වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




ලේඛකයා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වගේ විය යුතුයි

ලේඛකයා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වගේ විය යුතුයි

නුවන් නයනජිත් කුමාර

සාහිත්‍ය කලා සංකතිකා එළිදැක්වීම 25 දා

නුවන් නයනජිත් කුමාර, පාඨක ලෝකයා වඩාත් හොඳින් හඳුනන්නේ වියත් සිනමා ලේඛකයකු හා විචාරකයකු ලෙසිනි. දෙස් විදෙස් සිනමාව පිළිබඳ ඔහුට ඇත්තේ ප්‍රාමාණික දැනුමක් යැයි මම නොකියමි. ඒ සම්බන්ධයෙන් ඔහු සතුව ඇත්තේ අප්‍රමාණ වූ දැනුමකි.

නමුදු හේ සිනමාව පිළිබඳ පමණක් ආසක්ත වූ ලේඛකයකු හෝ ගත් කතුවරයකු නොවේ. විවිධ විෂයන් පිළිබඳ ප්‍රමාණික දැනුමෙන් ඔහු සන්නද්ධය. ‘සාහිත්‍ය කලා සංකතිකා’ නමින් එළි දකින ඔහුගේ අභිනව කෘතිය ඊට කදිම නිදසුනක් සපයයි. මේ සංවාදය ගොඩනැගෙන්නේ එකී නිර්මාණ කාර්යයට පූර්ව කථනයක් විලසිනි.

‘සාහිත්‍ය කලා සංකතිකා’ මෙතෙක් ඔබ එළි දැක්වූ කෘතිවලින් තරමක් බැහැරට ගිය සංකල්පයක්?

මේ මගේ දහවැනි ග්‍රන්ථය. ඇත්තටම මේක ඔබ කිව් ආකාරයට තරමක වෙනස් කටයුත්තක්. අවුරුදු විසිදෙකක් වූ මගේ පුවත්පත් කලා ජීවිතයේ නොයෙක්වර විවිධ පුවත්පත්වලට, සම්මුඛ සාකච්ඡා ඇසුරෙන් මා ලියූ ලිපි පෙළක එකතුවක් තමයි මේ. මගේ පි‍්‍රයතම විෂයන් කිහිපයක් තියෙනවා. ඒ සියලු විෂයයන් තිබෙන්නේ මිනිසා සහ විශ්වය ගැන නේ. ඉතින් ඒ බොහෝ විෂයයන් ගැන මම පුළු පුළුවන් විදියට ප්‍රමාණික දැනුමක් ලබා ගත්තා. දැන් මේ ලිපි එකතුව විෂයයන් හැටියට ගත්තොත් විෂයයන් හතළිස් නවයකට මම බෙදලා තියෙනවා.

ඉන් විෂයයන් කිහිපයක් සඳහන් කළොත්?

උදාහරණයක් හැටියට ගත්තොත් බුදු දහම, එතකොට සිනමාව, සංගීතය, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, දර්ශනය, සමාජ මානව විද්‍යාව එතකොට සංස්කෘතිය, ඉතිහාසය තාක්‍ෂණය, ශබ්ද පරිපාලනය, සංස්කරණය, කැමරාකරණය, ඔය වගේ විෂයන් හතළිස් නවයක්. එතනදි කලාවේ සියලු අංග වගේම සාහිත්‍යයේත් සියලු අංග නියෝජනය වෙනවා. නවකතාව, කෙටි කතාව, තිර රචනය, කවිය, ගීතය ඔය වගේ.

මේ සංවාද මණ්ඩපයට ඔබ කැඳවා ගන්නේ අදාළ ක්ෂේත්‍රයන් හි උගතුන් හා වියතුන්...?

