වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




සුන්දර ගමක තැනෙන සිහින සක්මන ගැනයි මේ

සුන්දර ගමක තැනෙන සිහින සක්මන ගැනයි මේ

වැන් එකේ දහ නවයක්

මහපාරෙන් දකුණට හරවල ටික දුරක් ගියහම හම්බ වුණේ හතරමං හන්දියක්. බස් එකට නඟින්න උන්නු මිනිස්සු ටික මන්දගාමී ගමනක යෙදුණු වාහනේ ඇතුළ බැළුවේ දෑස් දල්වාගෙන. වෙනදාට මේ වාහනේ යන්නේ නළුවෝ, නිළියෝ. සෝදිසියෙන් බැළුවත් වාහනේ ඇතුළේ හිටියේ අපි නිසා මිනිස්සු ටික අහක බලා ගත්තේ බලාපොරොත්තු සිඳුණා වාගෙයි.

කඳු, පටු මාවත්, අන්නාසි වතු, රබර් වතු වගේම ඉපැරැණි වලව් පසු කරගෙන අපි තවත් ගොඩක් දුරක් ගියා. හරිම නිස්කලංක පරිසරේ. ගෙයක් දොරක් හදාගන්න නං මෙතන තමයි තැන කියලා කීවේ අපේ මාලන්.

ඒ තරමටම නිසංසල මේ ගම්මානේ සිරිය වැඩි කළේ සිංහල උළු සෙවිලි කරන පැරැණි ගෙවල්. කඩ මණ්ඩි, ගම් මණ්ඩි පහු කරන අපි කහවල ගමට ආවේ සිහින සක්මන රූගත කරන හැටි බලන්න.

දර්ශන තල තෝරා ගැනීම අනුව ගත්තම ටෙලි නාට්‍ය ලස්සන ඇති කියලා කිව්වේ තිස්ස. වාහනේ හිටි ආගන්තුක තුන්දෙනා (මම, තිස්ස, මාලන්) වැඩිපුර කතා කලේ මේ ගම ගැන.

වාහනේ නවත්තන ගමන්ම අපිව පිළිගන්න ආවේ රසික. ඉන් පස්සේ රොෂාන්, දිල්ෂාන්. අපි අතරට වැටුණේ සුන්දර කතා ගොඩක් අරන්.

‘මේ කතාවට තේමාව වුණේ මගේ අත්දැකීම්. ධනය, බලය හා ඉලක්ක මුල් කරගෙන ගමනක යන සමාජයක යථාර්ථය තමයි මේ කතාවේ වස්තු බීජය වෙන්නේ. මේ කතාව ඉතාමත් අලංකාරව ගලපා ගන්නට රූගත කරන්නට අපට හැකි වුණා.

කතාබහ අතරේ ලැබුණු තේ කෝප්පය සාකච්ඡාව ගෙන දුන්නේ ප්‍රාණවත් බවක්. දර්ශන තල ගැන, නළු නිළියෝ ගැන කතා කරමින් ටිකක් කාලය ගෙවුණා. ඉතාමත් සුහදශීලී ඒ වගේම නිර්මාණශීලී කණ්ඩායමක් සමඟ හැදෙන ‘සිහින සක්මන’ රැල්ලේ නාට්‍යවලට කදිම අභියෝගයක්. ඒ අභියෝගය තනන්නට පිරිස ඉතාමත් වෙහෙස වී කටයුතු කරනවා.

අධ්‍යක්ෂ දිල්ෂාන් වෙල්ලාලගේ

සවස් වරුවේ ෂූටින් තියෙන්නේ පන්සලේ. ඒ ආරංචියත් සමගම හැමෝම පිටත් වුණේ පන්සලට යන්න. ඒ නිසා එක් එක්කෙනා ගිහිං වාහනේ තැන් තැන්වල ඉඳගත්තා. තවත් පිරිසක් ඒ අයගෙන් ඇතිවුණු හිස් තැන් පිරෙව්වා. කොහොම හරි වාහනේ සෙනඟ දහ නව දෙනෙක්. ඉස්සරහ හිටිය මල්ලි හරිම අපූරුවට කෑ ගහනවා. ‘පොල් ලොරිය එනෝ. පොල් ලොරිය එනෝ’ කියලා. ඒක හරිම අපූරු කෙටි ගමනක්. එක් කණ්ඩායමක් පයින් යනවාට අකැමැති වුණු වාහනේ උන්නු අය අමාරුවෙන් හරි සහෝදර සහෝදරියන් වාහනේට නග්ග ගත්ත එකට හිතුණේ නිර්මාණයක එකමුතුව කියලයි.

වාහනෙන් බහින පිරිස ගණන් කළේ සම්පත්. ‘මේකෙ මෙච්චර සෙනඟ ආව කියලා දන්නවනං වාහන සමාගම සම්මානයක් දෙනවා.’

හැමෝගෙම පිබිදුණු මුහුණු තවත් පිබිදුණේ සම්පත්ගේ කතාවෙන්.

