වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් සිනමාකරුවකු ‘වරිග පොජ්ජ’ සමඟ දොරට වඩියි

අලුත් සිනමාකරුවකු ‘වරිග පොජ්ජ’ සමඟ දොරට වඩියි

නිෂ්පාදකවරුන් 80000 ක් එක් චිත්‍රපටයක්

මෙරට වැඩිම නිෂ්පාදකවරු සංඛ්‍යාවක් දායකත්වය සැපයූ සිනමාපටය හෙට සිට බොරැල්ල රිට්ස් ඇතුළු රිත්මා මණ්ඩලයේ සිනමාශාලාවන් හි ප්‍රදර්ශනය ඇරැඹෙනු ඇත. ‘වරිග පොජ්ජ’ යනුවෙන් නම තබා ඇති එය නිෂ්පාදනය කොට ඇත්තේ කාන්තා සමුපකාරය මඟින්.

එහි අසූදහසක් පමණ වූ සාමාජිකාවන් මෙහි නිෂ්පාදකවරුන් ලෙසට ගණන් ගැනේ. නන්දසිරි ගමගේ ගේ ‘වරිගෙ’ නම් වූ කෙටි කතාව ඇසුරෙන් නිර්මාණය වූ මේ චිත්‍රපටය සමඟින් තවත් මතු බලාපොරොත්තු තැබිය හැකි දක්‍ෂ සිනමාකරුවකු හෙළ සිනමාවට පැමිණෙයි. නමින් ඔහු තුෂාර තෙන්නකෝන් වේ. ‘වරිග පොජ්ජ’ තුෂාරගේ පළමු සිනමාපටය වේ.

චරිත කිහිපයකට පමණක් සීමා වූ මෙහි ජගත් මනුවර්ණ, සෝමවීර ගමගේ, නදීශානී නිලුක්‍ෂි, නයනා හෙට්ටිආරච්චි සමඟ පුපාලසිංහම් ෂදීපන් රඟපාති.

මෙහි අධ්‍යක්‍ෂණය මෙන්ම තිර රචනය ද තුෂාරගෙනි. නන්දසිරි ගමගේ විධායක නිෂ්පාදකවරයාය. විශ්වජිත් කරුණාරත්න ගේ කැමරා අධ්‍යක්‍ෂණයකි. සංස්කරණය සහ නිෂ්පාදන සැලසුම්කරණය ජයන්ත අංගම ගෙනි. උදය ප්‍රසන්න සහාය අධ්‍යක්‍ෂවරයාය. ධම්මික හේවාදූවගේ ගේ කලා අධ්‍යක්‍ෂණයකි. ජයන්තා රණවක අංග රචනයෙන් ද, දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්‍ෂණයෙන් ද, මංජුල පෙරේරා නිෂ්පාදන කළමනාකරණයෙන් ද, කාලිංග ගිහාන් පෙරේරා ශබ්ද පරිපාලනයෙන් ද, ප්‍රවීන් ජයරත්න වර්ණ සංකලනයෙන් ද, දයා වලේබොඩ මූල්‍ය කළමනාකරණයෙන් ද මේ සඳහා එක්ව ඇත.

‘වරිග පොජ්ජ’ හි ගායනා උරේෂා රවිහාරි සහ ආනන්ද පෙරේරා ගෙනි.