වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




ගෆූර් අද අප අතර නැත

ගෆූර් අද අප අතර නැත

නිෂ්පාදකවරු තාත්තාට ලක්ෂ 35 ක් ණයයි

ගෆූර්ගේ දියණිය

ගෆූර් යන නම ඇසෙන විට මට මුලින්ම සිහිපත් වූයේ කොළඹ නගරයේ එනමින් ඇති දැවැන්ත පැරැණි ගොඩනැගිල්ලකි. අපේ පුවත්පත් වැඩිහිටියන්ට අනුව එනමින් සුප්‍රකට පොලිස් නිළධාරිවරයකු ද එකල සිටියහ.

ගෆූර් ගොඩනැගිල්ල අති දැවැන්ත වූ සේම පොලිස් නිළධාරියා ද උස මහත යෝධයකු විය. අපේ කතානායකයා අපට හිතවත් ගෆූර් ද දැවැන්ත මිනිසෙකි. නමුත් පෙනුමෙන් නම් නොව කළ වැඩවලිනි. සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට ගණනක කැමරාව මෙහෙය වූයේ මේ ගෆූර්ය. ඔහු සිරුරෙන් උස මහත නොවූව ද හදවතින් දැවැන්ත මිනිසෙකි. වැඩෙන් පතාක යෝධයකි. මේ සටහන ලියවෙන්නේ ගිය සඳුදා එනම් 17 දා පාන්දර නිළි රැජන මාලිනී ෆොන්සේකා විසින් අපට දන්වා සිටි එදින අප අතරින් සදහටම සමුගත් එම්. ඒ. ගෆූර් ගැනය. එම්. යනු මොහොමඩ්ය. ඒ. කියන්නේ අබ්දුල්ය. සම්පූර්ණ නම මොහොමඩ් අබ්දුල් ගෆූර්. මිය යන විට අසූ වැනි වියෙහි පසු විය.

එයින් පණස් හය වසරක් ගෙවුනේ සිනමාවත් සමඟය. අප දන්නා තරමින් ඔහුට නිෂ්පාදකයින් ලක්ෂ විසි පහකටත් වඩා ‘පොලු’ තබා ඇත්තේය. ඒ මුදලින්ය. එහෙත් ඔහු කැපවීමෙන් කළ දායකත්වය මිල කළ නොහැකිය. ගෆූර් උපන්නේ මන්නාරමේය. පාසැල් ගියේ මන්නාරම ශාන්ත සේවියර් විද්‍යාලයටය. ඔහු ඒ කාලයේ සිටම ආස කළේ සිනමාවටය. එහෙයින් නගරයට පැමිණි කිසිදු චිත්‍රපටයක් ඔහු මඟ හැරියේ නැත.

මේ සිනමා පිස්සුව නිසාම පාසල් අධ්‍යාපනය පසෙකටලූ හෙතෙම ඒ කාලයේ පැවැති කූඩාරම් සිනමා ශාලාවකට ගියේය. ගෆූර්ට ප්‍රක්ෂේපණ යන්ත්‍ර සහායකයකු ලෙස මුලින්ම රස්සාව ලැබුණේ මාතලේ කූඩාරම් සිනමා ශාලාවකය. පසුව 1957 දී ලංකා චිත්‍රගාරය ආරම්භයේදී ගෆූර් එහි රැකියාවට යන්නේ රියදුරකු ලෙසටය. ඉඩ ලද හැම විටම චිත්‍රාගාරයේ ඇතුළට රිංගන ඔහු එහි කැමරාව අතපත ගාන්නට පටන් ගත්තේය. මේ ඉලන්දාරියාගේ අධික උනන්දුව දුටු ලංකා චිත්‍රාගාරයේ සාමාන්‍යාධිකාරී සී. ඊ. ඊ, ඇන්තනී පිල්ලේ, ගෆූර්ව එහි ශබ්ද අංශයට ද, දෙවනුව සංස්කරණ මැදිරියට යොමුකොට අනතුරුව කැමරා අංශයට එක් කළේය.