අනිවාර්යයෙන්ම. ඒ ක්ෂේත්‍රවල ප්‍රාමාණික විද්වතුන් සහ අනුප්‍රාප්තිකයන්. ඒ කියන්නේ ප්‍රාමාණිකයන් නොමැති තැන්වල දී ඊළඟට ඉන්න කෙනා. හැබැයි මෙතැනදි ජ්‍යෙෂ්ඨ පරම්පරාවක් සමඟ කරපු සම්මුඛ සාකච්ඡා තමයි වැඩිපුර තියෙන්නේ. සිළුමිණ, දිනමිණ, සරසවිය, රසඳුන, සරසි, නවයුගය, ලක්බිම, නිදහස වැනි පුවත්පත්වල පළ වූ ලිපි පෙළක් තමයි මේ ග්‍රන්ථයට ඇතුළත් වන්නේ.

මෙබඳු විෂය ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ලබාගැනීම මම හිතන්නේ එක්තරා අන්දමක දුෂ්කර ක්‍රියාවක්. තරුණ පරම්පරාවට පරමාදර්ශයක් වන තරමට ඔබ ඒ අභියෝගය ජයගෙන තිබෙනවා..?

දැන් අසංක, ඔයාගෙයි, මගෙයි පරම්පරාවට තිබෙන ලොකුම චෝදනාවනේ දැනුමෙන් තොර, හැදෑරීමෙන් තොර පිරිසක්ය කියන එක. උදාහරණයක් ඔබට කියන්නම්. ‘සප්ත කන්‍යා’ චිත්‍රපටයේ හොඳම පසුබිම් ගායනයට සම්මානය හිමි වුණේ මගේ අම්මාට (දමයන්ති ජයසූරිය) තරුණ ළමයෙක් එයාව ඉන්ටර්විව් කරන්න ආවා. කතාබහ අතරතුරේ දී ‘සප්ත කන්‍යා’ චිත්‍රපටය කාගෙද ඇහුවා. එච්. ඩී. ප්‍රේමරත්න ගේ කිව්වාම, කවුද එච්. ඩී. ප්‍රේමරත්න කියන්නේ ඇහුවා. අම්මා එතනින් එහාට සම්මුඛ සාකච්ඡාව නවත්වලා ඒ ළමයාට යන්න කිව්වා.

ඒකයි තත්ත්වය...?

අද පුවත්පත් කලාවට එන්නෙත් අර සුපිරි තරු වගේ අහසින් පාත්වුණ පිරිසක්. මෙලෝ හසරක් දන්නේ නැහැ. අපි කෙනෙක් එක්ක සම්මුඛ සාකච්ඡාවකට යනවා නම් එයාට වඩා අපි එයා ගැන දැනගන්න ඕනෑ. මම දකින්නේ පුවත්පත් කලාවේදියා හරියට චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වගේ විය යුතුයි. සංවාදයකට බඳුන්වෙන පුද්ගලයෝ, හරියට නළු, නිළියෝ වගේ. ඒ ගොල්ල කොච්චර හොඳට රඟපෑවත් අධ්‍යක්‍ෂවරයා ඒක හොඳට ඉදිරිපත් කළේ නැත්නම් වැඩක් වෙන්නේ නෑ. කොච්චර ශූර මහාචාර්යවරයෙක් කතා කළත් වැඩක් නෑ, අර අධ්‍යක්‍ෂවරයා අප්සෙට් නම් මහාචාර්යවරයාත් ඉවරයි.

ඔබේ ලිපි ශාස්ත්‍රීයයි. විටෙක ගැඹුරුයි. මේ නිසාම ඔබේ ලිපි කියවන්නේ එක්තරා පාඨක පිරිසක් පමණයි කියා මා සිතනවා...?

