වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




තරුෂි නිසා රස හදවත් පිබිදුණා
‘තරු මිහිර’ම සිරියාවෙන් බැබළුණා

තරුෂි නිසා රස හදවත් පිබිදුණා

පුංචි තිරයේ හැඩකාර – වාසනාවන්තිය අලුත් අමුත්තෙක් සමඟ ‘සරසවිය’ට ඇවිත්

උදෑසන පොළොවට පතිත වන ළා හිරු එළිය පරදමින්, ඇගේ කාන්තිය විහිදෙන්නේ තරු රාශියක ඇල්ම ද සමඟිනි. එලෙසින්ම සෙඳ් කැල්ම ද උරාගත් පැහැපත් රූ සපුවක්ද ඕ හට හිමි වූයේ ජන්මයෙන් ලද වාසනා මහිමය නිසාමයි. ඒ වාසනාව තුරුලු කරන් අපේ කතා නායිකාව අද රට බබළන කලා තරුවක් වී අවසන්. ඒ තරුවට පෙම් බැඳී රසික රසිකාවන් පස් දෙනෙකු ඔවුන්ගේ පවුල් සාමාජිකයන් සමඟ අපේ සරසවියට හිමිදිරියේම ඇවිදින්. ඒ, පෙර කී කාන්තිමත් තරුව සමඟ සතුටින් හෝරා දෙකක කාලයක් ගත කිරීමටයි.

තරුෂි සෞම්‍යා පෙරේරා,

අද සරසවිය ‘තරු මිහිර’ හැඩකරනා තරුවයි.

ග්‍රෑන්ඩ්පාස් හී සඳමාලි, අම්බලන්ගොඩ අයේෂ්මා, රාජගිරියේ ගෝමස්, මොරටුව සිරිමල් පීරිස් හා මාවතගම හර්ෂණ හා ඔවුන්ගේ පවුල්වල උදවිය සරසවිය ඡායාරූපාගාරයට වී කතාබහ කරන්නේ තරුෂිගේ වරුණ ගැනයි.

තලපත්පිටිය සිට සුන්දර දියවන්නාව හරහා වැටී ඇති නවතම පාර දිගේ ඇය වේගයෙන් වාහනය පදවන්නේ තම මලනුවන් ද සමඟින්. ඒ තරු මිහිරට ඇසිල්ලක හෝ පමාවක් නොතබා පැමිණිමේ අරමුණින්. හරියටම පෙරවරු දහය වන විට තරුෂි සහ ඇගේ බාල සොහොයුරා ලේක්හවුස් ආයතනය ඉදිරිපිටට පැමිණියේ තවත් අමුත්තෙකු ද සමඟින්.

අමුත්තා සහ තරුෂි පියගැට පෙළ නඟිමින් සරසවිය ඡායාරූපාගාරයට පිවිසෙන විට, ඇගේ රසික, රසිකාවන් වන සරසවිය පාඨක පිරිස සිටියේ දැඩි ආදර භක්තිය හා සෙනෙහස ද පෙරදැරිවයි.

තරුෂිගේ ආගමනයෙන් උද්දාමයට පත් වූ සඳමාලි සමඟ පැමිණි සරසවිය පැරැණි පාඨක ෆ‍්‍රෑන්ක් කුරුකුලසූරිය සියල්ලන්ම හඳුන්වා දුන්නේ තරුෂිගේ රංගනයන් ද අගය කරමින්.

ඔයා මේ දවස්වල රඟපාන ‘මුතු පලස’ ටෙලි නාට්‍යයේ ‘අමා’ ගේ චරිතය හරිම තාත්ත්විකයි. කොහොමද එහෙම අසාමාන්‍ය ලෙස රඟපාන්නේ. ඒ පළමු ප්‍රශ්නය යොමුකිරීම සඳමාලිගෙන්.

