වර්ෂ 2014 ක්වූ මාර්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




සමන් වීරමන් නවක නළු නිළියන් සොයයි

සමන් වීරමන් නවක නළු නිළියන් සොයයි

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමාපටයේ අධ්‍යක්ෂ නීතිඥ සමන් වීරමන් තම නවතම සිනමාපටය වන ආලෝක උදපාදි හි නවක නළු නිළියන් රැසකට රංගනයට අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරයි. ඊට සුදුසු අය තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් මෙම මස 23 වැනිදා එනම් එන ඉරිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.

මේ සඳහා සහභාගි වන්නන් ළඟදී ගත් ඡායාරූපයක් ද රැගෙන පැමිණිය යුතු අතර වයස් බේදයක් නොසැලකෙන බව සමන් වැඩිදුරටත් පවසා සිටියි.

සුනෙත් මාලිංග ලොකුහේවාගේ නවතම චිත්‍රපටය වන ආකර්ෂා හී තිර රචකයා මෙන්ම නිෂ්පාදන උපදේශකවරයා ද සමන් වේ.

ජාතික රූපවාහිනියේ චමින්ද සමුගනී

ජාතික රූපවාහිනියේ අංග රචනා ශිල්පියකු වශයෙන් සේවය කළ ලංකා චමින්ද හේවාසිංහ හදිසි අනතුරකින් පසුගියදා අභාවප්‍රාප්ත විය. මිය යන විට වයස අවුරුදු 40 ක් වූ ඒ මහතා විශ්වාන්තර, දෑකැති මුවහත, අසනි වැසි, කාහල නාදය, නිර්සත්වයෝ වැනි නාට්‍ය ගණනාවක මෙන්ම ජාතික රූපවාහිනියේ ආලකමන්දාව ඇතුළු වැඩසටහන්වල අංග රචනා ශිල්පියා විය. ඔහුගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා සවස අරණායක පොදු සුසාන භූමියේදී සිදු විය.