ඔහුගේ මුල්ම කැමරා ගුරුවරයා වූයේ එවකට චිත්‍රාගාරයේ සේවය කළ ටී. වයි. එම්. සාමිය. එම්. එස්. ආනන්ද දෙවැනි ඇදුරාය. ඔහු මුල් වරට දායක වනුයේ ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ සංසාරේ චිත්‍රපටයටය. පසුව හඳපාන චිත්‍රපටය නිර්මාණය කරන විට ඔහු එහි කැමරාව ක්‍රියා කරවන්නා විය. ගෆූර් මුල්වරට කැමරාව අධ්‍යක්ෂණය කළේ හිතට හිත චිත්‍රපටයේය.

එතැන් පටන් චිත්‍රපට දෙසීයකට වැඩි ගණනක කැමරා අධ්‍යක්ෂවරයා විය. ඇතැම් විට එය වාර්තාවක් ද වන්නට ද ඇත. මෙරට නිර්මිත දමිළ චිත්‍රපට 23 න් 12 කම කැමරාව මෙහෙය වූයේ ගෆූර්ය. නිධානය, ගොළු හදවත වැනි චිත්‍රපට ලංකා චිත්‍රාගාරයේ තැනෙද්දී එම්. එස්. ආනන්දගේ සහායකයා වන්නේ ගෆූර්ය. මේ පුංචි මිනිසා තරම් චිත්‍රපට ක්ෂේත්‍රයේ හැම දෙනා සමඟම හොඳින් වැඩ කළ කෙනෙක් සොයා ගත නොහැකි තරම්ය. ඉතා ඉක්මනින් චිත්‍රපට රූපගත කිරීම් සම්බන්ධයෙන් ඔහුට තිබුණේ අසමසම හැකියාවකි.

අව්ව ද වැස්ස ද කුසගින්න ද ඔහුගේ නිර්මාණ කර්තව්‍යට බාධාවක් නොවිණ. ඔහු ලංකාවේ හතර කොණේ චිත්‍රපට රූගත කළ ඔහුගේ අතින් කැමරාවට හසු නොවුණු කිසිදු සිනමා නළුවකු නිළියක නොවීය. 1973 දීපශිකා සම්මානයෙන් ද පසුව 1990 දී චණ්ඩින්ගෙත් චණ්ඩියා සිනමාපටය වෙනුවෙන් සරසවිය සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවේ මේ අප්‍රමාණ මිනිසා අගයමිනි. සිනමාව වෙනුවෙන් වෙහෙසුණ ඔහු මේ සම්මාන හැර ලද දෙයක් නැත.

පසුගිය සමය වන විට ඔහු සිනමාවෙන් ටෙලිවිෂනයට ද පැමිණියේය. අප දන්නා තරමින් ඔහු අවසන් වරට රූගත කළේ කෝරළේ මහත්තයා ටෙලි නාට්‍යයයි. එහි නිෂ්පාදක මෙන්ම අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාර පෞද්ගලිකව සහ මුදලින් තමන්ට බොහෝ උපකාර කළ බව සරසවිය සමග ඔහු පැවැත් වූ අවසාන සාකච්ඡාවේදී කියා සිටියේය. ඒ පෙර සඳහන් කළ සේම බොහෝ නිෂ්පාදකවරු ඔහුට මිය යන තුරුම ලක්ෂ ගණනක මුදලින් පොලු තැබූ යුගයකය. ගෆූර් අද අප අතර නැතත් ඔහු විසින් තිරයට ගෙනා රූප සදාකල් පවතිනු ඇත. ගෆූර් මිය යන විට දියණියන් පස් දෙනෙකු සහ එක් පුතකුගේ පියකු වූයේය. අභිමානනීය මුත්තණුවකු විය. ගෆූර් විවාහ දිවියේ පණස් වසර සැමරුවේ ද මේ වසරේදීය.

ගෆූර් සමඟ සිනමාවට එක් වූ බොහෝ දෙනා අද අප අතර නැත. එහෙත් රුවින් පොඩි, වැඩෙන් ලොකු ගෆූර්ගේ රුව ද අප අතර රැෙඳනු ඇත.

ගෆූර්ගේ කැමරාවට හසු වූ සිනමාපට කිහිපයක්...