|
||
රෑ හීනෙන් හද අඹරේ මුකුළු පාන විට - කොයි ලෝකේ ඉඳලා හරි එන්න හිතයි මට
වික්ටර් රාමනායක පිළිබඳ ශ්‍රියාගේ මතකය
ජයවර්ධනපුර රෝහලේ සිට පිළියන්දල නිවෙසට පැමිණෙන ඉන්දීවරී හිස් අහස දෙස බලමින් සුසුම් හෙළුවාය. මඟ දෙපස නිලට නිලේ දිලෙන වෙල් යායේ වෙනදා සුන්දරත්වයක් ඕ නොදුටුවාය. කිරට නැමුණ ගිරා නීල ගොයමට ඉහළින් සුදට සුදේ ඉඟිලෙන කිරි කොකුන් රෑන ඇයට පෙනුණේ කණ කොකුන් ලෙසටය. රෝගාතුරව රෝහලේ සිටින තම පියා ගැන සිතුවිල්ලෙන් ඇය නොදැනීම නිවෙසට පැමිණ සිටියාය. පවුලේ වැඩිමහල් දරුවා ලෙස ඉන්දීවරී තම පියාට මහත් සේ ආදරයෙන් පසු වූවාය. ඕ හට පිළිවෙළින් බුද්ධිමා සහ නවෝදා යනුවෙන් නැඟණියන් දෙදෙනෙකු ද සිටියාය. මේ තිදෙනාම තම අප්පච්චිට පණ සේ ආදරය කළහ. තම පියා රෝහල් ගත කළ මොහොතේ පටන් මව වූ ශ්‍රියා සමඟ එක් වී මේ තිදෙනා උත්සාහ කළේ ඔහු කෙසේ හෝ සුවපත් කිරීමටයි. 2012 ජූනි මස පහළොස් වන දින උදෑසනම අවදි වූ දෙවැනියා වූ බුද්ධිමා තම පියා ප්‍රිය කළ රසට සෑදූ සුප් බඳුනක් ද සමඟින් රෝහලට පිටත් වූවාය. ඒ වන විටත් නිදිවර්ජිතව තම පියා ළඟ රැඳී හුන් ඉන්දීවරී දෙවෙනි නැඟණියගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටියාය. බුද්ධිමා පැමිණීමෙන් පසු දෙදෙනාම එක් වී තම පියාට සුප් පොවන්නට උත්සාහ කළත් එය අසාර්ථක විය. මේ දෙදෙනා නිරතුරුව වෛද්‍යවරුන් විමසමින් සිටියේ පියාගේ රෝගී තත්ත්වයේ සත්‍ය දැන ගැනීමටයි. එදින සවස දෙක පමණ වන විට ඉන්දීවරීගේ සහ බුද්ධිමාගේ අත අල්වා ගත් වික්ටර්ගේ දෑසින් කඳුළක් ගලා ගියේය. දරු දෙදෙනාගේ අත්වල උණුසුමට මැදිව ඔහු අවසන් ගමන් ගොස් ඇත. ඒ කඳුළ දරු සෙනෙහසේ අවසන් හුස්ම පොදට මුසු විය. වික්ටර් රාමනායක. සුවහසක් පේ‍්‍රක්ෂකයන් තම රංග ප්‍රතිභාවෙන් සනහාලූ කලාකාමී මිනිසෙක් නොඑන ගමන් ගොස්ය. ඔහු ගැන සොඳුරු මතක ආවර්ජනයට මෙවර පිය සටහන් සමඟ එක් වන්නේ ඔහුගේ දයාබර බිරිඳ ශ්‍රියා රොඩ්රිගෝ, වැඩිමහල් දියණිය වන ඉන්දීවරී, බුද්ධිමා සහ නවෝදා යන වික්ටර්ගේ ජීවය හා සමාන වූ දූවරු තිදෙනායි. දූවිලි වලාවක් නංවාගෙන පාර දිගේ වේගයෙන් බණ්ඩාරගම දෙසට ඇදී ගිය වාහනයක් දෙස බලමින් ශ්‍රියා වික්ටර්ගේ මතක දැඩි පරෙස්සමෙන් යුතුව අවදි කළාය. ‘1982 වර්ෂයේ දවසක වික්ටර් සමඟ අපි කුරුණෑගල පැත්තේ විනෝද චාරිකාවක් ගියා. ඒ වන විට වික්ටර් රිදී නිම්නය චිත්‍රපටයේ රඟපාලා හිටියේ. ඒ චිත්‍රපටයේ නදීකා ගුණසේකරගේ හැඩරුව මට තියෙනවා කියලා වික්ටර් අපේ ගෙදරින් ඇවිත් ඇහුවා ඔයාට කැමැතියි මොකද කියන්නේ කියලා. මුලින් මම අකැමැතියි කියපුවාම එයා ඇහුවා මම ලස්සන නැද්ද කියලා. කොහොම හරි අවුරුදු හතරක් විතර ආදරය කරලා දෙපැත්තේම ආශිර්වාද මැද අප විවාහ වුණා.’ ඇය එසේ පවසන විට නෙතේ දිදුලන දීප්තිය වසාගෙන හිත පතුලේ ඇති ශෝකය ඇයගේ මුහුණෙන් දිස් විණි. ‘අපේ පළමු දුව ඉන්දීවරී ලැබෙන්න ඉද්දී අපි හිටියේ දෙහිවල. ඒ දවස්වල ඒ තරම් අතමිට සරු නැහැ. දවසක් පුන්තිලා නාට්‍ය ඉවරවෙලා නිහාල් සිල්වා එක්ක වික්ටර් ගෙදර ආවා. ඒ වෙලාවේ නිහාල් වික්ටර්ව පෙන්නලා මට කිව්වා ‘වික්ටර් කියන්නේ දක්ෂතා ගොඩාක් තියෙන වස්තුවක්. එයාව රැක ගන්න කියලා’. එසේ කියූ ඇය වික්ටර්ගේ ඡායාරූප ඇල්බමය දෙස බලමින් නැවතත් අප හා අතීත මතක අතර තනි වූවාය. ‘වික්ටර් වැඩි හරියක් කලා කටයුතු කළේ වේදිකා නාට්‍යයත් එක්ක. ඒ නිසාම ඒ දවස්වල එයාගේ අතේ මුදල් හදල් එච්චරම ගැවසුණේ නැහැ. එයා මොන ප්‍රශ්නයක් ආවත් ඒවා පිටට ඇෙඟව්වේ නැතුව ඉන්නවා. මගේ මගුල් මුද්ද උකස් කරලා ඒ දවස්වල ජීවත් වුණේ. ඒ මොන ප්‍රශ්නය ආවත් කලා කටයුතු හා ප්‍රචාරණ කටයුතු සමඟ තමයි වික්ටර් කාලය ගෙව්වේ. කිසිම දවසක කාගෙවත් දොසක් කියලා නැහැ. හැම මොහොතකම අනුන්ට උදව් කරන්න තමයි බැලුවේ. එහෙම වුණා කියලා අපිට අඩු පාඩුවක් කළේත් නැහැ. තුන්වෙනි දුව ලැබෙන්න ඉන්න කොට එයාට ඇඩ්වර්ටයිසින්වලින් හොඳ ආදායමක් ලැබුණා. කැළුම් විජේසූරියත් ඒ සඳහා උදව් කළා. එයා දවසක් හොස්පිටල් එකේ මම තුන්වැනි දුව ලැබෙන්න ඉන්න කොට මට හැමදේම ළඟට අරන් දුන්නා. ඒ දැකලා ළඟ හිටපු කෙනෙක් මගෙන් ඇහුවා ඔයාගේ පළවෙනි බබා ද කියලා. මම කිව්වා තුන්වැනියා කියලා. එතකොට එයා කිව්වා ඔයාගේ මහත්තයා නම් ඔයාට පුදුම විදියට