වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




ඔයා හරියට චායා එකේ අසංක වගේ

ඔයා හරියට චායා එකේ අසංක වගේ

විශ්ව කොඩිකාර කාර්යබහුල රංගන ශිල්පියෙක්. කාගේත් ආදරය දිනාගත් විශ්ව පසුගියදා පැවැති සුමති සම්මාන උළෙලේදී ජනප්‍රිය නළුවා ලෙසත් අභිෂේක ලැබුවා. ඒ වගේම විශ්වට තවත් රසවත් සිදුවීමකට මුහුණ දෙන්නත් සිදු වෙලා. ඒ ඔහු සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කරනු ලබන ‘රන් තරු’ ටෙලි නාට්‍යයේ රූගත කිරීමකට සහභාගි වෙන්න ගිය අවස්ථාවකදීයි.

කොටිකාවත්ත ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක තමයි මේ රූගත කිරීම සිදු කෙරිලා තියෙන්නේ. මේ ගොඩනැඟිල්ලේ පහළ තට්ටුවේ උත්සව ශාලාවක් වගේම ඉහළ තට්ටුවේ සණස බැංකුවත් පිහිටලා තියෙන්නේ. එදා රූගත කිරීම තිබුණේ සණස බැංකුවේ. එදින පහළ තට්ටුවේ මංගල උත්සවයකුත් පවත්වන්න කටයුතු යෙදිලා තිබුණා.

දැන් මංගල උත්සවයේ මනාල යුවළ පැමිණෙන නැකැත යෙදිලා තියෙන වේලාවත් එළඹුණා. මඟුල් බෙර හඬ මාධ්‍යයේ යුවළ පැමිණෙද්දී රූගත කිරීම් මඳකට නවත්තලා මේ පිරිසත් ඒ දෙස බලාගෙන හිටියා. උඩු මහලේ සිට බලාගෙන සිටි විශ්ව දැකපු විවාහ රෙජිස්ටර්වරිය විශ්වට පහළට එන ලෙස කතා කළා.

‘ඔයාට කවුරුත් කියලා නැද්ද ඔයා කවුරු හරි වගේ කියලා’ පහළට ගිය විශ්වට රෙජිස්ටර්වරිය කිව්වා. ‘අනේ මට කවුරුවත් එහෙම කියලා නැහැනේ’ විශ්වත් කිව්වා. ‘ඔයා හරියටම ඡායා ටෙලි නාට්‍යයේ අසංකට රඟපාන නළුවා වගේමයි’ කියලා කවුරුවත් කියලා නැද්ද කියලා රෙජිස්ටර්වරිය විශ්වගෙන් අහලා. රෙජිස්ටර්වරිය එදා හිතලා තියෙන්නේ විශ්ව බැංකුවේ වැඩ කරන කෙනෙක් කියලා.