වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘අසුබ ලකුණ’ සමඟ ගී ලොව සුබ ගමන් ඇරැඹූ මධූන්

 ‘අසුබ ලකුණ’ සමඟ ගී ලොව සුබ ගමන් ඇරැඹූ මධූන්

මේ දිනවල නිතර එෆ්. එම්. නාලිකා සහ රූපවාහිනී නාලිකාවල ප්‍රචාරය වන ‘අසුබ ලකුණ’ ගීතයේ හිමිකරුවා පසුගියදා සරසවියට පැමිණියා. ඔහු නව පරපුරේ දක්ෂ සංගීත ශිල්පියක් වන මධූන් දිසානායකයි.

මධූන් මේ ඔයාගේ ප්‍රථම ගීත නිර්මාණයද?

නැහැ. පසුගිය වසරේ පැවැත් වූ දෙරණ මියුසික් අවෝඩ් තරගාවලියේදී විශේෂ සම්මාන කිහිපයක්ම ගත් නිර්මාණයක් කළා. මීට පෙර ගීත කිහිපයක්ම නිර්මාණය කළා. ඒත් ‘අසුබ ලකුණ’ තරම් නිර්මාණශීලී වුණේ නැහැ. ඒ වගේම ජනප්‍රිය වුණෙත් නැහැ.

මොකක්ද ‘අසුබ ලකුණ’ ගීතයේ තියෙන විශේෂත්වය?

අපි ප්‍රථමයෙන්ම රුසිරු පන්නිලගේ කියන නිර්මාණකරුවත් සමඟ එක්වෙලා රූප රචනයක් කළා. ඒ රූප රචනයට ගැළපෙන ආකාරයට පද රචනය කලන ගිහන්ත අතින් නිමැ වුණා. මේ දෙකටම ගැළපෙන විදියට අර්ථය වඩාත් තීව්‍ර වන විදියට සංගීතය නිර්මාණය කරලා හැඩ මුසුව මම කළා.

මෙහි සංගීතය ගැන යමක් පවසන්න?

මෙහි සිම්පනී රොක් ස්ටයිල් එක තමයි මම භාවිතා කළේ. ඒ වගේම රටේ නමගිය දක්ෂ වාදන ශිල්පීන් සමූහයක් මේ සඳහා සහභාගී කර ගත්තා.

මේ ගීතය තුළින් යම් අර්ථයක් ගම්‍ය වෙනවාද?

මෙහි මතුපිට අර්ථය හරිම සරලයි. නමුත් ලෝකයේ ඉපදීම, ජීවිතය, මරණය, දරුවන් ඒ වගේම බැඳීම් මේ හැම දෙයක් ගැනම ඉතා ගැඹුරින් මේ තුළ කියවෙනවා.

මෙහි රූප රචනය ගැන යමක් කිව්වොත්?

රුසිරු පන්නිලගේ, කුමාර කත්‍රී ඇතුළු අපේ පිරිවර මෙය නිර්මාණය කළේ හරියට කෙටි චිත්‍රපටයක් හා සමානව. ඒ වගේම ‘අර්ත්’ ප්‍රඩක්ෂන් එකක් විදියට තමයි මෙය එළි දකින්නේ. ඒ වගේම මෙය රූගත කළේ දුම්රියක. ඒ නිසා ලොකුª වෙහෙසක් දරලා හොඳ නිර්මාණයක් බිහි කරන්න අපේ පිරිවරට හැකි වුණා. අනෙක් කරුණ තමයි බොහෝ අය පද රචනයට සංගීතය යොදලා ඊට පසු වීඩියෝ එක හදනවා. අපි කළේ වීඩියෝ එක හදලා ඊට පස්සේ සංගීතය යෙදුවා. එය හරියටම හරි ගියා.

පද රචනය ගැන යමක්?

අපි හැමෝටම දැනෙන දුක සතුට, ආදරය හැඟීම මේ හැම දේම තියෙනවා. මේ හැඟීම් ගැන ගැඹුරින් ලියැවුණු සරල පද රචනයක් තමයි ‘අසුබ ලකුණ’.

මේ දිනවල ඔබේ ජීවිතය කොහොමද ගෙවෙන්නේ?

ටෙලි නාට්‍යක හා චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය කරනවා. ඊට අමතරව පෙර පරිදි සංගීත නිර්මාණ කටයුතුවල නියැලෙනවා.

අරුත් සුන් සමාජයක ගීතයට නව අරුතක් ලබා දෙන්නට වෙර දරන මේ තරුණ සංගීතවේදියාගේ ජීවිතය යහපත් වේවායි අපේ පැතුමයි.