වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ අය මට ආපහු යන්ඩ කියයිද දන්නේ නෑ.“

ඒ අය මට ආපහු යන්ඩ කියයිද දන්නේ නෑ.“

සරසවිය පුවත්පතේ පළවන සැමීගේ කතාව ප්‍රියංකර විතානාචිච්ගේ සනමා කෘතිය ඇසුරෙන් සැකසෙන්නකි.

සැමී ට අලුත් හාම්පුතුන් හිතට ඇල්ලුවේය.නිවසේ ජීවත් වුයේ මහත්තයාත් නෝනාත් ය.දරු දෙදෙනාම උන්නේ පිටරටය.පිටරට කියන්නේ කොහේදැයි සැමී දැන සිටියේ නැත.දැන ගත්තාට ඔහුට එයින් වැඩක් ද නැත.සැමී මෙන්ම තවත් දෙදෙනෙකු එහි සේවයට සිටියහ.එක් අයෙක් සෙල්වම්ය.සෙල්වම් කඩේ පොලේ යන කටයුත්ත බාර ගෙන සිටියේය.සරෝජනී නිවසේ ඉයුම් පිහුම් කටයුතු වල යෙදුණාය.ඔවුන් දෙමළ බව දැන ගත් සැමී බිය වූයේය.සැමීගේ මල්ලී මරා දමන්නට ඇත්තේ සෙල්වම් වැන්නෙකි.ඔහුට සිතෙන්නේය.

‘උඹ දෙමළ ද ?“

සැමී කෑ ගසා ඇදුවේය.

“ඔව් ඇයි මොකද ?

සෙල්වම් සැමී බිය වද්දන්ට පටන් ගත්තේය.සැමීට නිදා ගන්නට ලැබුනේ සෙල්වම් ගේ කාමරයේමය. එහි තවත් ඇඳක් තිබිණ.ඒ ඇඳ ලැබුණේ සැමීටය.කාමරය ගිය සැමී මුලින්ම ඉඳ ගත් ඇඳ සෙල්වම් ගේය.මෙතුවක් තනිවම භුක්ති විඳී කාමරය දෙකට බෙදා වෙන් කර ගැනීමට සෙල්වම් ගේ මනාපයක් තිබුනේ නැත.එහෙත් මහත්තයාගේ අණට කීකරු වීම කළ යුතුය.

නිදා ගන්නට පෙර මහත්තයා සැමී කැඳවූයේය. ඒ වන විට වත්ත පුරා විදුලි ආලෝකය වැටී බබලන්නට පටන් ගෙන තිබිණ.එහි එළිය අසල ගංදිය ද මුසු කර ගෙන තිබිණ.

‘සැමී උඹට වැඩක් තියෙනවා.හෙට උදේ එළිය වැටෙන කොටම මේ ලයිට් නිවන්න ඕනෑ.“

මහත්තයා පැවසුවේය.සැමී ලයිට් නිවන හැටි දැන සිටියේ නැත.මහත්තයා සැමී ට බිත්තියේ ඇති ස්විච්චය පහත දමන්නට අණ දුන්නේය.මුළු වත්තේම ලයිට් එක වර නිවී ගියේය.ඔහු මහත්තයා දෙස බැලුවේ පොඩි ළමයෙක් ලෙසය.නිදන්නට ඇඳට ගිය ද සැමී ට සිහි වූයේ මහත්තයා බාර දුන් දැවැන්ත රාජකාරියයි.එය නොපිරිහෙලා ඉටු කළ යුතු වග ඔහු තරයේ සිතා ගත්තේය.ඔහුට නින්ද අහලකටවත් නො ආයේය.සියල්ලටත් වඩා සෙල්වම් ගේ ගෙරවිල්ල බිය ජනකය.එබැවින් සැමී නින්ද පැත්තක දමා පඩි පෙළ ළඟට ගියේය.කාලය ගත වනු ඔහුට නොවැටහිණ.එකවරම ඔහු පිබිදුනේ මහත්තයා ළඟටම ඇවිත් කතා කළ හෙයිනි.

‘මං එළි වෙන තුරු බලා ඉන්නවා“

සැමී කෙඳුරුවේය.

