වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




දස්කම් සපිරි ලියනගේ

දස්කම් සපිරි ලියනගේ

ආර්. පී. ලියනගේ ජන්ම ලාභය ලැබුවේ කොලොන්නාව, කොටිකාවත්ත ගම් ප්‍රදේශයේදීය. ඔහු පාසල් අධ්‍යාපනය හමාර කරනවාත් සමඟම සංගීත ක්ෂේත්‍රය වෙත යොමු වන්නේ ඩ්‍රම්ස් වාදනයට ඇති අසීමිත කැමැත්ත නිසාවෙනි.

මොහු 70 දශකයේදී සංගීත කණ්ඩායමක් ද නිර්මාණය කළේය. එය ‘ගෝල්ඩන් ඇරෝස්’ නමින් සංගීත ක්ෂේත්‍රය අතර ජනප්‍රිය විය.

එදවස ‘ගොල්ඩන් ඇරෝස්’ සංගීත කණ්ඩායම ලංකාවේ දක්ෂ ගායන ශිල්පීන් රැසක් රටට දායාද කරන්නට සමත් විය. එම ශිල්පීන් අතර එක් අයෙකුª වන්නේ ගායන ශිල්පී ග්‍රේෂන් ආනන්දයි. ඒ පිළිබඳව ඔහු පවසන්නේ හද පිරි සතුටිනි.

මොහු වෘත්තියෙන් ශ්‍රව්‍ය දෘෂ්‍ය අංශ ප්‍රධානියෙකි. ඔහු රැකියාව සඳහා කාලයක් විදෙස්ගතව සිටියේය. ඒ කාලය තුළදී ඩ්‍රම්ස් වාදකයෙකු ලෙසින් ඩුබායි හි ජුමේරා හෝටලයේදී ප්‍රිය සාදවලට සහභාගී වන්නට ද අමතක නොකළේය. ඒ නිසාවෙන්ම ඔහුට යුරෝපීය හා ඉන්දියානු කලාකරුවන් රැසක් දැන හඳුනා ගැනීමට ද අවස්ථාව උදා විය.

සංගීතයට මුළු හදින් ළෙංගතු වූ මොහු පසුව ගී නිර්මාණයට ද යොමු වුණි. ජනපති දෙවැනි පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ‘ශ්‍රී ලංකා අපේ මෑණී’ ගීතය නිර්මාණය කළ අතර ඊට අමතරව තනු නිර්මාණ කිහිපයක් ද ඔහුගේ නිර්මාණ ගොන්න අතර වෙති.

ඉදිරියේදීත් සංගීතය උදෙසාම කැපවීමේ අදහසින් ඔහු ‘මෙලඩි මේකර්ස්’ නමින් සංගීත කණ්ඩායමක් හා පෞද්ගලික වියදමින් ශබ්දාගාරයක් ද පවත්වාගෙන යන මොහු නවකයින්ට ක්ෂේත්‍රයට පැමිණීමට අත හිත දීමට ද බලාපොරොත්තුවෙන් සිටී.

ආර්. පී. ලියනගේ ශිල්පියාගේ ඉදිරි කලා කටයුතු සාර්ථක වන්නට අපි සුබ පතන්නෙමු.