වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




මේ සම්මානය මට නෙවෙයි රටටයි

මේ සම්මානය මට නෙවෙයි රටටයි

සම්මාන, බුහුමන්, ඇගයීම් ඇයට අරුමයක් නොවේ. නිළි රැජන මාලිනියට සම්මානයක් ලැබීම ඇගේ ප්‍රේක්ෂක ජනතාවට ද විමතියට කාරණාවක් නොවන්නේමය. ඒ මාලිනියගේ ප්‍රතිභාවිත රංගනය උදෙසා පිදුණු දෙස්, විදෙස් සම්මාන රැසකට ඈ උරුමකම් කියනා බැවිනි.

නමුදු ප්‍රංශයේ ඩොවිලි ඒෂියන් සිනමා උළෙලේදී ඈ යාවජීව සම්මානයෙන් පිදුම් ලැබීම කිසිවකුටත් සුළුකොට තැකිය හැකි නොවේ. 16 වැනි ‘ඩොවිලි ඒෂියා’ සම්මාන උළෙලේදී ඈ එසේ බුහුමනට පාත්‍ර වූයේ සිය රංගන දිවියට පනස් වසක් සපිරීම නිමිති කොට ගනිමිනි. එහිදී ඇගේ ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් පැවැත්වීම ද විශේෂත්වයකි.

එසේ නැවත වරක් ජාත්‍යන්තරයේ ඇගයුමට හා බුහුමනට පාත්‍ර වූ අපේ නිළි රැජන අද ‘සරසවිය’ හා එක් වන්නේ එහි සොම්නස හා අභිමානය අප සමඟින් හෘදයාංගමව බෙදා හදා ගැනීමටය.

මාලිනී අක්කේ ඔයාට අපේ උණුසුම් සුබපැතුම් . . .

මේ සොඳුරු කතාබහට මා මුල පිරුවේ ඒ උණුසුම් සුභාශිංසනයත් සමඟිනි. එය මගේ පමණක් නොව ඇගේ අප්‍රමාණ වූ රසික සමූහයාගේ ද ආදරණීය සිතිවිල්ල බව මම දනිමි.

බොහොම ස්තුතියි . . .

ඇගේ නිහතමානීකමටත්, ළෙන්ගතුකමටත් සාක්ෂි සපයන එවදන් තවමත් සැබැවින්ම දයාබරය.

ඇත්තටම මේ සම්මානයේ නියම හිමිකාරයා මං නෙවෙයි. මේක අයිති මගේ මුළු රටටම. මේ සම්මානය කියන්නේ ශ්‍රී ලාංකේය අභිමානය. ඩොවිලි සම්මාන උළෙල අංශ දෙකක් යටතේයි පැවැත්වෙන්නේ. ඒ ආසියානු හා අමෙරිකානු කියලා. ආසියාතික රටක රංගන ශිල්පිනියක් හැටියටයි මාව සම්මානයට පාත්‍ර වුණේ.

මේ සිනමා උළෙල සමාරම්භයේදීම ඔබේ ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් පැවැත්වුණා?

ඔව්. මට ප්‍රණාමය පුද කිරීමක් හැටියටයි ඔවුන් ඒ ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම සංවිධානය කර තිබුණේ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘නිධානය’, ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ ‘බඹරු ඇවිත්’ සහ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ආකාස කුසුම්’ චිත්‍රපට තුන තමයි මෙම උළෙලේදී ප්‍රදර්ශනය කෙරුණේ.

ඔයාගේ විශිෂ්ටතම රඟපෑම් ඇතුළත් චිත්‍රපට තුනක්?

ඇත්තටම අසංක, මෙතනදි මම විශේෂයෙන්ම සිහිපත් කරනවා සහ ස්තුතිවන්ත වෙනවා ඒ අධ්‍යක්ෂවරුන්ට. ඔවුනුත් මේ සම්මනයේ කොටස්කරුවන්. ‘නිධානය’ චිත්‍රපටයේ ‘අයිරින්’ ගේ චරිතය, ‘බඹරු ඇවිත්’ ‘හෙලන්’, එතකොට ‘ආකාස කුසුම්’ චිත්‍රපටයේ ‘සන්ධ්‍ය රාණි’ කියන මේ චරිත මට ප්‍රධානය කරලා මගේ රංගන හැකියාවන් උපරිමයෙන්ම නෙලා ගත්තේ ඔවුන්. ආචාර්ය ලෙස්ටර් ජේම්ස්, පතී හා ප්‍රසන්න පරම්පරා තුනක අධ්‍යක්ෂවරුන් තිදෙනෙක් වීම තවත් විශේෂත්වයක්.

