂ්කර ප්‍රදේශවල වැඩසටහන් කළා. යුද්ධය පැවැති කාලයේ එම ප්‍රදේශවල ජනතාවගේ අත්දැකීම් ගැන කතා කළා. මොනරාගල, අම්පාර වැනි ප්‍රදේශවලට ගිහින් තමයි අපි මේ සෑම වැඩසටහනක්ම කළේ. පොලීසියත් සමඟ එකතු වෙලා වැඩ සටහන් සඳහා යම් ගැඹුරක් ගන්න අපිට තියෙන සාක්ෂිවලට අමතරව තවත් දේ සෙවීම සිදු කළා. හැබැයි අපට කිසි දවසක ප්‍රශ්නයක්, ගැටලුවක් ඇති වෙලා නැහැ. මේ සෑම දෙයකින්ම ජනතාවට වැඩක් වුණා. ඒ නිසා කවදාවත්ම ගුටිකන දේවල් නම් වුණේ නැහැ. නමුත් ආරක්ෂා සහිතව සියුම් තාක්ෂණයත් සමඟ ප්‍රායෝගික දුෂ්කර කටයුත්තක් කළේ.

ඒ ආකාරයට කළ වැඩසටහන් මොනවාද?

හෙළිදරව්ව,  Live at 8, චරිත, පෙරවදන කියන වැඩසටහන් කළා. සමහර වැඩසටහන් නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලැබුණා.

තාරකා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණේ ජනප්‍රියවීමේ අපේක්ෂාවෙන්ද?

අපෝ . . . කොහෙත්ම නැහැ. ඒක පුදුම අහඹු සිදුවීමක්. ‘පිපි පියුම්’ නාට්‍යට සුනේත්‍රා රාහුබද්ධ මහත්මිය ලිව්වේ මම වෙනුවෙන්ම. මේ දේ හරියටම කරන්න බැරි වුණොත් මම කාලයක් ගොඩ නඟා ගත්තු මාධ්‍ය ජීවිතේ නමත් නැති වෙයි කියන බය මට තිබුණා. ඒත් අකැමැත්තෙන් හරි ඒ දේ කරන්න වුණා.

ඔබේ අනාගත අපේක්ෂා හා නිර්මාණ මොනවාද?

මම කාලයක් රඟපෑවේ නැති නිසා හොඳ ටෙලි නාට්‍යයක රඟපෑමට අදහසක් තියෙනවා. ආරාධනා කිහිපයක්ම තියෙනවා. ඒ වගේම මගේ අලුත් පොත තව ටික දවසකින් නිකුත් වෙනවා. එයට තව ටික කාලයක් ගන්නවා. මගේ සෑම නිර්මාණයක්ම ගැඹුරු පර්යේෂණ සමඟ යන කතා තේමාවන්. ඒ සඳහා දිගු කාලයක් ගත වෙනවා. ක්ෂේත්‍ර රැසකින් පෙළහර පෑ තාරකා කාලයට ඉඩ දී තම නිසල නිහඬ නිර්මාණයක් වෙත යොමු වී ඇත්තේ තරමක් සෙමෙන් පියවර තබමිනි. ඒ සොඳුරු පියමන් තලාවේ ඇයගේ අතින් බොහෝ නිර්මාණ ලියවෙන්න ඉඩ දී සමු ගන්නට කාලය හරස් වී තිබුණි.

ඇගේ දිදුලන කතා කරන ඇස්වලින් කියවෙන බොහෝ දෑ නැවතත් පුංචි තිරයේ දකින්නට බලාපොරොත්තුවෙන් මේ අපූරුතම හමුවට සමු දුන්නේ මහත් සෙනෙහසිනි.