‘රංගනය කියන්නේ අපි ජීවිත කාලයේදී දකින චරිත අනුකරණය කිරීමම නොවෙයි. මුතු පලස ‘අමා’ කියන්නේ මඳක් මන්ද බුද්ධික තරුණියක්. ඇය සාමාන්‍ය අය අතර අසාමාන්‍යයි. යම් අධ්‍යයනයකින් පසුව තිර පිටපතට ගැළපෙන පරිදි තමයි ඉතින් රඟපාන්නේ.

ඇයි ටෙලි නාට්‍යවල වැඩිපුර පේන්න ඉන්නේ නැත්තේ? ඒ අයේෂ්මාගේ ප්‍රශ්නය.

ඇත්තටම මම ලැබෙන හැම ටෙලි නාට්‍යයක්ම භාර ගන්නේ නැහැ. රඟපෑම කියන්නේ ජීවිතේ නෙවෙයි. ජීවිතේ අනෙක් කටයුතු අතරේ රඟපෑමත් කරනවා. බොරු කාර්ය බහුලත්වයක් නම් ගන්නේ නැහැ. වැඩ කරන්න පුළුවන් ප්‍රමාණයට වැඩ භාර ගන්නවා.

තවම සිනමාවට පැමිණියේ නැතිද? ඒ සිරිමල් පීරිස්ගේ කුතුහලයට තුඩුදුන් පැනයයි.

චිත්‍රපට කිහිපයකට නම් ආරාධනා ලැබුණා. නමුත් මට ගැළපෙන වගේම කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් තමයි මම ඒක භාර ගන්නේ.

ඔයාට හොඳට සිංදු කියන්න පුළුවන්නේ, මෙගා ස්ටාර්වලින් ඒ බව හොඳට පෙනුණා. මෙතෙක් වේලා නිහඬව සිටි ගෝමස් විමසුවා.

මට යම් තරමකට සිංදු කියන්න පුළුවන්. ප්‍රසංග වේදිකාවෙත් කියනවා. ඒ වගේම ස්වර්ණවාහිනී ‘මෙගා ස්ටාර්’ නිසා අපේ මාධ්‍ය මිතුරන් වන සරසවියේ අසංක අයියා, රමේෂ් අයියා, සමන් අයියලා හොඳ සහෝදරයන් වුණා. ඒක මට හොඳ අත්දැකීමක් වුණා.

එතකොට සී. ඩී. පටයක්වත් නිර්මාණය කරන්නේ නැතිද? ෆ‍්‍රෑන්ක් ඇසුවේ කතුහලය ද සමඟින්.

ආනේ මම එක ගීතයක් විතරක් ගයනවා. සී. ඩී. එකක් කරන්න නම් අදහසක් නැහැ.

මොකක්ද අර මාළු කට්ටේ කතාවක් කිව්වේ අපේ සරසවියේ මිතුරෝ . . . ඒ හර්ෂණගේ විමතියට තුඩු දුන් ගැටලුවයි.

මේ අවුරුද්දේ සරසවිය දැැයට කිරුළ ප්‍රසංගයට ගියානේ සිංදු කියන්න. ඒ යනකොට මහියංගනයෙන් කට්ටියම කෑම කෑවා. ඒ කන කොට මාළු කට්ටක් උගුරේ හිර වුණා. ඒ කතාව නේද?

නෑ, නෑ අපට කිව්වේ නම් බත් කන්නේ නැතිව වැඩිපුර බැදපු වැව් මාළු කාලා කට්ටක් හිර කර ගත්තා කියලා. එහෙම පැවසුවේ නිහඬව සිටි සඳමාලි.

ආ . . . කවුද මේ ඔයත් එක්ක ආපු ලස්සන, කඩවසම් නළුවෙක් වගේ කෙනා. අපිටත් හඳුන්වා දෙන්නකෝ . . ෆ‍්‍රෑන්ක් විමසුවේ තරුෂිගේ දිලිසෙන නෙත් දෙස බලාගෙනමයි.