වසර පනහක් පුරා අඛණ්ඩව රංගන කාර්යයේ නියැලී සිටිනා මාලිනිය එදා මෙදාතුර රඟපෑ චිත්‍රපට ප්‍රමාණයෙන් එකකසිය පනහ ඉක්මවා තිබේ. ඒ චිත්‍රපට හරහා ඈ යොවුන්, සුකුමාර සෙනෙහෙවන්තියගේ චරිත මෙන්ම විවිධ දුක් ගැහැට විඳිමින් ජීවිතය සොයා යන අපේ කාලයේ ස්ත්‍රී චරිත ද බොහෝ සෙයින් නිරූපණය කළාය. ජනප්‍රිය මෙන්ම කලාත්මක සිනමාව ඔස්සේ ඈ ජනනය කළ ඒ විප්ලවීය ස්ත්‍රීත්වය කිසි කලෙක වියපත් වන්නේ නැත. මාලිනිය ලාංකේය සිනමාවේ ජීවමාන නොඑසේ නම් සදාතනික පුරාවෘත්තියක් වන්නේ එබැවිනි.

මීට පෙර මේ ‘ඩොවිලි ඒෂියා’ සම්මාන උළෙලේ යාවජීව සම්මානය හිමි වුණේ අපේ රටේ කලාකරුවන් දෙපළකට විතරයි. ඒ තමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස් යුවළ. මේ වෙලාවේ මම ගෞරවනීයව ඒ ගැනත් සිහිපත් කරනවා.

මගේ කල්පනා දැහැනට විරාමය තබමින් මාලිනිය නැවතත් කතාබහ අරඹන්නේ එලෙසිනි.

මම හිතන්නේ මේක මාලිනී අක්කට ලැබුණ තවත් එක සම්මානයක් විතරක්ම නෙවෙයි?

මේ සම්මානය මට ලැබුණේ ඩොවිලි නගරයේ නගරාධිපති අතින්. ඒ රටේ නගරාධිපතිවරයා ගෞරවනීය පුරවැසියකු හැටියටයි සැලකෙන්නේ. ඒ උළෙලේ ප්‍රධාන ආරාධිතයන් හැටියට ආරාධනා කරලා තිබුණේ ආසියා රටවල තානාපතිවරුන්ට. ඒ හැමෝම සහභාගි වුණා. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන කරුණාරත්න හඟවත්තත් මීට සහභාගි වුණා. ඕනෑම රටක කලාකරුවකුට විදේශයකදී සම්මානයක් පිරිනැමෙන අවස්ථාවක ඒ කාර්යය සඳහා මැදිහත් වෙන්නේ තානාපතිතුමා. මම හිතන්නේ කරු ඒ කටයුතු හොඳින් හොයලා, බලලා ඉතාම වගකීමෙන් යුතුව තමන්ගේ රාජකාරිය, යුතුකම ඉටු කළා.

එතුමන් එක්තරා කාලෙක අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. තව පැත්තකින් මාලිනී අක්කගේ මස්සිනා කෙනෙක් නේ?

ඔව්. විශේෂයෙන්ම ඔහුත් කලාකරුවෙක් නිසාම දෝ දැඩි වුවමනාවකින් තමයි මේ කටයුතුවලට මැදිහත් වුණේ. කරු, අසංක කිව්වා වගේ මගේ රසාදරී නංගිගේ මහත්තයානේ. එහෙම තමයි මස්සිනා වුණේ. හැබැයි ඒ නිසාම නෙවෙයි වෙන කාට හරි මේ සම්මානය ලැබුණත් කරු ඒ කැපවීම කරනවා. සහයෝගය දක්වනවා. මොකද ඔහු ඒ තරමටම කලාවට, කලාකරුවන්ට ආදරය කරන කෙනෙක්. අපේ සමහර තානාපතිවරුන් අතින් රටේ කලාකරුවන්ට ඒ සාධාරණය, යුතුකම ඉටු වෙන්නේ නෑ.

