වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




මිනී වලෙන් නැගිට ආ ‘ඩ්‍රැකි්‍යුලා’

මිනී වලෙන් නැගිට ආ ‘ඩ්‍රැකි්‍යුලා’

ඒ 1905 වසරෙ වැසිබර උදෑසනකි. පෙරදිග යුරෝපයේ එක්තරා පිටිසරබද ගම්මානයක කොනෙහි පිහිටි පල්ලියක සේවයේ නියුතු අතවැසි කොලුවා සුපුරුදු පරිදි පල්ලියේ ගෙබිම අමදිමින් සිටින අතර ඒ තුළ එල්ලෙමින් තිබුණ ඝන්ඨාරයේ කඹයට අත තබත්ම කඹය දිගේ වෑස්සෙමින් ආ ලේ බිඳු කිහිපයක් ඔහුගේ මුහුණට වැටෙයි.

විශ්මයට පත්වන ඔහු වහා තරප්පුවට නැග මතු මහලට පිවිසුණ කල්හි දක්නට ලැබෙන්නේ ඝන්ඨාර කුටිය හරහා ගලා යන ලේ දහරකි. භීතියට පත්ව පහළට දුව ආ කොලුවාගේ මුහුණ දුටු පල්ලියේ පියතුමා අනතුරක සේයා දැක වහා ඝන්ඨාර කුටිය වෙත දිව යයි. ඝන්ඨාරය යට ලේ පදාසයකි. සිහිඑලවා ගත නොහැකිව මඳකට ඝන්ඨාරයට අත තබත්ම එතුළින් බිමට ඇද වැටෙන්නේ සියොළඟ ලෙයින් තෙත්ව ගිය තරුණ කාන්තාවකගේ මළ සිරුරකි. ඇගේ දිගු ගෙලෙහි වම් පසට වන්නට ලේ වැකුණු සියුම් දත් දෙකක සළකුණු දක්නට ලැබිණි.

ගමේ අවන්හලේ හිමිකරුගේ පුතනුන් වන පෝල් කඩවසම් තරුණයෙකි. ඔහු පෙමින් වෙළී සිටින්නේ ගම්මානයේ සිටින රුවින් අගතැන් එමෙන්ම ධනවත් සිටු පවුලක සුන්දර යුවතියක් වන මරියා මුලර් සමඟයි. පල්ලියේ ඝන්ඨාරය තුළ සඟවා තිබූ තරුණියගේ සිරුර සොහොනින් නැගිට ආ ඩ‍්‍රැක්‍යුලාගේ ඵකම දඩයමයි. පල්ලියේ පියනම මුලා කර වසඟයට ගන්නා ඩ්‍රැකි්‍යුලා ඔහුගේ ආධාරයෙන් අවන්හලේ භූගත කුටියක ඔහුගේ මිනී පෙට්ටිය සඟවා එහි ලැගුම් ගනී. ඔහුගේ දෙවැනි බිල්ල වන්නේ අවන්හලේ සේවිකාව වන සුරූපී ෂීනාය. ඇය වසඟයට ගෙන ලේ උරා බොන පිසාචයා ඇයට තර්ජනය කරන්නේ වහාම මාරියා ඔහු වෙත රැගෙන එන ලෙස කියමිනි.

පෝල් හමුවීමට එන මාරියා ෂීනාගේ උගුලට අසු වී ඩ‍්‍රැකි්‍යුලා අතට පත්වෙයි. මාරියා ඩ්‍රැකි්‍යුලාගේ ශාපයට නතු වී අති බව ඇගේ මාමා වන අර්නස්ට් මුලර් සිටුවරයා දැන ගනී. ඔහු ඩ්‍රැකි්‍යුලා විනාශ කිරීමට කුටියට යන අතරමඟදී පියනමගේ පහරදීමකට ලක් වී ආපසු එයි. ඔහු වහාම පෝල් ගෙන්වා පෙම්වතියගේ ආරක්ෂාව ඔහුටම පවරා දෙනෙත් පියා ගනී. පියනම ඩ‍්‍රැකි්‍යුලාගේ සගයෙක් බව නොදන්නා පෝල් ඔහු තම සහායට කැඳවා ගන්නා අතර පොල්ට ද පහර දෙන පියනම ඩ්‍රැකි්‍යුලා සමඟ මාරියා පැහැරගෙන ඩ්‍රැකි්‍යුලාගේ කඳුකර මාලිගාව වෙත පලා යයි. යම් කිසිවෙකු විසින් එම මැදුරේ ප්‍රධාන දොරටුව හරහා විශාල ලෝහමය කුරුසයක් රඳවා තිබෙන්නේ ඔහුගේ ඇතුළුවීම වළකාලීම සඳහායි. ඩ්‍රැකි්‍යුලා මාරියා ලවා කුරුසිය ඉවත් කරයි. පහලට වැටෙන කුරුසය ගල් දෙබොක්කාවක සිර වෙයි.