හරිම වටිනා ප්‍රශ්නයක් ඔයා ඇහුවේ. මම ලියන්නේ උගත් පාඨකයන්ටයි. බුදුන් වහන්සේ ධර්මය දේශනා කරනකොට කිව්වනේ මගේ ධර්මය පණ්ඩිතයන්ටයි කියලා. මම මේ ඒකට සමාන කරනවා නෙවෙයි. නමුත් මම අදහන සත්‍යය, යම්කිසි රසවින්දනයක් තියෙන, නිරන්තරයෙන් දැනුම සොයා යන, පිරිසටයි අපි ආමන්ත්‍රණය කළ යුත්තේ. මොකද මම පොතක්, පතක් කියවන්නේ යමක් ඉගෙන ගන්න. නොතේරෙන වචනයක් තිබුණොත් මම එහි අරුත සොයන්න පෙළඹෙනවා. මගේ ඒ පුරුද්ද පාඨකයාටත් ආරෝපනය කරලයි මා ඔවුන් දෙස බලන්නේ. මගේ ලිපි ශාස්ත්‍රීයයි කියා ඇතැම් වදන්වල තේරුම් පවා මගෙන් අහගන්ත පාඨක පිරිසක් මට හිටියා.

මෙතනදි පොදු පාඨකයා නොසලකා හැරීමක් ඔබෙන් සිදුවෙලා නැද්ද..?

ඒක පසුගිය අවුරුදු තිස්පහක වගේ කාලයක් තිස්සේ මේ රටේ මාධ්‍යය මෙහෙයවපු අය කරපු වින්නැහියක්. මොකද බොහෝ මාධ්‍ය සිදුකළේ පොදු ජනතාවගේ දැනුම, බුද්ධිය මොට කිරීම. නැතිනම් ඔවුන් ගොනාට ඇන්දවීම. මම කියන්නේ අලුතෙන් යමක් ඉගෙන ගන්න කැමැති නැති, ශබ්ද කෝෂයක් පෙරළලා වචනයක තේරුම හොයන්න කම්මැලි, අනුන්ගේ ඕපදූපම හොයන, ඒවා විතරක් දැනගත්තාම ඇතියි කියලා හිතන කිසිම පාඨකයෙක් මට එපා.

අද තියෙන සංකීර්ණ සමාජ රටාව තුළ බොහොම අවිවේකී ජීවිත අපි ගත කරන්නේ. එවැනි සමාජ පසුබිමක පාඨකයාට සංහිඳියාවක් තියෙනවාද ඔබ ඔය කියන ආකාරයට මාධ්‍යයත් එක්ක ගනුදෙනු කරන්න...?

මෙහෙමයි, ඇත්තටම එහෙම පාඨක පිරිසක් ඉන්නවා. එහෙම පාඨක පිරිසක් නොහිටියානම් මේ විදිහට මගේ දහවැනි පොත එළිදක්වන්න ලැබෙන්නේ නැහැ. සමහරු කිව්වා මේවා බලන්නේ නෑ, අරවා මේවා කියලා. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. නමුත් එහෙමනම් නුවන් නයනජිත් කුමාර කියන ලේඛකයාට අවුරුදු විසිදෙකක් මාධ්‍ය ජීවිතයේ ඉන්න බැහැ. අවුරුදු පහළොවක් පුරා ලියූ ග්‍රන්ථ දහයේ දෙවැනි මුද්‍රණ මිනිස්සු ඉල්ලන්නේත් නැහැ.

ඔබ කියන්නේ ග්‍රන්ථකරණයට වගේම පුවත්පත් කලාවටත් මේ ගැඹුර, ශාස්ත්‍රීය පදනම අවශ්‍යයි කියලාද?

අනිවාර්යයෙන්ම, ඉස්සර මම අහලා තියෙනවා පත්තර ලෝකෙ හිටපු මහා දැවැන්තයෝ වියරණ හරියට තිබුණේ නැත්නම්, එකම වචනය දහසැරයක් විතර පාවිච්චි කරලා තියෙනවානම් ඒ ලිපිය අල්ලා විසි කරනවාලු.එතකොට අද අපි නිවැරැදි වචන යොදලා ලිපියක් ලිව්වොත් ඒක මාර ප්‍රශ්නයක්. වෙනත් ආයතනවල සේවය කරද්දි එවැනි ප්‍රශ්නවලට මම ම මුහුණපාලා තියෙනවා.