ලෝකයේ විවිධ සම්මාන උළෙල පැවැත්වෙනවා. නමුත් ඇතැම් සම්මාන උළෙල ගැන අපට ප්‍රසාද පූර්වක හැඟීකින් කතා කරන්නට බැහැ. එතකොට මොකක්ද මේ ඩොවිල් ඒෂියා සිනමා උළෙලේ විශේෂත්වය?

අර මම මුලින් කිව්වා වගේ ආසියානු හා අමෙරිකානු කියන අංශයන් දෙකෙන් ලෝක සිනමාවේ සුවිශේෂ සලකුණු තියපු අයටයි මේ සම්මානය පිරිනැමෙන්නේ. මීට පෙර ඩොවිලි සිනමා උළෙලේ සම්මානයට පාත්‍ර වූ දකුණු කොරියාවේ ශිෂංඩක් සහ ලී මුංග් - සේ, සෙනසුංග් හයි, චීනයේ වෑංග් ක්වාන්වන්, සිංගප්පූරුවේ රොයිටෑන් ටන් වගේ සිනමාකරුවන් ඉන් කීප දෙනෙක්. ඉතින් ඩොවිලි ඒෂියා ෆිල්ම් ෆෙස්ටිවල් කියන්නේ මම දන්නා තරමින් ලොව පිළිගත් සිනමා සම්මාන උළෙලක්. ඒත් සමහරු ඒ ගැන අවතක්සේරුවෙන් සහ අවඥාවෙන් කතා කරන බව මට දැනගන්න ලැබුණා. ඒ ගැන මම ඇත්තටම කනගාටු වෙනවා.

සම්මානය අතට ගත්ත වෙලාවේ මාලිනී අක්කට මොකද හිතුණේ?

මට විශාල සතුටක් දැනුණා. අඩුගානේ වෙනත් රටකවත් මගේ රංගන ජීවිතය අගය කිරීම ගැන මම සතුටු වෙනවා. හැබැයි මේ සම්මානය ලැබුණේ මගේ රටට. මගේ කතාවේදීත් ඒක මම කිව්වා.

මම මගේ රටට ආදරෙයි, සිනමාවට ආදරෙයි. ඒ වගේම මාව මෙතනට ඔසවා තැබූ ප්‍රේක්ෂකයන්ට. ඩොවිලි සිනමා උළෙල නියීජනය කරපු හැම රටකම ජාතික කොඩිය ඒ උත්සවය පැවැති ශාලාව ඉදිරිපිටත්, නගරය පුරාමත් ප්‍රදර්ශනය කර තිබුණා. ඒ අතරේ අපේ සිංහ කොඩිය ළෙල දෙද්දී මට දැනුණේ පුදුමාකාර සතුටක්. ආඩම්බරයක්. ඇත්තටම මගේ ඇඟ හිරි වැටුණා. මොහොතක් ඇහිපිල්ලම් නොගහා මම ඒ දිහා බලාගෙන හිටියා. සම්මාන කෝටියක් ලැබුණත් ඒ සතුට, අභිමානය නම් ලබන්න බෑ. මගේ රටේ කොඩිය වෙනත් රටක ඔසවා තබන්න මට පුළුවන්කම ලැබුණා කියන නිහතමානී ආඩම්බරය මට එවෙලේ ඇති වුණා.

සහෝදර කලා ශිල්පීන්, ශිල්පිනියන් මේ සම්මානයේ උණුසුම බෙදා හදා ගන්න ඔබ හා එක් වුණාද?

කීප දෙනෙක් කතා කළා. සම්මානය අරගෙන ලංකාවෙන් ගිය මාලිනී ෆොන්සේකාම ආපහු ආවා. මට ඒ ඇති. නමුත් ක්ෂේත්‍රයේ වැඩි දෙනෙක් වචනයෙන් හෝ සුබපතලා මට ආශිර්වාද නොකළ එක ගැන නම් හිතේ තියෙන්නේ පුංචි දුකක්. මම කැමැතියි කෙනෙක් මගේ හැකියාවට සුබපතනවා නම්. මම ඒකට ආසයි. ආයේ බොරු කියන්නේ මොකටද? හැබැයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ අසංක, අපේ මාධ්‍යය ගැන. ඔවුන් එදා වගේ අදත් මා ළඟ ඉන්නවා. මේ වසර පනහ පුරාම සියලුම මාධ්‍යවලින් මට පුදුමාකාර සහයෝගයක් දුන්නා. ඔවුන්ටත් අනේක වාරයක් ස්තුතියි. ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ගරු ලේකම් චරිත හේරත් මහතා. ඔහු ඉතාමත් ඕනෑකමකින් සියලු දේ සොයා බලා මේ කටයුත්ත සංවිධානය කළා.