හානේ . . . කතාවෙන් කතාවෙන් හඳුන්වලා දෙන්නත් බැරි වුණා. මේ සුමේධ තෙන්නකෝන්. මගේ අනාගත සහකරුවා. අපි දෙන්නා එන්ගේජ් වෙලා ඉන්නේ. ළඟදීම වෙඩින් එකත් තියනවා. සරසවියෙන්ම ඒ විස්තරත් දැනගන්න පුළුවන් ඔයාලට.

ඔයා හඳහන් විශ්වාස කරනවාද? ඒ පැනය සඳමාලිගෙන්. යම්තාක් දුරට විශ්වාස කරනවා. නමුත් ඉතින් ඒකේ එල්බ ගෙනම නැහැ.

අනේ ඔයා රූපවාහිනියේ දකිනවාට වඩා සජීවීව දකින කොට ලස්සනයි. ලස්සන වෙන රහස මොකක්ද? ආසාවෙන් තරුෂි දෙස බලා සිටි අයේෂ්මා ඇසුවා.

මෙහෙමයි නංගා, උදේම නැගිට්ට ගමන් හොඳ පිරිසුදු වතුර වීදුරුවක් බීලා, මෛත්‍රී භාවනවා කරලා, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය අවම විදියට, හොඳ ආහාර රටාවකට අනුව ජීවත්වෙනවා නම් නිකම්ම ලස්සන, ප්‍රියමනාප වෙනවා.

ඔයාට කටකතා හැදිලා තියෙනවද? ඒ ගෝමස්ගේ පැනයයි.

අනේ නැහැ. මම මේ ක්ෂේත්‍රයේ ගනුදෙනු කරන්නේ හරිම පරෙස්සමෙන් වගේම හිත හොඳින්. අර කතාවක් තියනවානේ හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳියි කියලා.

ඔයාට කලාව හැර ජීවත්වීමට වෙන මොනවා හරි ව්‍යාපාර තියෙනවාද?

ඇයි ළඟදී මම සැලෝන් එකක් ඕපන් කළානේ. ඒක මගේ ව්‍යාපාරයක්.

එහෙනම් ඔයා සිංදුවක් කියන්න කෝ? ඒ ඉල්ලීම සියලුම දෙනාගෙන්. ෆ‍්‍රෑන්ක් තාලයට පුටුවට තට්ටු කරන කොට අනෙක් අය අත්පොළසන් දුන්නා. ඒ නාදයට ‘ඈත දිලිසෙන හිරු සඳු රන් තරු’ ගීතය ගායනා කළේ තරුෂි සුමේධගේ දිහා ද පෙම්බර බැල්මක් හෙලමින්.

කතාබහ සුන්දරව ගලාගෙන යන විටදී සරසවිය කර්තෘතුමන් අතින් ‘තරු මිහිර’ තෑගි අනුග්‍රාහකයා වූ ‘ලක් සළු සල’ තෑගි වවුචර් පාඨකයන්ට ලබා දීමට තරුෂිට භාර කළා.

තෑගි ලබා, සංග්‍රහ ලබා ඔවුනොවුන් සිප ගනිමින් වෙන්ව යන මොහොතේ, තරුෂි සමඟ ගීතයකට අනුව රැ¼ගුමක් ඉදිරිපත් කරන්නට සිරිමල් පීරිස් අමතක කළේ නැහැ.

තරුෂි සෞම්‍යා පෙරේරාගේ ආගමනයෙන් හැඩවුණු තරු මිහිර මිහිරිමත් ලෙස ගලා ගෙන යද්දී කාලය වේගයෙන් පියඹා ගියා. එම නිසාම සැවොම සමුගත්තේ යළිත් දවසක මෙවන් සොඳුරු හමුවීමකින් මුණ ගැසීමේ කැමැත්ත ද පෙරදැරි කරගෙනයි.