වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




සිනහවේ මතකය අප අතර ඉතිරි කොට මර්සි නික්ම ගියාය

සිනහවේ මතකය අප අතර ඉතිරි කොට මර්සි නික්ම ගියාය

මර්සි තරුණ වියේදී

වේදිකාවේ පියගැට පෙළ ඇගේ පාදස්පර්ෂය ලැබෙන තෙක් බලා සිටී. හඬ කැවීම් මැදිරියේ ඇයට උරුම මයික්‍රෆෝනය අද මහත් කම්පනයට පත් වූ සෙයකි. හාත්පසම පාලු මූසල සොභාවයක් උසුලයි. ඇගේ හඬ ආයෙත් වාතලයට මුසුවන්නේ නැත.වෙනදා ඇගේ මුහුණ දෙස බලා අප අප්‍රමාණව සිනාසුනෙමු. ඒ හිනාවේ ප්‍රමාණය කොතෙක්දැයි කිව්වොත් දෑස් රතු වී කඳුළු එන තරම්ය. අද ඇයගේ උවන දැක අප සිටින්නේ තුෂ්නිම්භූතවය. කොතරම් ප්‍රාර්ථනා කළත් ඇය කිසිදු දිනක අවදි නොවන්නේය. මර්සි එදිරිසිංහ නම් වූ ඒ අසහාය විකට නිළි රැජන සදාකාලික නින්දේ පසු වන්නේය. විටෙක ඇය සදහටම නික්ම ගිය බව අපට කිසිසේත්ම පිළිගන්නට නොහැකිය. එහෙත් ජීවිතයේ අනිත්‍ය හමුවේ මර්සි පැරැදී ඇත. ඒ ධර්මතාවය කොයි කාටත් පොදු එකක්ය.

කෑගලු දිස්ත්‍රික්කයේ අඹේපුස්ස ග්‍රාමයේ උපන් මර්සි පසුකාලිනව ජාඇල පදිංචියට ආවාය. ගමේ පල්ලියේ ගීතිකා කණ්ඩායමේ නිත්‍ය සමාජිකාවක වූ ඇයගේ දස්කම් දුටු ගරු අර්නස්ට් පෝරුතොට පියනම මර්සි කලාවට යොමු කරන ලද්දේ ඇය කෙදිනක හෝ කලා ලොව දිනන්නියක් බව වැටහුණු බැවිනි. මර්සිගේ ද ඇස් ඇරුණේ එවිටය. තමා කොතරම් දක්ෂතා සඟවාගෙන සිටියාදැයි ඇයට සිතිණ. කලාවේ අන්තයට ප්‍රවිෂ්ඨ වීමේ අරමුණ පෙරදැරිව මර්සි උගුරට හෝරා බෙහෙත් වේදිකා නාට්‍යයෙන් රංගනයට පිවිසියාය.

ඒ 1967 වසරේදීය. පළමු වේදිකා නාට්‍යයේම ද්විත්ව චරිතයන් රැඟීමට සමත් වූ මර්සි ඉන් ප්‍රේක්ෂකයන් ග්‍රහණය කර ගත්තාය. නිල් කට්රොල් මල්, මෝහිනී, තාරාවෝ ඉගිලෙති වැනි වේදිකා නිර්මාණ ගණනාවකටම දායක වූ මර්සි ඒ වන විට ගුවන් විදුලියට ද නැතිවම බැරි චරිතයක් විය. හන්දිියේ ගෙදර, මුවන් පැලැස්ස, වජිරා ඇය හඬ කවන ලද ගුවන් විදුලි නාට්‍ය කිහිපයක්ය. කැඩුණු සිංහලයෙන් කතා කිරීමට මර්සිට තිබුණේ පුදුම හැකියාවකි. එමඟින් ඇය බොරුවට සිංහල බැරි බව හඟවන අයට පහර දුන්නේ අපූරුවට දෑතින් ද හරඹ පාමින්ය.

මර්සි අල්ලපු ගෙදර නාට්‍යය වෙනුවෙන් මනමාලියකට සැරසී

විකට නිළියක් ලෙස මර්සි වඩාත් ප්‍රේක්ෂකයන් අතරට ගියේ ඇනෙස්ලි, බර්ටි, සැමුවෙල් යන විකට රජවරු තිදෙනා ඉදිරිපත් කළ විනෝද සමය වැඩසටහන තුළිණි. ඇය ඊට සම්බන්ධ වූයේ නොසිතූ මොහොතකය. ඒ අහඹු සිදුවීම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වේ යැයි මර්සි නිකමටවත් හිතන්නට නැතුව ඇති. එදින විනෝද සමයට සහභාගිවීමට නියමිතව සිටි නිළිය පැමිණියේ නැත. ගුවන්විදුලිය උපන් ගෙදරටත් වඩා සුපුරුදු තැනක් බැවින් උදේ හවස දකින මර්සිව මේ සඳහා යොදා ගන්නට ඇනෙස්ලි, බර්ටි,සැමුවෙල් තීරණය කළේ කරන්නට කිසිදු දෙයක් නැති තැනය.

පුදුමයකි. පෙර පුහුණුවකින් තොරව මර්සි වැඩසටහන අපූරුවට කළාය. එයින් පැහැදී දිගින් දිගටම විනෝද සමයේ නිත්‍ය සහ එකම කාන්තා සාමාජිකාව වූවාය. එතැන් පටන් ඇයට සිනමාවේ ද විකට චරිතයන් ලැබිණි. පළඟැටියෝ, දියමන්ති, නුවන් රේණු වැනි සිනමාපටයන්හි චරිතාංග නිළියක වශයෙන් කැපී පෙනෙන දස්කම් දැක් වුව ද මර්සි වඩාත් සාර්ථක වූයේ විකට රංගනයෙන්ය. ඒ සඳහා ඔබට මා අමුතුවෙන් සාක්ෂි සැපයිය යුතු නොවන්නේය.මර්සි කිසිදු විටක ආර්ථික වාසි පමණක් තකා රඟපෑවේ නැත.

මර්සි ලද සම්මාන

මුදලට කලාව පාවා දෙන්න මා සූදානම් නැහැ. ලැබෙන සෑම චරිතයක්ම රඟපාන්නත් මට බැහැ. නිෂ්පාදකවරුන් අපව යොදා ගෙන මුදල් උපයා ගනීවි. ඒකෙන් පහළට වැටෙන්නේ අපිව.

මර්සි කලකට ඉහතදී ‘සරසවිය’ පුවත්පතෙහිම පළ වූ සාකච්ඡාවකදී කියා සිටියාය. ඒ වචන වචනයට පමණක් සීමා නොකොට අප දෑස් ඉදිරියේදීම ඒවා ක්‍රියාවෙන් ද අනුගමනය කළාය.

මඩේ ළඟින තාරාවන් නාවන්නද මං ගීතය වෙනත් හඬවල්වලින් ගැයෙද්දී මර්සි ඊට මුකුත් කීවේ නැත. අලුත් අයගේ ගමන් මඟ තමන්ගේ ගීතවලින් ආලෝකමත් කරගන්නා විට ඇය ඒ දෙස බලා සතුටු වූයේ නිහතමානී සිතිනි. වසර හැට අටක ජීවිත කාලයක් ගහක් ගලක් මෙන් සිටිය මර්සි පසුගිය දෙසැම්බරයේ ලෙඩ ඇඳට වැටිණ. ඒ වන තෙක් ද ඇය සක්‍රීයව කලා කටයුතුවල නිරත වූවාය. මර්සි හඬ කවන්නට රූපවාහිනියට ගියාය.

කලාකරුවන් සහභාගී වන කුමන හෝ විශේෂ අවස්ථාවකදී ඇය චාම්ව සැරැසී සිටි අන්දම බොහෝ දෙනෙකුට මතකය. මර්සි එවන් මොහොතවල් පුංචි පුංචි විකට නාට්‍ය අංග සජීවීව ඉදිරිපත් කර උත්සව සභාව රස ගැන්වීය. මීට වසරකට පමණ ඉහත දී මර්සි සිය මහ ගෙදර අවන්හලක් ද ඇරැඹීය. එහි වැඩ කටයුතු ද සිදු වූයේ මර්සිගේ අතිනි. මේ කාර්යයන්ට අමතරව ඇය අග්‍රාමාත්‍ය කාර්යාලයේ ද සේවය කලේය. මර්සි අවසන් වරට රඟපෑවේ

සබකෝල වේදිකා නාට්‍යයේ මර්සි ජීවන් හඳුන්නෙත්ති සමඟ

ලිලන්ත කුමාරසිරිගේ අමන්දා ටෙලි සිතුවමෙහිය. එහි ඇය රඟපෑ පොඩි නෝනාගේ චරිතය ප්‍රේක්ෂක කතාබහට ලක් විය. මේ සියලු කටයුතුවලට සමුදෙමින් මර්සි ගිලන් වූයේ ඇයට ළැදි අප හැමෝම දුකට පත් කරමිනි. ඇයගේ රෝගය නීර්ණය කිරීමට කලක් යනතුරු වෛද්‍යවරුන් ද අපොහොසත් විය. ක්‍රම ක්‍රමයෙන් මර්සි දුර්වල තත්ත්වයට වැටිණ.

ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් කලා ලොව සහෘදයෝ නොයෙක් දේ කළහ. හැකි පරිදි ප්‍රාර්ථනාවන් පැතුවෝය. මර්සිව යළිත් අප අතරට ගැනීම ඒ සියලු කටයුතුවල ඒකායන අරමුණ විය.

ඒත් . . . .

බලාපොරොත්තු සැම සුණුවිසුනු කරමින් පසුගිය සඳු දින උදෑසන මර්සිගේ අවසන් හුස්ම පොද අහස් කුසට මුසු විය. ඇගේ මේ නික්ම යාම හේතුවෙන් මිහිතලය ද කම්පා වන්නට ඇත.

කවදා හෝ රසිකයින්ට එපා වනතුරුම මං රඟපානවා.

ඒ මර්සි නිතරම කියූ දෙයක්ය. එහෙත් කිසිදු දිනක ඇගේ රංගනය, ගායනය අපට එපා නොවිණ. ඇය තරම් දක්ෂතා ඇති අයකු නැවතත් අප සිරිලක් මෑණියන් තුරුළට පහළ නොවනු ඇත.

මර්සි ඔබට

මෝක්ෂ සුව!