මාලිනියගේ හඬ බෙහෙවින් හැඟුම්බරය. සංවේදීය. සිය රංගන ප්‍රතිභාවෙන් ලොවක් දිනූ මේ දිරිය ගැහැනිය පිළිබඳ තවත් බොහෝ දෑ ඉදිරියේදී කතාබස් කරන්නට, සටහන් තබන්නට අපට සිදුවනු ඇත. ඒ ඇය සම්මතය මත සීරුවෙන් සිට ගත් අසම්මත ගැහැනියම නිසාය. මහ පොළොවේ පිපි ආකාස කුසුමක්ම නිසාය . . .

ප්‍රංශයේදී ස්වර්ණ පද්ම සම්මානය දිනා මාලිනී පැවැත්වූ කතාව

ඔබ සැමට ආයුබෝවන්,

දෝවිල් සිනමා උළෙලටත්, ප්‍රංශ දේශයටත් මාගේ හෘදයාංගම කෘතඥතාව පිරිනමමි. අද මට බෙහෙවින් සතුටු දවසකි. මා අද මෙහිදී ලද ගෞරවය මා උපන් දේශයට පුද කරමි. දෝවිල් නගරයට මාගේ ස්තූතිය පිරි නමමි. දෝවිල් නගරාධිපති පිලිප් ඔගර් මැතිතුමාටත්, මෙම වාර්ෂික සිනමා මහෝත්සවය සාර්ථකව සංවිධානය කිරීම වෙනුවෙන් දැඩි වෙහෙසක් ගත් සිනමා උළෙලේ අධ්‍යක්‍ෂ ජෙරොම් ලෙසර් සහ ඔහුගේ කාර්ය මණ්ඩලයටත්, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ගරු කරුණාවත්ත හඟවත්ත මැතිතුමා ඇතුළු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයටත්, මෙහි රැස්ව සිටින ඔබටත් මගේ හද පිරි බැතිය ස්තූතිපූර්වකව පිරි නමමි.

මාගේ රංග කලා ජීවිතයේ අඩ සියවසක කාල පරිච්ඡේදය සැමරීම සඳහා ඔබ මා හා අත්වැල් බැඳ ගැනීම මට ඉමහත් ගෞරවයකි. ඔබ විසින් මාවෙත දක්වන ලද කාරුණිකභාවය හා ආගන්තුක සත්කාරය මාගේ හදවත සියුම්ව ස්පර්ශ කරයි. ඔගස්තෙ හා ලුයිස් ලුමීයර් සොහොයුරන් විසින් ‘සිනමටෝග්‍රපි’ යන කලාව ලොවට හඳුන්වා දුන් සංස්කෘතික වශයෙන් ඉතා පොහොසත් රටක් වන ප්‍රංශයේ දීය. මෙම ප්‍රණාම උළෙලට සහභාගි වීම මාගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස සලකමි. ප්‍රංශය සමඟ ඉතා දීර්ඝ කාලයක් සමීප සබඳතා පවත්වන ලද ‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ යනුවෙන් හඳුන්වන ඉතා රමණීය දිවයිනක මිලියන 20 ක පමණ මගේ සහෝදර ජනතාව වෙනුවෙන් මෙම ගෞරව සම්මානය මා පිළිගනිමි.