‘පිස්සුද උඹ ට.එළි වෙන්න තව කොච්චර වෙලා තියෙනවද ?‘

එහෙත් සැමී ආපසු ඇඳට ගියේ නැත.එළි වන තුරු බලා සිටියේ ලයිට් නිවන්නටය.ලයිට් නිවිල්ල හරි අපූරු වැඩකි.සැමී තරම් හොඳට එය වෙන කාටවත් කළ නොහැක.නැත්නම් මහත්තයාට එය වෙන කිසිවකුට හෝ බාර දිය හැකිව තිබිණ.සැමී ට ආඩම්බරයක් ඇතිවිණ.

ඉතා ඉක්මනින් සැමී සියළු දෙනාගේ හිත දිනා ගත්තේය.ලයිට් නිවිල්ලත් පොකුණේ සිටි මාළුවන්ට පැය හයකට වරක් කෑම දීමත් සැමීගේ රාජකාරිය විය.ඉඳහිට හෝ ආරෝවකට සිටියේ සෙල්වම් පමණකි.ඔහු ගේ ගම හැටන් පළාතේය.එහෙත් ඔහු සැමී ට පැවසුවේ තමන් යාපනයේ කෙනෙකු යනුවෙනි.ඒ කතාවට සැමී බිය ගනී.නිවසේ කුස්සියේ වෙනමම ටෙලිවිෂනයක් තිබිණ.එහෙත් එහි චිත්‍රපට බලන්නට කිසිවිටෙකත් සැමී ට නොලැබන්නේ සෙල්වම් එය අල්ලා ගන්නා බැවිනි. සැමීට බලන්නට වනුයේ සෙල්වම් කැමති දෙමළ චිත්‍රපට පමණී.

මහත්තයා හැම හැන්දෑවකම වයින් වීදුරුවක් පානය කිරීම සිරිතක් කොට ගත්තේය.එය ගෙන යන්නට ලැබෙනුයේ සැමීටය.

වීදුරුව අතට ගන්නා මහත්තයා තෑන්ක් යූ යැයි සැමීට පවසයි.එක් දවසක් මහත්තයා අලුත් ආරංචියක් සැමීට දුන්නේය.

‘හෙට මගෙ පුතයි දුවයි එනවා බං පොඩි නිවාඩුවකට“

සැමී ට බියක් ඇතිවිණ.

“අනේ ඒ අය මට ආපහු යන්ඩ කියයිද දන්නේ නෑ.“

සැමී ඇසුවේය.

“උඹට පිස්සුද බං,

මහත්තයා ඔහු අස්වසාලූයේය.

‘සැමී හවස බෝට්ටුව සුද්ද කරල තියන්න.පුංචි මහත්තයා බෝට්ටු යන්න හරි ආසයි. ‘

කාන්ති නෝනා සැමී ට පැවසුවේ ගුවන් තොටුපළ ට පිටත් ව යන්නට රියට නගිද්දීය.සැමී ලහි ලහියේ බෝට්ටුව සේදුවේය. එය තිබුණේ ගග අද්දරට වන්නටය .පසුගිය දවස් වල එය කිසිවකු හෝ පිරිසිදු නොකළෙන් එහි අවට ගහ කොළ වැටී තිබිණ.

අලුත් අමුත්තන් ගෙදරට ගොඩ වනු සැමී බලා සිටියේ දෙගිඩියාවෙනි.ඔවුහු සෙල්වම් සහ සරෝජනී පිලිබඳ දැන සිටිය ද සැමීට එයට පෙර හමුවී නොතිබුණහ.සෙල්වම් පුංචි මහත්තයා ගේ ගමන් බෑගය කර තබාගෙන කාමරයට ගියේය. ඔහු ආඩම්බරයෙන් යැයි සැමීට සිතිණ.සැමීට පාළුවක් දැනිණ.කොහේ හෝ යන්නට ඇත්නම් මැනවැයි ඔහුට සිතිණ.මුළු නිවසම සිනහ කතාබහින් පරී ඇත.එහි පිස්තරයා සැමීය.ඔවුන්ට සැමී යනුවෙන් කෙනෙකු සිටින වගක් හෝ නැත.උදෑසන තමා විසින් තනියම පිරිසිදු කරන ලද බෝට්ටුව තවමත් ගඟ අද්දරට වී තනියම පසුවෙයි. පුංචි මහත්තයාට ඒ ගැන වගක් වත් නැති ගානය.සැමී එතැනට ගියේය. ඔහු බෝට්ටුව අත ගා බැලුවේය.