ආදරෙයි. ඔයා ගොඩාක් වාසනාවන්තයි කියලා. ශ්‍රියාගේ සෙනෙහෙබර සැමියාගේ අතීත මතක අතර ඇය තනි වන විට ඉන්දීවරී ද කතාවට එකකු වුණාය. ‘මම මගේ අප්පච්චිට ගොඩාක් ආදරෙයි. මම ස්කූල් වෑන් එකෙන් කෝඩුකාරියක් විදියට ඉස්කෝලේ යනකොට අප්පච්චි පොඩි බයික් එකකින් වෑන් එක පිටි පස්සෙන් එනවා. ඒ මට පේන්න. අපි තුන්දෙනාට කවදාවත් තනියෙන් කොහේවත් යන්න දෙන්නේ නැහැ. මොන වැඩ රාජකාරී තිබුණත් අපි තුන්දෙනා ගැන හොයලා බැලුවා. අප්පච්චි අම්මිටත් සැලකුවෙ හරියට දුවකට සලකනවා වගේ. එයාට පළමුවැනි පාරට හාට් ප්‍රශ්නයක් ආවේ 2002 දී. ඔය කාලය අතරතුර විටින් විට අමාරු වුණා. ඒ අමාරු තියාගෙන අප්පච්චි කලා කටයුතුවල නිරත වුණා. නෙතඟින් ගලන කඳුළකට ඉඩ දී ඉන්දීවරී මඳකට නිහඬ වන විට නැවත ශ්‍රියා අප හා කතා කළේ තම සිතේ ඇති ඔහුගේ මතක ගොන්න අවදි කිරීමටයි. වික්ටර් වැඩි හරියක්ම කලා කටයුතු කළේ ධර්මසිරි බණ්ඩාරනායක සමඟ. ධවල භීෂණ, ඒකාධිපති, බව දුක ආදී බොහෝ නිර්මාණවලට රඟපෑමෙන් විතරක් නෙමේ සහාය අධ්‍යක්ෂ විදියටත් විවිධ ආකාරයට සහාය දැක්වූවා. දවසක් ඩී. බී. නිහාල්සිංහ මහත්මයා එයා ළඟ වැඩ කරන්න වික්ටර්ට කතා කළා. නමුත් ඒ වෙන කොට ධර්මසිරිගේ නාට්‍යවල වැඩ නිසා එයා බෑ කිව්වා. නමුත් වික්ටර් අසනීප වුණ වෙලාවේවත්, මරණයේදීවත් වික්ටර් උදව් කළ අය බැලුවේ නැහැ. මේ කතාවට හොඳින් සවන් දී සිටි බුද්ධිමා ද සිය හඬ අවදි කළේ තම පියාගේ සෙනෙහෙබර මතක ආවර්ජනය කරන සිතිනි. ‘අප්පච්චි පරිසරය එක්ක ජීවත් වෙන්න හරිම ආසයි. ඒ වගේම රට වටේ ඇවිදින්නත් කැමැතියි. අපි හැමෝටම නිවාඩු වෙලාවක් බලලා එයාගෙ යාළුවොත් එක්ක අපිත් එක්කන් යනවා. විවිධ කෑම වර්ග හදාගෙන දිය ඇලි, යාල වගේ වනෝද්‍යානවලටත් අපිව එක්කන් යනවා. අප්පච්චි අපි ඉපදෙන්න කලින් ඉඳන් අපිට පොත්පත් එකතු කළා කියලා එයා මට කියලා තියනවා. මේ සියලු කතා නිහඬව උනන්දුවෙන් සවන්දීගෙන සිටි නවෝදා ද සිය පියා ගැන මතකය අවදි කළේ මෙලෙසිනි. ‘අප්පච්චි නිතරම අපි හතර දෙනාට කිසිම අඩු පාඩුවක් දැනෙන්න ඉඩ තිබ්බේ නැහැ. අම්මි අපිට සැර කළත් අප්පච්චි කිසිම දවසක සැර