‘හිනාව නවත්වන්න අන්න හාමුදුරුවෝ වඩිනවා’.

ගස් පෙල අතරින් අපේ දෙසට වඩින හිමි නම දෙස හැමෝම බලන් හිටියේ බය පක්ෂපාතීව. ටිකක් ළංවෙද්දි තමයි දැක්කේ මේ භික්ෂුවගේ චරිතය රඟන අපේ නන්ද අයියා කියලා. නන්ද වික්‍රමගේ කියන්නේ ලෝකයේ භික්ෂු චරිත වැඩියෙන්ම රඟපෑ නළුවා. නන්ද අයියාගේ පැමිණීම හැමෝටම ඇති කළේ අලුත් ප්‍රබෝධයක්.

හාමුදුරුවනේ . . .’

එහෙම කියලා නන්ද අයියා ළඟට කිට්ටු වුණේ කවීෂා.

‘කෑම කාලම ඉමු’

රොෂාන්ගෙන් ආයෙත් සංග්‍රහයක්. හැමෝම එකතු වෙලා ආහාරය ගත්තේ රස කතා ගොතමින්. ඒ අතරේ සම්පත් කුමාරතුංගට වැඩක් වැරදිලා. අමු කෙසෙල් ගෙඩියක් කපාගෙන සම්පත් පළමුවැනි කට කෑවේ වහ කදුරු කනවා වගෙයි.

කාර්ය බහුලත්වයත් එක්ක නාට්‍ය දර්ශන තලවල රසය හීන වෙලා යන කාලෙක සිහින සක්මනේ කට්ටිය ඉන්නේ හරිම විනෝදයෙන්. ඒ නිසාම මේ ටෙලි නාට්‍යය කා අතරත් ජනප්‍රියයි. කොහේ හිටියත් සතියේ දවස් පහේ 7.27 ට රූපවාහිනිය ඉදිරිපස හැමෝම ඉඳගන්නේ ඒ නිසා.

ඒ ඔයාල දකින ලස්සන නාට්‍යයේ දර්ශන තලයන් ඉතාම ලස්සනයි. පිළිවෙලයි.

මේ ලියන මොහොතේ මට සිතෙන්නේ එහෙමයි.

සිහින සක්මන ටෙලි නාට්‍යයේ දායකත්වය

ඩබ්ලිව්. ජයසිරි
මොරින් චාරුණී
නිරෝෂන් විජේසිංහ
අනුර කි‍්‍රෂාන්
ඇන්ටන් කුරේ
අනෝමා වික්‍රමආරච්චි
නිපුනිකා හේවාගමගේ
සුවිෂා අයේෂා
සරත් චන්ද්‍රසිරි
උදේනි නදීකා

ළමා නළු අභිලාෂ් වෙල්ලාලගේ

සංජුල දිවාරත්න
ජනක කුඹුකගේ
රාජසිංහ ලෝලුවාගොඩ
රෝහිත මාන්නගේ
ප්‍රියා රණසිංහ
උමයංගනා වික්‍රමසිිංහ
අංජලී ලියනගේ
කුමාර රණේපුර
ගාමිණී ජයලත්
ශාන්ත ප්‍රියදර්ශණ
නන්ද වික්‍රමගේ
චාමික හත්ලවත්ත
සම්පත් කුමාරතුංග
දයා වයමන්
ගයත්‍රි රාජපක්ෂ
අකිල සඳකැළුම්
ඩේවියන් ජයලත්
රොෂාන් ජයසුන්දර
ප්‍රසාද් සමරතුංග
ස්වර්ණලතා රණසිංහ
චන්දන වීරසිංහ
රෝහිත ඩයස්
චන්න සෙනෙවිරත්න
සුගත් ජානක
රංජන් ගලගෙදර
සමන් අල්මේදා
අනෝජා වීරසේකර
ආරියසේන ගමගේ
චම්පික ද සිල්වා
කුමාරි සේනාරත්න

ළමා නිළි එලිෂා නවරත්න

කැමරා අධ්‍යක්ෂණය – මහේෂ් කරුණාරත්න
අංග රචනය – රසික තෙන්නකෝන්
කලා අධ්‍යක්ෂණය – දිනේෂ් පි‍්‍රයන්ත
සහාය අධ්‍යක්ෂණය - රොෂාන් ජයසුන්දර
සංස්කරණය - මහේෂ් නානායක්කාර
සංගීත අධ්‍යක්ෂණය – ජිතේන්ද්‍ර විද්‍යාපති
තේමා ගීත ගායනය - සේනානායක වේරලියද්ද
නිෂ්පාදන කළමනාකරණය - මෙනුෂ්ක මාරපන
විධායක නිෂ්පාදනය – චන්න රණවන සෙනෙවිරත්න
නිෂ්පාදනය – ඉන්ද්‍රාණි එස්. නවරත්න
සනත් රෝහණ
නිම්ෂාන් වීරක්කොඩි
තිර රචනය සහ අධ්‍යක්ෂණය – දිල්ෂාන් වෙල්ලාලගේ