වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




වැඩිම ප්‍රේක්ෂක සිනමාහලට ලක්ෂ 10 ක්

වැඩිම ප්‍රේක්ෂක සිනමාහලට ලක්ෂ 10 ක්

සිරි දළදාගමනය සමඟ අලුත් තරගයක්

ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ මුල් වතාවට සිනමාහල් අතර එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉලක්කගත ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සපුරන සිනමාහල සඳහා රුපියල් ලක්ෂ 10 ක ත්‍යාගයක් පිරිනමන අලුත්ම තරගයක් සිරි දළදාගමනය චිත්‍රපටය තිරගතවීමත් සමග ඇරැඹෙයි. එය ප්‍රදර්ශනය ඇරැඹූ මාර්තු හය වැනිදා සිට ආරම්භක සිනමා ශාලා පණහම මේ සඳහා ඇතුළත් වනු ඇත.

මෙම තරගයට අවශ්‍ය සියලු ප්‍රචාරක පහසුකම් චිත්‍රපටය නිෂ්පාදනය කළ ඊ. ඒ. පී. සමාගම මඟින් සිදු කෙරෙන අතර දැවැන්ත ප්‍රචාරක ජාලයක් ඒ සඳහා ක්‍රියාත්මක කොට ඇත. ඉලක්කගත ප්‍රේක්ෂක සංඛ්‍යාව සකස් කොට ඇත්තේ කුස පබා, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සහ සිරි පැරකුම් යන චිත්‍රපට නැරැඹීමට අදාළ සිනමාහලට පැමිණි ප්‍රේක්ෂකයන් සැලකිල්ලට ගනිමිනි. මේ අනුව සිරි පැරකුම් චිත්‍රපටය වැඩිපුරම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් නරඹා ඇත්තේ කුරුණෑගල සිනෙක්ස්පෝ සිනමාහලේය.

ඒ 121735 කි. තරගය ජයග්‍රහණය කිරීමට නම් එහි සිරි දළදාගමනය අවම ප්‍රේක්ෂකයන් ගණන 131473 ක් විය යුතුය. ඊ. ඒ. පී. ෆිල්ම්ස් හි කළමනාකර අධ්‍යක්ෂ අසංක එදිරිසිංහ මහතා මේ පිළිබඳ සඳහන් කරන්නේ සිරි දළදාගමනය දේශීය සිනමාවේ සහ සිනමා කර්මාන්තතයේ ප්‍රවර්ධනයට මෙන්ම නව සිනමා සංස්කෘතියක් මෙරටට බිහි කොට ලක්ෂ 26 කට ආසන්න පේ‍්‍රක්ෂක සංඛ්‍යාවක් සිනමාහලට කැඳවීම බවයි.

සිරි දළදාගමනය ආරම්භක වටයේ ප්‍රදර්ශනය අවසන් වී සති දෙකක් ගතවීමට පෙර වැල්ලවත්ත සැෆයාර් හෝටලයේදී අදාළ සිනමාහල් හිමියන් අතරින් ප්‍රේක්ෂක ඉහත කී ඉලක්කය සපුරන සිනමාහල් තෝරා කුසපත් ඇද ජයග්‍රාහී සිනමාහලට හිමි ලක්ෂ 10 සිනමාපටයේ සම නිෂ්පාදිකා ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මිය අතින් පිරිනැමෙනු ඇත.