වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 31 වැනිදා බ්‍රහස්පතින්දා




මං මාවම අතින් කොනිත්ත ගත්තා

මං මාවම අතින් කොනිත්ත ගත්තා

තඹ පාට හැන්දෑවෙන් ඔබ හමුවන සඳසීලි සමඟ කතා කරමු

සඳසීලි ප්‍රනාන්දු ඔබට හමුවන්නේ ඉරේෂ් ලොකු බණ්ඩාරගේ තඹ පාට හැන්දෑවෙහි වලව්වේ චරිතයෙනි. තම කුලුඳුල් රංගනයෙන්ම ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වන්නට සමත් වූ ඇය සරසවිය හා එක්ව අදහස් බෙදා ගත්තේ මේ අයුරිනි.

ටෙලි නාට්‍යයක චරිතයක් කරන එක කාලාන්තරයක් තිස්සේ පැවති බලාපොරොත්තුවක්. රැකියාව නිසා ඒ බලාපොරොත්තුව මගේ ජීවිතයේ තරුණ විය ඉක්මවා යනකම් බැරි වුණා.

* කොහොමද තඹ පාට හැන්දෑව සමඟ ඔබ එකතු වන්නේ?

මගේ යාළුවකුග් මාර්ගයෙන් මට ඉරේෂ්ව අඳුනගන්න ලැබුණා. මගේ ගැන දැනගත් ඔහු ආයෙ දෙවතාවක් හිතන්නේ නැතුව ඒ නාට්‍යයේ හමු ගේ චරිතය දුන්නා. මටත් පුදුමයි. හාමු හරිම සැරයි මං ඉතින් බලෙන් ඒ නපුරුකම ආරූඪ කරගෙන රඟපෑවා.

* මුලින්ම කැමරාව ඉදිරියට එද්දී බයක් හිතුණේ නැතිද?

මොකද නැත්තේ. ටිකක් නෙවෙයි, හොඳටම බය හිතුණා. ඉරේෂ් ඇතුළු කණ්ඩායමේ අයගෙන් මට ලොකු සහායක් ලැබුණා. ඒක නිසා ක්‍රම ක්‍රමයෙන් මගේ බය දුරු වුණා.

* තරුණ කාලයේදී රංගනයට පිවිසුණා නම් අද වන විට ඔබ ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන්නට තිබුණා?

ඕක මටත් නිතරම හිතෙන අදහසක්. ඒත් පවුලේ වැඩ කටයුතුවලටයි මූලිකත්වය දුන්නේ. රංගන හීනය කෙදිනක හෝ සැබෑ කර ගන්නවා කියලා හිතාගෙන හිටියා.

* පාසල් වේදිකාවේවත් රඟපාලා නැද්ද?

මෙකද නැත්තේ පාසලේදී මනමේ වේදිකා ගත කළා. එහි හැම වාරයකම මනමේ කුමාරි හැටියට රඟපෑවේ මම.

* කොහොමද රංගන ක්ෂේත්‍රය?

ගොඩක් හොඳයි. මා හිතුවාටත් වඩා සුහදශීලීයි. දැන් ඉතින් දිගටම රඟපානවා.

* තඹ පාට හැන්දෑවේ රඟපාන්න ගිහිල්ලා වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?

මට සමහර තැන්වලදී කේන්තියෙන් ඩයලොග් කියන්න තිබුණා. ඒ වගේ වෙලාවල්වලදී මං මාවම අතින් කොනිත්ත ගත්තා. එතකොට මට අමුතුවෙන් කේන්තියක් මවාගන්න වුවමනා වුණේ නැහැ. එහෙම රඟපාපු හැම වෙලාවක්ම මට අමතක වන්නේ නැහැ. මොනවද ඔබේ ඉදිරි වැඩ කටයුතු?

තවත් නාට්‍ය දෙකකට විතර කතා කළා. ඉන් එකක් මේ වගේම නපුරු චරිතයක්. මගේ පෙනුමට එවන් වූ චරිත ලැබෙන්නේ.

* ඔබේ පෞද්ගලික විස්තරත් කතා කරමු?

මගේ පදිංචිය මහරගම. මං දැන් අත්තම්මා කෙනෙක්. මගේ දරුවන්ගේ බබාලා සමඟ විවේක වේලාවන් ගත කරනවා.