කරලාවත් නැහැ. පුදුම ආරක්ෂාවක් යටතේ හැදුණේ. ඒ වගේම සමාජයේ විවිධ දේවල් ගැන අපිව හැම වෙලේම දැනුවත් කරනවා. අපිට පේන්න සිගරට් එකක්වත් එයා බොන්නේ නැහැ. පුදුම ගරු සරුවක් ඇතිව අපිව හැදුවේ. හිස් අහස දෙස බලාගෙන සුසුමක් පිට කළ ශ්‍රියා නැවත හඬ අවදි කළාය. හදිසියේම 2012 ජූනි මාසේ එයා අසනීප වුණා. ජයවර්ධනපුර රෝහලේ එයාව ඇඩ්මිට් කළේ. අපේ පවුලේ පිරිමි දරුවෝ නැහැ. එයා ළඟ ඉඳගෙන එයාගේ හැම කටයුත්තක්ම කලේ ඉන්දීවරී සහ බුද්ධිමා දරුවෝ දෙන්නා. ජූනි පහළොව උදේ ඉඳන් මේ දෙන්නම එයාලගේ අප්පච්චි ළඟ. කොහොම හරි එදා දවල් 2 ට පමණ එයා නැති වෙලා. ඒ වෙලාවේ ගැහැනු ළමයි වෙලත් මේ දෙන්නා හැම දේම දරාගෙන කටයුතු කරලා තියෙනවා. ‘එයා මිය ගියාට පසුව කලා ක්ෂේත්‍රයේ බොහෝ අය අපට උදව් කළා. දයාදේව එදිරිසිංහ, සුනිල්, නිව්ටන් ගුණරත්න, ජීවන් ප්‍රසංග, ධර්මප්‍රිය ඩයස් වගේ බොහෝ දෙනෙක් තවමත් සැප දුක් සොයා බලනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනෑ එක් සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් වික්ටර් නැති වුණා කියලා පණිවිඩය කියන කොට එයා කිව්වලු වික්ටර් කියලා කෙනෙක් මම හඳුනන්නේ නැහැ කියලා. වික්ටර් එයා වෙනුවෙන් ඩී. බී. නිහාල්සිංහ මහත්මයා සමඟ එක් වුණෙත් නැහැ. ‘එයාගේ ෆියුනරල් එක අවසන් වෙලා මා ළඟට ආව කවදාවත් දැකලා නැති කෙනෙක් මට සල්ලි වගයක් දුන්නා. මම ඇහුවා ඔයා කවුද කියලා. එයා කිව්වා මම සැමීගේ කතාව චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු ප්‍රියංකර විතානාච්චි කියලා. අර වගේ අවස්ථාවාදී මිනිස්සු අතර ප්‍රියංකරලා වගේ හිත හොඳ කෙනෙක් අමාරුවේ වැටුණම පයින් නොගසන අයත් සිටිනවා. අප්පච්චි සිංදු කියන්නත් දක්ෂයි. එයා සිංදු පහක් හයක් කියලා තියනවා. මේ දවස්වල අපි නිතරම අහන්නේ එයා කියපු මේ ගීතය.
‘අඳුරු වෙලා දකින හැම මොහොතකම මේ ගීතය ඇහෙන හැම වෙලේම අපිට හිතෙන්නේ මොන ලෝකෙක ඉඳන් හරි අප්පච්චි අපිව ආරක්ෂා කරනවා ඇති කියලා. එසේ කියූ මේ සතර දෙනා වික්ටර් රාමනායක නම් සොඳුරු මිනිසාගේ අතීත මතක අතර තනි වූවාය.
|
||