වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




වන්දනා නඩයේ අය මට වදින්න ගත්තා

වන්දනා නඩයේ අය මට වදින්න ගත්තා

කපිල සිගේරා

අද වන විට රංගනයෙන් ප්‍රේක්ෂක හදවත් දිනා සිටින ඔහු මේ දින වල විකාශය වන සඳසාවි, ටෙලිනාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක හදවත් දිනා සිටී.

මු. අරුක්ගොඩ අධ්‍යක්ෂණය කළ නීතියයි රූමතියයි චිත්‍රපටයට ආධුනික නළු නිළියන් බඳවා ගැනීම සඳහා 1984 අග භාගයේ සරසවිය පුවත්පතේ පළවු දැන්වීමකින් චිත්‍රපට ක්ෂේත්‍රයේ තම රංගන දිවිය ආරම්භ කළ මාලඹගේ කපිල ප්‍රේමරත්න සිගේරා අද අපේ කථානායකයා වේ.

කපිල අපි ඔබේ අතීතාවර්ජණයෙන්ම කතා බහ අරභමු?

එම්. ඒ. අදෝනිස් සිගේරා කියන්නේ මගේ තාත්තා ,එයා කලාකරුවෙක් .මාව කලාවට යොමු කළේත් මට මේ ගමන ඒන්න උදව් කළේත් තාත්තා. පාසල් ගියේ තලාහේන මහා විද්‍යාලයට , පාසල් වේදිකාවෙන් තමයි මගේ රංගනය ඇරඹුවේ.

ප්‍රසිද්ධ වේදිකාවෙ රඟපාන්නත් මට අවස්ථාව උදා වුණා.ඒ අනුව මයාදුන්න බණ්ඩාරයන් ගෙ අපිත් වගේ මිනිස්සු ,සැන්ඩෝහැරිස්ගෙ සාජන්ගේ නැන්දම්මා , මම ම නිෂ්පාදනය කළ වෙස් මාරුවෙ රඟපෑවා.

මේ වකවානුවෙදිම චිත්‍රපට ක්ෂේත්‍රයට එන්නේ සරසවිය පුවත්පතේ පළවු දැන්වීමකින්.මට ඒ චිත්‍රපටයෙ(නීතියයි රූමතියයි) ජූරි සභිකයෙක්ගෙ චරිතය ලැබුණා. ඊට පසුව ලයනල් සිල්වා මහත්තයා මාව හදුන්වලා දුන්නා යසපාලිත නානායක්කාර මහත්තයට එතුමා මට අවස්ථාව ලබා දුන්නා රස රහසක් චිත්‍රපටයෙ උප ප්‍රධාන චරිතයක් රඟපාන්න . ධර්ම ශ්‍රී වික්‍රමසිංහ - සීත රැ ,දයා විමලවීර - බඹසර බිසව්, තිලක් වේහැල්ල, වී. සිවදාසන් - අපි ඔක්කොම රජවරු , සුනිල් සෝමපිරිස් - මට තාම මතකයි චිත්‍රපටවල අධ්‍යක්ෂකවරු මා කෙරෙහි තිබුණු විශ්වාසය නිසා මට ප්‍රධාන චරිත රඟපෑමේ අවස්ථාව ලබා දුන්නා.මීට අමතරව චිත්‍රපට බොහොමයකට රංගනයෙන් දායක වුණා.

වේදිකාවෙන් පිවිසෙන්නේ චිත්‍රපට ක්ෂේත්‍රයට,වර්තමානයෙ ටෙලිනාට්‍ය බොහොමයකට රංගනයෙන් දායක වී සිටින ඔබේ අරම්භය සිහිකළොත්?

කෝපි කඩේ ටෙලි නාට්‍යයෙන් ඇරැඹි මම විකාශය වුනු නිසල දිය සසල විය, තමර අරණ, බට්ටි,ඉහිරුණ කිරි, නාට්‍යවල රඟපෑව.දැනට ටෙලිකාස් වෙන සඳසාවි,සිරීගෙ ඉරණම, ටෙලි නාට්‍ය සඳහා දායක වුණා.ඉදිරියට විකාශය වෙන්නට ටෙලි නාට්‍ය කිහිපයක් තිබෙනවා.මේ දිනවල කෝරලේ මහත්තයා 3 රඟපෑමේ නිරතව සිටිනවා.