ශ්‍රී ලාංකේය සිනමාවට මාගේ ප්‍රණාමය පළ කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි. 1960 දශකය තුළ ගායනය, නර්තනය හා රංගනය ඇතුළු මාගේ කලා ජීවිතය ඔප මට්ටම් කිරීමට අනුබල දෙමින්, මා දිරිමත් කළ මාගේ සීයාටත්, මවුපියන්ටත් මම සදා ණය ගැති වෙමි. විශේෂයෙන් මා රංග කලා ජීවිතයට යොමු කළ මා ඉගෙනගත් ගුරුකුල විදුහලේ නැටුම් භාරව සිටි ගුරු මෑණියන් මා මෙහිදී හද පිරි බැතියෙන් සහිකරමි. මා කිසිදා සිනමා පාසලක පුහුණුව නොලද නමුත් දේශීය සිනමා කර්මාන්තය තුළින්ම ඉතා දැඩි කැපවීමකින්, ශික්‍ෂණයකින් හා විනයකින් යුතු පුහුණුවක් ලබා ගතිමි. මා අත්දැකීම් තුළින් පරිණතභාවයට පත් වූවෙක්මි. එසේ නොවන්නට අඩ සියවසක කාලයක් මෙලෙස මෙම කර්මාන්තය තුළ රැඳී සිටින්නට මට නොහැකිවනවා ඇත. ශ්‍රී ලංකාව විසින් බිහි කළ විශිෂ්ට ගණයේ නිෂ්පාදකවරුන්, අධ්‍යක්‍ෂවරුන් සහ කාර්මික ශිල්පීන් සමඟ වැඩකිරීමට මා වාසනාව ලදිමි.

මෙම සිනමා උළෙලේ දී තිරගත වන මා රඟපෑ ‘නිධානය’ , ‘බඹරු ඇවිත්’ හා ‘ආකාස කුසුම්’ චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළ පිළිවෙළින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ හා ප්‍රසන්න විතානගේ මෙරට සිනමාකරුවන් ගේ පරම්පරා තුනක් නියෝජනය කිරීමත්, එම පරම්පරා ත්‍රිත්වය සමඟ නිළියක් වශයෙන් කටයුතු කරන්නට ලැබීමත් සුවිශේෂී කාරණාවක් වෙයි. ශ්‍රී ලාංකේය සිනමාවේ මුල්කාලීන වර්ධනයට ඉන්දියානු සිනමා කර්මාන්තයෙන්, විශේෂයෙන් දකුණු ඉන්දියානු සිනමා කර්මාන්තයෙන් ලද දායකත්වය මෙරට සිනමාවේ පෝෂණයට මහෝපකාරී වූ බව මෙහිදී සඳහන් කිරීම මාගේ යුතුකමකි.

වසර තිහකට ආසන්න කාලයක් වාර්ගික අර්බුදයකට හා ත්‍රස්තවාදී ම්ලේච්ඡ සාහසිකත්වයට ගොදුරුව දැඩි පීඩාවකට ලක්ව සිටි මාගේ රට සහ එහි ජනතාව කුරිරු ත්‍රස්තවාදය සහමුලින් පරාජය කරමින් සාමකාමී වාතාවරණයට අවතීර්ණ වුයේ 2009 වසරේදී ය. මෙම කාලය තුළ එහි ඵල විපාක විඳි දේශීය සිනමා කර්මාන්තයද දීප ව්‍යාප්තව, ආරක්‍ෂිත, සාමකාමී සහ සමාජ, ආර්ථික සංවර්ධන ක්‍රියාවලියක් තුළ යළි පුනර්ජීවයක් ලබමින් පවතී.

අද රාත්‍රියේ මා ලද සම්මානය නිදහස් හා සාමකාමී වාතාවරණයක් උදාකර ගැනීමට දැඩි පරිශ්‍රමයක් ගත්, ඉමහත් කැපකිරීම් කළ මාගේ මවුබිමේ ජනතාවට ප්‍රණාමය වේවා. අති දුෂ්කර මඟක් අනුගමනය කරමින් උදාකරගත් සාමකාමී වටපිටාවක් තුළ අපගේ සංස්කෘතික විවිධත්වයන් ආරක්‍ෂා කරගනිමින්, ඒවායේ වටිනා සාරධර්මයන් සුරක්‍ෂිත කෙරෙන සිනමා කලාවක් බිහිකිරීම අපගේ අරමුණයි. අපගේ දීර්ඝ කාලීන මිත්‍ර රටක්වන ප්‍රශයේ හා සෙසු යුරෝපීය රටවල සිටින අපගේ මිත්‍රයන් අප වෙත ඔවුන්ගේ සහෝදරත්වයේ දෑත් දිගු කරන බව අපට විශ්වාසයි. මාවෙත දක්වන ලද ගෞරවය පිළිබඳ මා නැවතත් මාගේ කෘතඥතාව ඔබ සැමට පිරිනමමි.