පුවත්පතක පළ වූ ලිපි, ග්‍රන්ථයක් සේ එළිදැක්වීම මාධ්‍ය ලෝකයේ සුලබ හා සරල කාරණාවක්. නමුත් ඔබ මෙබඳු කටයුත්තකට මුල පිරුවේ ඊට වෙනස් මානයකින්...?

ඇත්තෙන්ම, එකක් තමයි කලින් කල ලියන ලද ලිපි පෙළක් ග්‍රන්ථයක් විදිහට එළිදැක්වූවාම එයින් ඒ ලිපි සංරක්‍ෂණය වෙනවා. පාඨකයාට විශේෂයෙන්ම එය වැදගත්. අනෙක මේ සම්මුඛ සාකච්ඡා මම හඳුන්වන්නේ කතාබහ, දොඩමළු වීම් හැටියට නෙවෙයි, සංවාද, සංලාප හැටියට. තාත්තා ලියූ ‘කොස්ගස් හන්දිය’ පොතේ පෙරවදනේ සෝමවීර සේනානායක මහත්මයා සඳහන් කළේ ‘ඒ. ඩී. රංජිත් කුමාර කිසිවකු ගේ ප්‍රතිරූප නොබිඳින ලේඛකයෙක් කියලයි. ඒක මටත් අදාළයි. මටත් අයිතියි. ශාස්ත්‍රීය වශයෙන් වන දෙයක් හප්පන්න පුළුවන්. ඒක හරි ශාස්ත්‍රීයයි. ඒ වගේ සුන්දර සංවාද නිසා තමයි ශාස්ත්‍රී ලෝකය ඉදිරියට ගියේ. නමුත් දෙන්නෙක් අමනාප කරන්න මම මගේ ලිපියකින් කිසිදාක උත්සාහ කරලා නැහැ.

හොඳයි, අවසන් වශයෙන් මේ පොත එළි දැක්වීම පිළිබඳ ඔබේ ආදරණීය පාඨකයන් දැනුවත් කළොත්...?

මේ දොරට වැඩුම පවැත්වෙන්නේ මාර්තු 25 වැනි දා සවස 3.30 ට පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී. මේ උත්සවයේ මූලාසනය හොබවන්නේ හන්තානේ ධම්ම ගවේෂී ස්වාමීන්ද්‍රයන්. ප්‍රධාන දෙසුම් මහාචාර්ය පැට්‍රික් රත්නායකයන් හා සමුද්‍ර වෙත්තසිංහ. ඔහු මගේ පරම්පරාවේ සහෘදයා, උත්සවය මෙහෙයවන්නේ වජිර ජයවර්ධන.

මේ කාර්යයේ දී ඔබට දිරියක් වූ පිරිසට තුති පුදන්න මේ අවස්ථාව...?

මුලින්ම මගේ මව සහ පියා. මගේ ජීවිතයේ නොයෙක් හැලහැප්පීම්වල දී ඔවුන්ගෙන් ලැබුණ ආදරය, සෙනෙහස. ඒ වගේම මගේ බිරිය නදීකා. මගේ දර්ශනයට, මගේ චින්තනයට හා මගේ ආදරයට සැබෑ වටිනාකමක් දෙමින් ඉන්ද්‍රඛීලයක් සේ මා ළඟ සිටියා ඇය. ‘සරසවි’ ප්‍රකාශකයෝ අධිපති එච්. ඩී. ප්‍රේමසිරි මහතා. මගේ පොත් වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කළේ ඔහු. ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු මහතා තමයි මේ දොරට වැඩුමට මට දිරිය, ශක්තිය ලබා දුන්නේ. ඒ හැමෝටම වගේම මට උදවු උපකාර කළ සියලු දෙනාටත් ගොඩක් පින්.