එදා ,අද මේ වසර 20 පුරාවට කපිල ඔබ ආ ගමන පිළිබඳව සෑහිමකට පත්වෙනවද?

ඇත්තෙන්ම ඔව්.මම ආවෙ බොහෝ දුෂ්කර ගමනක්,මගෙ කැපවීම,නොපසු බස්නා උත්සාහය,ප්‍රවීණයන්ට ගරු කිරීම,මෙතෙක් ආ බාධකයන්ට ධෛර්ය සම්පන්නව නොපැකිළිව මුහුණ දීම,චරිතයන්ට උපරිම සාදාරණයක් කිරීම නිසා එක චරිතයකට කොටුනොවී මෙතෙක් කල් මේ ක්ෂේත්‍රයේ රැදී සිටීමේ හැකියාව තිබුණ කිව්වොත් නිවැරැදියි.

මෙතෙක් කළ චරිත අතරින් සිත් ගත් චරිත හා අමතක නොවන සිදුවීම් ගැන කිව්වොත්?

හැම චරිතයකටම කැමතියි.ඒ අතරින් තමර අරණෙ සුමේද හාමුදුරුවො,සේපාලිකා එකේ ඇක්මන් මාමා ,කෝරලේ මහත්තයා ටෙලියෙ පබලිස් ට වඩාත් ප්‍රිය කරනවා.

තමර අරණ රූ ගත කළේ අලුත්ගම කන්දෙ විහාරය පැත්තෙ තියෙන පුරාණ විහාරයක ,මගේ අවස්ථාව එනකන් පුටුවකට වෙලා ඉන්නකොට වන්දනා නඩයක් ආව. එතන මගේ අම්මලගෙ වයසෙ අයත් හිටිය .මේ හැමෝම මට වදින්න පටන් ගත්ත.මම සිවුර පැත්තකට දාල දුවන්න ගත්තා.ඊට පස්සෙ හොයල බැලින්නම් ටෙලියෙ ප්‍රඩක්ෂන් මැනේජර් සරත් විජේසේකරගෙන් නඩේ කට්ටිය අහල ලොකු හාමුදුරුවො කෝ කියලා, එයා මාව පෙන්නල.අම්මලා වගේ අය වදිනකොට මට දරාගන්න බැරිව ගියා.ඒකයි දිව්වෙ.

කපිල උදව් කළ අයත් මතක් කරමු?

මට උදව් කළේ මගෙ තාත්තා.යසපාලිත නානයක්කාර, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, දයා විමලවීර, තිලක් වේහැල්ල,සිවදාසන්, සුනිල් සෝමපිරිස් යන මහත්වරු මගෙ ගුරුවරු ලෙස සලකනවා.මේ හැමෝටමත් මෙතෙක් ආ ගමනට නන්අයුරින් උපකාර කළ සැමටත් ස්තූති කරන්නට අවස්ථාවක් කරගන්නවා.

අනාගත සැලසුම් ගැන කිව්වොත්?

මගේ බිරිඳ රට,ඒ නිසා දරුවන්ගෙ වගකීම් සියල්ල සිදුවන්නෙ මගේ අතින්.ක්ෂේත්‍රය ගැන කිව්වොත්,අපි මේ ක්ෂේත්‍රයට එනකොට වගේ නොවෙයි දැන් ,මොන ක්ෂේත්‍රයකට ගියත් යම් දෙයක් හදාරා තිබීම වැදගත් .ඒනිසා අනුරාධපුරයෙ මමත් තව කිහිප දෙනෙකුත් එකතු වී නවකයන්ට උදව් කිරීමේ අටියෙන් රංගනය හා එයට අවශ්‍ය දෑ නොමිලයේ කියාදෙන රංගන පාසලක් කරගෙන යනවා.