මාරියා සොයා ලුහුබැඳ ආ පෝල් ද මන්දිරයට ළඟා වෙයි. මාරියා ගලවා ගැනීම සඳහා පෝල් සහ ඩ්‍රැකි්‍යුලා අතර දරුණු සටනක් ඇති වෙයි. සටන අතරතුර ඩ්‍රැකි්‍යුලා බැල්කනියෙන් පහලට තල්ලු කර දැමීමට පෝල් සමත් වෙයි. ඔහු කෙළින්ම ඇද වැටෙන්නේ පහළ ගල් දෙබොක්කාවක සිර වී ඇති කුරුසියේ තියුණු උලක් මතටයි. ‘ඩ්‍රැකි්‍යුලා හැස් රිස්න් ෆෙ‍්‍රාම් ද ග්‍රේව්’ චිත්‍රපටයේ කතාව ගලා යන්නේ ඒ අයුරිනි.

1968 දී නිෂ්පාදනය වූ මෙය ‘හැමර්’ චිත්‍රපට සමාගමේ 4 වැනි චිත්‍රපටය ලෙස නම් කළ හැක. මුල් චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ටෙරන්ස් ෆිෂර් හදිසි රිය අනතුරකින් ඔත්පල වීම නිසා ප්‍රවීණ කැමරා ශිල්පියෙකු වන ෆෙ‍්‍රඩී ෆ‍්‍රැන්සිස් විසින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙරුණි. හැමර් චිත්‍රපට සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කළේ අයිඩා යන්ග් විසිනි. තිර කතාව රචනා කළේ ජෝන් එල්ඩර්. සංගීතය ජේම්ස් බර්නාඩ්. වෙස් ගැන්වීම හෙදර් හර්ස් සහ දෘශ්‍ය ප්‍රයෝග ෆ්රෑන්ක් ජෝජ් ගෙනි. ආතර් ග්‍රාන්ට් ගේ කැමරාකරණයෙන් සහ ස්පෙන්සර් රීව් ගේ සංස්කරණයෙන් චිත්‍රපටය වර්ණවත් විය.

මුල් ඩ්‍රැකි්‍යුලා චිත්‍රපට එංගලන්තයේ බ්‍රේ චිත්‍රාගාරයේදී නිපදවන ලද මුත් මෙය සුප්‍රකට ‘ජේම්ස් බොන්ඩ්’ චිත්‍රපට නිපද වූ ලන්ඩනයේ ‘පයින්වුඩ්’ චිත්‍රාගාරයේදී නිෂ්පාදනය විය.

ප්‍රධාන චරිතය ක්‍රිස්ටෝපර් ලී නිරූපණය කළ අතර සුරූපී වෙරෝනිකා කාල්සන් මාරියා මුලර් ලෙස රඟපෑවාය. රූපට් ඩේව්ස්, අර්නස්ට් මුලර් ලෙසත් පියතුමා ලෙස ඉවාන් හුපර් ද රඟපෑමට එක් විය. බාබරා එවින්ග්, නෝමන් බේකන් සහ මේරියන් මැතී සෙසු චරිත රඟපෑහ.

මෙය ඕස්ට්‍රේලියාවේ තිරගත වූ ප්‍රථම ‘ඩ්‍රැකි්‍යුලා’ චිත්‍රපටය ලෙස වාර්තා ගත වෙයි. අනෙකුත් සියළු ඩ්‍රැකි්‍යුලා චිත්‍රපට එරටෙහි තහනම් කරන ලදී. මෙම චිත්‍රපටයේ ද ඇතැම් දර්ශන වාරණයට ලක් කොට ඉවත් කළ පසු රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ප්‍රදර්ශනය සඳහා ලැබිණි. ඒ අනුව 1970 ජනවාරි මාසයේදී සිඩ්නි නුවර කැපිටල් සිනමාහලේදී තිරගත කිරීම් ආරම්භ විය. 1968 නොවැම්බර් 7 ලන්ඩන් ඕඩියන් ශාලාවේදී ප්‍රථම දර්ශනය පැවැත්විණි.

‘හැමර්’ චිත්‍රපට සමාගමට වැඩිම ආදායමක් උපයා දුන් චිත්‍රපටය ලෙස වාර්තා ගත වෙන මෙම චිත්‍රපටයේ ඩී. වී. ඩී. පිටපත් 2004 අප්‍රේල් 27 දා වෙළදපොලට නිකුත් කරන ලදී.

‘ඩ්‍රැකියුලා විනාශ කළ හැක, එහෙත් මරා දැමිය නොහැක’

ලබන සතියේ ඩ්‍රැකියුලා A.D  1972