‘හායි සෑම්.යමු ද රවුමක් බෝට් එකේ ?“

සැමී ට සිය කන් අදහා ගත නොහැකි විය. පුංචි මහත්තයා ගඟ අද්දර ට පැමිණ බෝට්ටුවේ යන්නට කතා කළේය. සැමී වහා බෝට්ටුව දියඹට තල්ලු කළේය. පුංචි මහත්තයා හබල අතට ගත්තේය.තමන් වැරදිය. පුංචි මහත්තයා ද තාත්තා වගේමය.සැමීට සිතිණ. පුංචි මහත්තයාට බෝට්ටුව හුරු පුරුදු ගානය.

‘හායි දැල් මාමා.‘

පුංචි මහත්තයා කෑ ගෑවේය. දැල් මාමා ගඟදියේ මාළු අල්ලමින් ජීවත් වන්නෙකි.ටික දිනකට ඉහත ඔහු මහත්තයා හමුවන්නට පැමිණියේ බෙහෙත් ගන්නට මුදලක් ඉල්ලා ගෙනය.මහත්තයා ඔහු පිටත් කර යැවිවේ දැල් මාමාගේ කුස ද අහරින් පුරවමිනි.

‘පුංචි මහත්තයා කවද ද ආවේ.“

දැල් මාමාට පුංචි මහත්තයා දුන් උත්තරය ඇසුණාදැයි සැක සහිතය. ඔහු නොනැවතී ඔරුව පැද්දේය.සැමී සතුටින් ඉපිල යමින් සිටියේය.පුංචි මහත්තයා මෙන්ම පුංචි නෝනා ද සැමී ට කාරුණික විය. ඇතැම් දවසක පුංචි නෝනා සැමීට අකුරු කියා දෙන්නට උත්සාහ කළේය.

ඇය ඉංග්‍රීසි පාඩම් පොතක් සොයා ගත්තාය.ගඟ අද්දරට වන්නට තිබුණ බංකුව ඇයගේ පන්තියට ගැලපුණ ස්ථානය විය.එහෙත් සැමීට අකුරු කියා දීමෙන් ඇය ඉක්මනින් විඩාවට පත් විණ.එය මහත් නිශ්ඵල වෑයමක් බැව් යුවතිය ඉක්මනින් අවබෝධ කර ගත්තාය.

පුංචි මහත්තයා විවාහ වන්නට සිටි යුවතිය ද දිනක් නිවසට පැමිණියාය.සැමී අතහැර පුංචි මහත්තයා ඇය සමග බෝට්ටුවේ සවාරියක් ගියේය.ඇය දෙමළ තරුණියක වග දැන ගත් සැමී කලබල වූයේය. ඔහු වහා පුංචි නෝනා ළගට දුව ගියාය.

‘අරයා දෙමළ“

ඔහු ඇයට පැවසුවේ මහත් අපරාධයක් අනාවරණය කරන්නෙකු හැටියටය.

“ඉතින් ඇයි සැමී.එයා මගේ හොඳම යාළුවා.“

ඇය ඔහු අස්වසාලූයේය.සැමී කරබා ගත්ත ද සිතෙහි වූ කලබලය හිතින් පලා නොගියේය. එබැවින් පුංචි මහත්තයාගේ පෙම්වතිය දෙස ඔහු බැලුවේ සැකයෙනි. දින කිහිපයකට පසු ඇය ආපසු ගියාය. ඇය යන්නට පෙර සියල්ලටම තෑගි බෙදා දුන්නාය. ඇය සෑමීටද කමිසයක් ද සරමක් ද ගෙනැවිත් තබිණ.

ඇය ඔහුගේ අතට දුන්න ද ඔහු එය එකවර බාර නොගත්තේය.ඔහු පුංචි මහත්තයාගේ මුහුණ දෙස බැලුවේ දෙගිඩියාවෙනි. පුංචි මහත්තයා හිස සලා අනුමැතිය දුන්නේය.සැමී තෑග්ග බාර ගත්තේය.ඇය කතා කළේ ඉංග්‍රීසියෙනි.සෙල්වම් සහ සරෝජනී සමග පමණක් දෙමළින් කතා කළාය.තෑග්ග අතට ගත් සැමී ඇය සමග සිනහ වූවාය.ඇය ද පෙරළා සිනහසුනාය.ඇය ආපසු යනු බලා සිටි සැමීට දුක සිතිණ.

ලබන සතියේ සැමී ගේ කතාවේ තවත් කොටසක්